වරාය වෘත්තීය සමිති නායකයන් තුනකට ඇමැති අර්ජුන දැමූ නඩු ඔක්තෝබර් 09 යළි විභාගයට | දිනමිණ

වරාය වෘත්තීය සමිති නායකයන් තුනකට ඇමැති අර්ජුන දැමූ නඩු ඔක්තෝබර් 09 යළි විභාගයට

රෝෂන් තුෂාර

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා විසින් වරාය වෘත්තීය සමිති නායකයන් තිදෙනකුට එරෙහිව රුපියල් මිලියන 1500 ක වන්දියක් ඉල්ලා පැවරූ නඩු තුන ඔක්තෝබර් 09 දින යළි විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය ඊයේ (24) දින නියම කළේය.

වරාය ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී විත්තිකාර වෘත්තීය සමිති නායකයන් විසින් අසථ්‍ය හා ද්වේශ සහගත ප්‍රකාශ මාධ්‍යය හමුවේ ප්‍රකාශ කර සිය කීර්ති නාමයට හානි කළේ යැයි ද ඊට වන්දි ලෙස විත්තිකරුවන්ගෙන් රුපියල් මිලියන 500 බැගින් අයකර දෙන ලෙස ද ඉල්ලා මේ නඩු තුන පවරා තිබිණි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජාතික සේවක සංගමයේ සාමාජික, ආරක්ෂක නියාමක කේ. ඩී. උදේනි, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සාමාජික ගබඩා පාලක කළුතරගේ සුමිත්ලාල් ප්‍රසන්න, සුහද සේවක සංගමයේ සාමාජික ගබඩා පාලක ලාල් බංගමුව විත්තිකරුවන් කරමින් නඩු තුන පවරා තිබිණි.

විත්තිකරුවන් විසින් 2016 ජුනි මස 14 - 17 දිනයන්හි වරායේ වඩු මඩුවේ ගෘහ භාණ්ඩ ඇමැතිවරයා විසින් පුද්ගලික පරිහරණයේ යොදවා ඇති බවට නැ‍ඟෙන අසත්‍ය හා ද්වේශ සහගත ප්‍රකාශ මාධ්‍ය ඉදිරියේ පැවසීමට එරෙහිව නඩුව විභාග කෙරිණි.

ඊ‍යේ (24) කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය ඉදිරියේ පූර්ව නඩු විභාගය සිදු කළේය.

පැමිණිලිකාර අර්ජුන රණතුංග මහතා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අතුල බණ්ඩාර මහතා පෙනී සිටියේය.

නීතිඥ නිරෝෂා හේරත් මහත්මියගේ උපදෙස් පරිදි ශෂිකා ද සිල්වා, සේමිණි පොතුවිල, වත්සලා ජයසිංහ මහත්ම මහත්මීහු ද අධිකරණයේ පෙනී සිටියහ. නඩු තුනෙහි වැඩිදුර විභාගය ඔක්තෝබර් 09 දින සිදුකිරීමට නියමිතය.


නව අදහස දක්වන්න