ක්ෂේත්‍ර නිලධාරීන් ග්‍රාමීය ජනතාවගේ ගැටලු විසඳිය යුතුයි | දිනමිණ

ක්ෂේත්‍ර නිලධාරීන් ග්‍රාමීය ජනතාවගේ ගැටලු විසඳිය යුතුයි

රක්ෂණ ශ්‍රියන්ත, පොළොන්නරුව සිට

ක්ෂේත්‍ර නිලධාරීන්ට වඩා පුළුල් මහජන සේවාවක නිරතවීමට අවස්ථාව සලසා දෙමින් ඔවුන්ගේ පහසුකම් ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබෙන අතර, ග්‍රාමීය ජනතාවගේ ගැටලු විසඳීමට කැපවීමෙන් කටයුතු කිරීම එම සියලුදෙනාගේ වගකීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව, නිශ්ශංකමල්ලපුර ප්‍රදේශයේ ඉදිකෙරුණු නිල සෙවණ කාර්යාලය පෙරේදා (22) දහවල් ජනතා අයිතියට පවරා දෙමිනි.

ජනතාවට වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සැලසීමේ අරමුණින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතම ආවරණය වන පරිදි ඉදිකළ නිල සෙවණ කාර්යාල 180ක් සහ දුම්රිය නිල නිවාස සංකීර්ණ දෙකක් ජනතා අයිතියට පවරාදිම සිදු කෙරිණි.

තමන්කඩුව, දිඹුලාගල, වැලිකන්ද, ලංකාපුර, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, ඇලහැර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙම නිල සෙවණ කාර්යාල ඉදිකර තිබෙන අතර ග්‍රාම නිලධාරි වසම් තුළ සේවය කරන ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි සහ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර යන රජයේ නිලධාරීන්ගේ සේවාවන් එකම ස්ථානයකදී මහජනතාවට ඉටුකර ගැනීමේ පහසුකම නිල සෙවණ කාර්යාලය මඟින් හිමි වේ. වැය කෙරුණු මුදල රුපියල් කෝටි 30කට ආසන්නය.

මේ නිල සෙවණ කාර්යාල 180 ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් පොළොන්නරුව, රවුම් පාර අසළ බැඳිවැව සහ නිශ්ශංක මල්ලපුර ඉදිකෙරුණු නිල සෙවණ කාර්යාල විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

ඒ හා සමගාමීව සෙසු නිල සෙවණ කාර්යාල පක්ෂ, විපක්ෂ දේශපාලන නියෝජිතයන් සහ ආණ්ඩුකාරවරු රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිස අතින් විවෘත කෙරිණි.

විජයදාස රාජපක්ෂ, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ඩිලාන් පෙරේරා, එස්.බී. නාවින්න, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, තිලංග සුමතිපාල, දුනේෂ් ගන්කන්ද, දුෂ්මන්ත මිත්‍රපාල, අබ්දුල් කාදර් මස්තාන්, අංගජන් රාමනාදන්, ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් ද ආණ්ඩුකාරවරුන් වන පේෂල ජයරත්න, ධම්ම දිසානායක, සුරේන් රාඝවන්, ශාන් විජයලාල් ද සිල්වා, රජිත කිර්ති තෙන්නකෝන්, ඒ.ජේ.එම්. මුසම්මිල්, මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඒ සඳහා එක් වූහ.

මේ අතර දුම්රිය සේවකයන් වෙනුවෙන් සියලු පහසුකම්වලින් සමන්විතව පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ ඉදිකෙරුණු දුම්රිය නිල නිවාස සංකීර්ණ ද්විත්වය ද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණු අතර එම නිවාස සංකීර්ණ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 485කි.

ඇමැති අර්ජුන රණතුංග, රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - සුදත් මලවීර 


නව අදහස දක්වන්න