තමාට ඡන්දය නොදුන් ජනතාවට සේවය නොකරන දේශපාලනඥයන් මේ රටේ සිටිනවා | දිනමිණ

තමාට ඡන්දය නොදුන් ජනතාවට සේවය නොකරන දේශපාලනඥයන් මේ රටේ සිටිනවා

උපාලි කරුණාරත්න

තමාට ඡන්දය නොදුන් නිසා ජනතාවට සේවය නොකරන දේශපාලනඥයන් මෙරට සිටින බවත් එය දේශපාලනඥයකුට තිබිය යුතු ලක්ෂණයක් නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කෙළේ ඊයේ(23) කොළඹ දී පැවැති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිවුදස් අභිමන් සමරුවට සහභාගි වෙමිණි.

බානගල උපතිස්ස නාහිමි සහ හිටපු ඇමැතිවරියක වූ ෆේරියල් අෂ්රෝෆ්, ජලනී ප්‍රේමදාස, , අමාත්‍යාංශ ලේකම් බර්නාඩ් වසන්ත මහත්ම මහත්මිහු ඇතුළු නිලධාරීන් රැසක් මේ අවස්ථාවට සහභාගි වුහ.ජාතික නිවාස ප්‍රතිපත්ති ප්‍රකාශය ද මෙහිදී එළි දක්වන ලදී.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසිය.

අප රටේ නිවාස සංවර්ධන විප්ලවය, පරිවර්තනය ඇති වුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පිහිටුවීමෙන් පසුව බව පිළිගන්න ඕනෑ. පැවති ආණ්ඩු යම් යම් ප්‍රමාණවලට නිවාස ඉදි කෙරුවා. අද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වසර 40 ක අතීතය පිළිබඳව උත්සවය පවත්වනවා. දුප්පත් ජනතාව වෙනුවෙන් විශිෂ්ටතම සේවාවක් කෙළේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලය තුළ බව අපි පිළිගත යුතුයි. ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න හොඳින් අවබෝධ කර ගත්තා. ඒ තුළින් තමයි නිවාස වැඩසටහන බිහිවුණේ. උදාගම් වැඩසටහන මේ රටේ නිවාස වැඩසටහනේ නවෝදයක් විප්ලවයක් සහ පරිවර්තනයක් සිදු කළා. මම මන්ත්‍රීවරයෙක් ලෙස ඒ උත්සවවලට ගිහින් තිබෙනවා.

ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලේ මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්. ප්‍රේමදාස ජනාධිපතිතුමා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් වඩා විපක්ෂයේ මන්ත්‍රීවරුත් සමඟ සම්බන්ධකම් පැවැත්වු පුද්ගලයෙක්. ඒකෙන් අදහස් කරන්නේ එතුමා ආණ්ඩු පක්ෂයේ අයට සැලකුවේ නැහැ කියලා නොවෙයි. නමුත් නායකයෙක් විදිහට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එතුමා වැඩ කළා. එය දේශපාලනඥයන් තුළ පිහිටිය යුතු ඉතා වැදගත් ලක්ෂණයක්. බොහෝ දේශපාලනඥයන්ට පිහිටන්නේ නැති ලක්ෂණයක්. අපේ රටේ ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලනඥයන් හමුවෙන්න සාමාන්‍ය ජනතාව පැමිණි අවස්ථාවල ඒ අය අහනවා ඡන්දේ දුන්නේ කාට ද කියලා. නැත්නම් මනාප දුන්නේ කාටද කියලා අහනවා. තමුන්ට ඡන්දේ දුන්නේ නැති නිසා ඔය වැඩේ කරලා දෙන්නේ බැහැ කියා මූහුණටම කියන මැති ඇමැතිවරු ඉන්නවා. එය දේශපාලනඥයකුට තිබිය යුතු ලක්ෂණයක් නොවෙයි. ඒ ගති ලක්ෂණ සැබෑ මානවවාදී දේශපාලනඥයකුට තිබෙන්න බැහැ. මට මනාප දුන්නේ නැති නිසා රස්සාව දෙන්නේ නැහැ. ගෙයක් දෙන්නෙ නැහැ කියන එක දේශපාලනඥයකුට සුදුසු කතාවක් නෙවෙයි.

ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒ භේදයෙන් බැහැරව කටයුතු කළ නායකයෙක්. පාර්ලිමේන්තුවේ 225ට ම එක වගේ වැඩකරපු පුද්ගලයෙක්. මම ඒ කාලේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස සිටියත් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් වගේ එතුමාගෙන් උදව් අරන් තිබෙනවා. එතුමා පාන්දර හතරට නැගිටලා මහජනයා හමුවන විට මම පොළොන්නරුවේ සිට පාන්දර 4.30 ට විතර එතුමාට දුරකතනයෙන් පොළොන්නරුවේ තිබෙන යම් යම් ප්‍රශ්න කියන්න කතා කරනවා. එතුමා ආරම්භ කළ නිවාස සංවර්ධනය යොමු කෙළේ මේ රටේ පොදු ජනතාවට හා විශේෂයෙන් දිළිදු ජනතාව සඳහායි. දුප්පතුන් ගොඩනඟා දුප්පත්කම තුරන් කිරීමට ප්‍රේමදාස මැතිතුමා කටයුතු කළා. ඒක දුප්පතුන් පොහොසත් කරන්න කිව්වොත් වැරදියි. දුප්පතුන් ජීවත් කරවන්න කටයුතු කළා. දුප්පතුන්ව පෝසත් කරන්න කියන්නේ අමාරු වැඩක්. දුප්පතුන් මිනිසුන් විදියට කරදරයක් හිරිහැරයක්, ණයක් නැතිව සතුටින් නිදහසේ රස්සාවක් කරගෙන කාලා බීලා නිදහසේ ජීවත්වීමයි අවශ්‍ය වෙන්නේ.

ඒ නිසා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ තිබුණේ දුප්පත් මිනිසුන් ජීවත් කරවීමේ ප්‍රතිපත්තියක්. අද සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ වැඩ පිළිවෙළ ඉදිරියට කරගෙන යනවා. තම පියා ගෙන ගිය ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙළ හඳුනාගෙන ඊට දෙන නායකත්වය අපි ඉතාමත් අගය කරනවා. මම සජිත් ඇමැතිතුමාට ගරු කරන කරුණු දෙකක් තිබෙනවා. ඒ කරුණු දෙක සමහර ඇමැතිවරුන්ට නැහැ. එකක් තමයි වැඩ කිරීමට තිබෙන කැපවීම, උනන්දුව සහ අවංකකම. දෙවැන්න තමයි බොහෝ දේශපාලනඥයන්ට නැති දූෂණයෙන් තොර ඇමැතිවරයෙක් වීම. ඒ කරුණු දෙක නිසයි මා සජිත් ප්‍රේමදාස ඇමැතිතුමාට සලකන්නේ. සමහර අයගෙන් පොඩි චෝදනාවකුත් තියෙනවා මම සජිත්ට වැඩියෙන් සලකනවා කියලා. එයාව උස්සනවා කියලා.අවංකව කැපවීමෙන් වැඩ කරනවා නම් හැම කෙනෙක්ම මම ඔසවා තබනවා . සජිත් ඇමැතිතුමාට මම කියලා තියෙනවා රෑ දහයෙන් පස්සේ එහේ මෙහේ යන්න එපා. රෑ දහය වෙනකොට වැඩ නවත්වන්න කියලා. ඒ නිසා හිටපු ගමන් එතුමා අසනීප වෙනවා. නමුත් එතුමා පැය 24 බලන්නේ වැඩ කරන්න. එය දේශපාලනඥයෙක් තුළ තිබිය යුතු විශිෂ්ට ලක්ෂණයක්. ඒ නිසා එතුමා ගැන අපි සතුටු වෙන්න ඕනෑ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40ක කාලයක් වෙනවා. එදා මෙදා සේවය කළ විශ්‍රාමික අයත් මෙහිදී මතක් කිරීම ඉතාම වැදගත්. මේ රටේ රාජ්‍ය සේවයේ ලක්ෂ 16ක් ඉන්නවා. රටේ සංවර්ධනයේ ශක්තිමත්ම ප්‍රමුඛ බල ඇණිය තමයි ලක්ෂ 16ක රාජ්‍ය සේවකයින්. ඒ ලක්ෂ 16 තමාගේ සේවය නිසි ලෙස දූෂණයෙන් වංචාවෙන් තොරව ඉටුකරනවා නම් මේ රටේ ප්‍රශ්න අඩුයි. බොහෝ චෝදනා, පැමිණිලි එන්නේ දේශපාලනඥයන්ටයි. මාධ්‍ය කෙලින්ම වෙන් කරන්නේ දේශපාලනඥයන්ට පහරදීමට විතරයි. නමුත් මේ රටේ රාජ්‍ය සේවයේ සියයට 10ක් විතර අන්ත දූෂිතයි. ඉතාමත් අවංකව සේවය කරන පිරිස් ඉන්නවා සියයට 50කට වැඩියෙන්. ජනතාවගේ ප්‍රශ්න හදුනාගැනීම, කාර්යක්ෂම ලෙස ඒවා ඉටුකර දීම, මිනිසුන්ට ආදරය, සෙනෙහස, දයාව පෙන්වීම දේශපාලනඥයා තුළ පමණක් තිබිය යුතු ලක්ෂණයක් නොවෙයි. එය රාජ්‍ය සේවකයා රාජ්‍ය නිලධාරීන් සතුව ද තිබිය යුතු ලක්ෂණයක්. දේශපාලනඥයන් ළඟට එන්නෙත් රාජ්‍ය නිලධාරීන් ළඟට එන්නෙත් අසරණ අහිංසක දුප්පත් ජනතාවයි. අතේ මිටේ තිබෙන අය ,වත් පොහොසත්කම් තිබෙන අය දේශපාලනඥයින් හෝ රාජ්‍ය නිලධාරීන් හමුවෙන්නේ නැහැ. ඉතා පීඩාවට පත්වූ දුප්පතුන් තමයි දේශපාලනඥයා හමුවෙන්නෙත් රාජ්‍ය නිලධාරීන් හමුවෙලා තමන්ගේ දුක්ගැනවිලි කියන්නේත්.

නිවාස අධිකාරියේ හතලිස් වසරක සේවය අපි අගය කරන්නේ දුප්පත් ජනතාව වෙනුවෙන් වෙන් වූ ආයතනයක් ලෙසයි. ඒ නිසා එවැනි ආයතනයක දීර්ඝ කාලීන සේවය සැමරීම, ඇගැයීම ඉතාමත් වැදගත්. මම විශේෂයෙන්ම මේ වැඩසටහනට සුබ පතනවා. ආශිර්වාද කරනවා. සජිත් ප්‍රේමදාස ඇමැතිතුමාගේ වැඩසටහන තව තවත් සාර්ථකව ශක්තිමත්ව ඉදිරියට යන්නට මම ආශිර්වාද කරනවා.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ රටේ නිවාස පිළිබඳව කතාකරන විට මතක් වන පුද්ගලයෙක්. නිදහස ලැබීමෙන් පසුව මේ රටේ රාජ්‍ය නායකයින් ගත හොත් ඩී.එස්. සේනානායක මැතිතුමාගේ සිට එම නායකයන් ළඟ විශේෂ ගති ලක්ෂණ දක්නට ලැබෙනවා. සුවිශේෂි ගති ලක්ෂණ තිබෙනවා.

මේ රටේ රාජ්‍ය නායකයින් අතරින් දෙදෙනෙක් මරලා දැම්මා. 1959 එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාව ආණ්ඩුවේ අය විසින්ම මරලා දැම්මා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ තිබුණු මානුෂීයභාවය නිසා එතුමා ප්‍රභාකරන් වැනි අය විශ්වාස කළා. රටේ සාමය ඇති කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළේ දී අත්වැල් බැඳගෙන වැඩකරයි කියලා. නමුත් ප්‍රභාකරන් වැනි මිලේච්ඡයෙක් තුළ තිබූ අමානුෂික ගතිගුණ නිසා මෙරට සිටි විශිෂ්ට නායකයෙක් වූ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මරලා දැම්මා. ඒ සියලූ දේ පිළිබඳව අපි පාඩම් ඉගෙන ගන්න ඕනෑ.

මේ රටේ සමහර දේශපාලනඥයෝ මරලා දානවා. සමහර අයව නොමරා මරණවා. ඒ දෙකම අද මේ රටේ තිබෙනවා. මරලා දාන අයයි නොමරා මරණ අයයි දෙකම ජනතාව තේරුම් ගන්න ඕනෑ. සාමාන්‍ය පොඩි මිනිසුන්ට උදව් කරන්න ගියොත් පොඩි මිනිස්සු අතරින් මිනිහෙක් ගොඩනැගුණොත් මරලා දැමීම හෝ නොමරා මැරීම තමයි කරන්නේ. මරලා දානවාට වැඩිය දරුණුයි නොමරා මරණ එක. ඉතින් මේ වගේ දවසක විශේෂයෙන්ම මම මේ කරුණු සඳහන් කෙළේ රටක් විදිහට අපට තිබෙන අභියෝග පැහැදිලිව තේරුම් ගැනීම අවශ්‍ය නිසා.

අගමැතිතුමනි,වසර 40 ක් නිවාස අධිකාරිය සමරනවා වගේම අපේ ආණ්ඩුවට දැන් අවුරුදු හතර හමාරකට වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. මේ අවුරුදු හතරමාරක කාලයෙන් මැතිවරණයකට යන්න තියෙන්නේ තව මාස හතරක් පහක්. අවුරුදු හතරහමාරක කාලසීමාවේ අපි හොයලා බලන්න ඕනෑ අපි හරියට කෙරුවද වැරදුනා ද වැරදිච්ච තැන් මොනා ද කියලා. ඒ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය දැන් තියන්න වේලාව ඇවිල්ලා තිබෙනවා. අපි මේවා කතා කරන්න ඕනෑ.

පසුගිය අවුරුදු හතරහමාරක කාලය තුළ ආණ්ඩුව රටේ නරක් වුණා නම් නරක් වීමට ප්‍රධානම හේතුව තමයි 19 වැනි සංශෝධනය. 19 වැනි සංශෝධනය ආවේ නැත්නම් මේ ආණ්ඩුව ඉතාම හොඳ ආණ්ඩුවක්. මේ රටේ ජනතාව අතරේ චෝදනාවක් තිබෙනවා අගමැතිතුමායි මායි දෙපැත්තට අදිනවා කියලා. ඒ දෙපැත්තට අදින තත්ත්වය ඇති වුණේ 19 වැනි සංශෝධනයෙන්. 18 වැන සංශෝධනය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රාජ ආණ්ඩු ක්‍රමයක්. ඒක තනිකර ආඥාදායක ක්‍රමයක්. 18 වැනි සංශෝධනය අහෝසි කරන්න තමයි අපි ආණ්ඩුවක් හැදුවේ. 18 වැනි සංශෝධනයේ ඒකාධිපති ක්‍රමය ඉතාමත්ම නුසුදුසුයි. 19 වැනි සංශෝධනයෙන් මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. ඒක නායකයෙක් නැතුව ගියා. 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිත් අගමැතිත් දෙපැත්තට අදින ක්‍රමයක් හැඳුනා. එයින් රටටත් විශාල අලාභයක් සිදු වුණා. ආණ්ඩුවටත් විශාල අලාභයක් සිද්ධ වුණා. මේ රට යහපත් රටක් විදියට ගොඩගන්න නම් මීට වඩා වෙනස්ව සිතන්නට ඕනෑ. 18 වැනි සංශෝධනයත් 19 වැනි සංශෝධනයත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන දෙකම අවලංගු කෙරුවොත් තමා මේ රටට යහපතක් වෙන්නේ.

ඒ නිසා මා නැවතත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට එතුමාගේ කාර්යමණ්ඩලයටත් අමාත්‍යංශයටත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියටත් මෙයට අනුග්‍රහය දෙන සියලූ ආයතනවලටත් ගෞරවනීය සුභාශිංශනය ආශිර්වාදය පුද කරනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා-

මීට ස්වල්ප වේලාවකට පෙර උදාගමින් උදාගමට ගීතය ගායනා කළා. ඒ පිළිබඳව මා සඳහන් කරන්න සිටියේ. මම 1982 කුලරත්න නියෝජ්‍ය ඇමැතිතුමා සමඟ රක්වාන ප්‍රදේශයේ වැලිගෙපොළ මහා විද්‍යාලයකට ගිය අවස්ථාවේ එහි ශිෂ්‍යයන් මෙය ඉදිරිපත් කරමින් නැටුම් රඟ දැක්වූවා. සංගීතය නිර්මාණය කළ ගුරුතුමත් මුණ ගැසුණා. මෙය ඉතා ලස්සනයි.

රණසිංහ ප්‍රේමදාස මැතිතුමා එම කාලයේ උදාගමින් උදාගමට නමින් එක්තරා විප්ලවක් ආරම්භ කර තිබුණා. මේ ආකාරයේ කටයුතුත්තක් මෙයට පෙර සිදු වුණේ නැහැ. අතීතයේ අප බලයට පැමිණි වේලාවේ හිසට නිවහනක් සහ දරුවට අධ්‍යාපනයක් බලාපොරොත්තුවෙන් ජනතා සිටියා. එදා කී දෙනෙක් නිවාස නැතිව සිටියද. පොල් අතු හෙවිලි කළ මැටි ගහපු නිවාස බොහෝ දෙනකු සතුව පැවැතුණා. එම නිවෙස් හිමියන් විදුලි බලය දැකලවත් තිබුණෙ නැහැ. ජල ගැටලු ඔවුන්ට පැවැතියා. ජලය ලබා ගැනීමට දුර බැහැර යෑමට සිදු වුණා.වැසිකිලි පහසුකම් අක්‍රමවත් වුණා. එවැනි තත්ත්වයක් යටතේ අතීතයේ දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා නිවාස වැඩ සටහන ආරම්භ කළා. ගම්උදාව ආරම්භ කළා. මෙම වැඩ සටහන් එදා සිට අද දක්වා ක්‍රියාත්මක කරන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය. මෙම අධිකාරිය සමඟ වර්තමානයේ ද අප නිවාස වැඩ සටහන ක්‍රියාත්මක කරනවා.

එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සමඟ නිවාස වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කළ බොහෝ දෙනෙක් මෙම ස්ථානයට පැමිණ තිබෙනවා. ආර්. පාස්කරලිංගම් මැතිතුමා, අබේසිංහ මැතිතුමා, පලන්සූරිය මැතිතුමා, අයිලප්පෙරුම මැතිතුමා මෙයට සම්බන්ධ වෙනවා. පළමුව නිවාස ලක්ෂයක් කීවා. පසුව එය නිවාස දශ ලක්ෂයක් වුණා. මේ සඳහා පුද්ගලික අංශය, ආගමික නායකයින්, පාසල් සංවිධාන ඉඩම් සහ සහය ලබා දුන්නා. මට මතකයි රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් පැමිණ මෙම වැඩපිළිවෙළට සහය පළ කළ අන්දම. යෞවන සමාජ , ග්‍රාම සංවර්ධන සමිති සෑම එකක්ම මේ සඳහා සහභාගි වුණා. එදා නිවාස සමඟ ලබා දුන් ඇතැම් ඉඩම් තිබෙන්නෙ වෙළෙඳ කලාප ආශ්‍රිතව. ඒවායේ වටිනාකම් පිළිබඳව පැවසීමට අවශ්‍ය නැහැ. ඔන්න ඔය ආකාරයටයි ප්‍රේමදාස ජනාධිපතිතුමා එම වැඩ කටයුත්ත ආරම්භ කෙළේ. මමත් එයට විවිධාකාරයෙන් සම්බන්ධ වුණා. සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා හැම වෙලේම ගමේ සිටින්නේ. ගම්වලට ගොස් ජනතාවගේ නිවාස අවශ්‍යතාවය පිළිබඳව සොයා බලනවා. සජිත් ප්‍රෙමදාස ඇමැතිතුමා සමඟ ජනතාවගේ නිවාස ගැටලුව විසදීමට ක්‍රියා කරන අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු නිලධාරීන්ට සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා ඇතුළු කණ්ඩායමට මා මේ අවස්ථාවේ විශ්වාසය පුද කරනවා.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ආරම්භ කළ විප්ලවය සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා ඉදිරියට ගෙන යාම පිළිබඳව මා එතුමාට ප්‍රසංශා කරනවා. අපි අනාගතය සඳහා ක්‍රියා කළ යුතුයි. කාලයක් ගම්වල නිවාස පිළිබඳව අමතක වුණා. ගම සහ නිවාස දියුණු කළ යුතුයි. නිවාස නොමැති සෑම කෙනකුටම නිවෙසක් ලබා දෙන්න ඕනෑ. මෙය සත්‍යයක් බවට පත් කළ යුතුයි.

නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා-

දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා. එතුමාගේ නිර්මාණයක් ලෙස මෙම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හැදින්විය හැකියි. මෙම ආයතනයේ සේවය කරන නිලධාරීන්ට සුබ ආරංචි කීපයක් මේ අවස්ථාවේ දැනුම් දෙනවා. එවකට රජය පත්වීම් ලබා දී තනතුරු වල පිහිටවා නැති 441කුත්, එවකට දෛනික පදනම මත පත්වීම් ලද 76 දෙනකුත් කොන්ත්‍රාත් පදනමේ දැනට සේවය කරන 2827කුත් පුහුණු ලාභී 180කුත් අප ඉදිරි මාස කීපය ඇතුළත ස්ථිර සේවයේ ස්ථාපනය කරනවා. ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ආශිර්වාදය තුළ මෙය ඉෂ්ඨ කරනවා.

අපේ ඉලක්කය 2025දී සැමට සෙවණ ලබාදීම. මෙය පියවර හතරකින් ක්‍රියාත්මක කරනවා. පළමු පියවරේදී ගම්මාන 2500ක්ද දෙවැනි පියවරේදී ගම්මාන 5000ක්ද, තෙවැනි පියවරේදී ගම්මාන 10000ක්ද, හතරවැනි පියවරේදී ගම්මාන 2500ක් සාදනවා. මේ අනුව අංග සම්පූර්ණ ගම්මාන 20000ක් හදනවා. අපගේ පළමු ඉලක්කය මේ වන විට ඉතා සාර්ථකයි. ජූනි 15 වැනි දි වන විට ගම්මාන 2500 ඉලක්කය අප සම්පූර්ණ කළා. ඉදිරියේදී අපේ ආයතන තුළ උසස්වීම් ලබා දෙනවා. වැඩකරන පුද්ගලයින්ට සීමා මායිම් නැතිව කටයුතු කරනවා.

ඡායාරූප- හිරන්ත ගුණතිලක 


නව අදහස දක්වන්න