අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික පාර්ශ්වයේ උපසම්පදා මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් | දිනමිණ

අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික පාර්ශ්වයේ උපසම්පදා මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

රක්ෂණ ශ්‍රියන්ත, පොළොන්නරුව සිට.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික පාර්ශ්වයේ 42 වැනි උපසම්පදා මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා (21) පස්වරුවේ ගල්ලෑල්ල පුලතිසි විද්‍යාපීඨයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික පාර්ශ්වයේ උප සම්පදා විනය කර්මය 21 සිට 23 වැනිදා දක්වා පුලතිසිපුර මහා වාලුකා නදීතෙර උදකුක්ඛේප සීමා මාලකයේ දී පැවැත්වුන අතර 100ක් නමක් එහිදී උපසම්පදා ශීලයේ පිහිටුවීම සිදු කෙරිනි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත, විනයකීර්ති ශ්‍රී කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පුලතිසි විද්‍යාපීඨයේ පැවැත්වුණු උපසම්පදා මහෝත්සවය සඳහා සහභාගී වූ ජනාධිපතිවරයා වෙත 42 වැනි උපසම්පදා මහෝත්සවය පිළිබඳ පළ කෙරුණු සමරු සංග්‍රහය ද පිළිගැන්විණි.

මේ අතර විද්‍යාපීඨයේ ඉදිකෙරමින් පවතින භික්ෂු නේවාසිකාගාරය ද මෙහිදී ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක් විය.

ඉන් අනතුරුව මනම්පිටිය පාලම අසළ පිහිටි පුලතිසිපුර මහා වාලුකා නදීතෙර උදකුක්ඛේප සීමා මාලකය වෙත පැමිණි ජනාධිපතිවරයා සධාතුක කරඬුව තැන්පත් කර පුෂ්පෝපහාර දැක්වීය.

ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික පාර්ශ්වයේ මහා නායක එගොඩමුල්ලේ අමරමෝලි මහා නායක ස්වාමින් වහන්සේ, අනුනායක අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල විමලඥාන අනුනායක ස්වාමින් වහන්සේ, ලේඛකාධිකාරි කදුරුවෙල ධම්මපාල නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ, දිසාපති පණ්ඩුක අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු ගිහි පැවිදි පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප- සුදත් මලවීර 

නව අදහස දක්වන්න