දෙස්-විදෙස් ආයෝජකයන් මෙරට ආයෝජනයට බිය වියයුතු නෑ | දිනමිණ


 

දෙස්-විදෙස් ආයෝජකයන් මෙරට ආයෝජනයට බිය වියයුතු නෑ

අසේල ලියනගේ

ශ්‍රි ලංකාවේ ආයෝජනය කිරීමේ දී ප්‍රධානතම බාධකයක්ව පැවැති ‘ඌන ක්‍රියාකාරී ව්‍යවසායකයන් පුනරුදය කිරීමේ පනත‘ පසුගිය සතියේ ඉවත් කිරීම නිසා බියෙන් සැකෙන් තොරව දේශීය හා විදේශීය ආයෝජකයන්ට මෙරට ආයෝජන කටයුතු ආරම්භ කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම පනත යටතේ පුද්ගලික ආයෝජකයන්ගේ ව්‍යාපාර රජයට පවරා ගැනීමේ හැකියාව තිබූ බවත් ඒ නිසා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීම පිළිබඳ බියක් ආයෝජකයන්ට පැවැතිය බවත් පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, ඒ හේතුවෙන් ආර්ථික සංවර්ධන පරමාර්ථ ඉටු නොවූ බව අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පසුගිය දා (22) මොණරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් ජනසතු කිරීමේ වැඩසටහන්වලට සමඟාමීව සංවිධාන කර තිබූ ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනේ මොණරාගල දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින්ය.

මොණරාගල දිස්ත්‍රික්කයේ අයිරෝඩ් ව්‍යාපෘතියේ සංකේතවත් නාම පුවරුව විවෘත කිරීම සහ හුලංදාව වටරවුම සංවර්ධනය කිරීම සඳහා මුල්ගල් තැබීම ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල, හුලංදාව ප්‍රදේශයේ දී සිදුකෙරිණි.

රුපියල් මිලියන 15237ක වියදමින් මොණරාගල දිස්ත්‍රික්කයේ මාර්ග 96ක කිලෝමීටර් 481ක මාර්ග පද්දති කාපට් අතුරා සංවර්ධනය කිරීම ද අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා-

අද මොණරාගලට පැමිණ අයිරොයිඩ් ව්‍යාපෘතීන් දෙකක් විවෘත කළා. ක්‍රීඩාංගණයකට මුල්ගල් තිබ්බා, මෙතන දී ඔබට ස්වර්ණභූමි ඔප්පු ලබා දෙනවා. සමෘද්ධි ලක්ෂ හයක් ලබාදීමේ වැඩසටහන මොණරාගලින් ආරම්භ කළා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ගම්පෙරළිය වැඩසටහන් ආරම්භ කළා. භික්ෂූන් වහන්සේලා රක්ෂණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කළා.

තවත් වැඩසටහන් රැසක් තිබෙනවා. බොහෝ වැඩසටහන් මේ වන විට මොණරාගල දිස්ත්‍රික්කයට ලබා දී තිබෙනවා. 2015 සිට රජයට ඉදිරි දැක්මක් තිබූ නිසා මෙම වැඩසටහන් සාර්ථකව කිරීමට හැකි වුණා. අපි මෙම වැඩකටයුතු ආරම්භ කරද්දී අපිට ප්‍රශ්න මතු වුණා. අපි භාරගත්තේ ණය බරින් තිබූ රටක්. එදා ජාත්‍යන්තරය අපිව පිළිගත්තේ නෑ. අපි කොහොමහරි අපේ ආදායම් මට්ටම වැඩිකර, වියදම් වැඩි කළා. අපි මූලික අය-වැයෙන් කුඩා අතිරික්තයක් පෙන්වා පසුගිය කාලයේ ගත් ණය ගෙවමින් ජාත්‍යන්තරයේ විශ්වාසය ලබාගෙන තිබෙනවා. අපි බලයට පතු වූ ගමන් කළේ ණය ගෙවපු එකයි. ඒ නිසා සමහරු ඇහුවා මේ ආණ්ඩුව බලයට ඇවිත් මොනවද කළේ කියා. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලයේ රට සංවර්ධනය කළා. වර්තමාන්යේ නෑ කිව්වා. එදා අපි සෑම ග්‍රාමසේවා කොට්ඨාසකටම රුපියල් ලක්ෂ 10 බැගින් දුන්නා සංවර්ධන වැඩකටයුතුවලට. වැඩකටයුතු ගණනාවක් ආරම්භ කළා. දැන් එම වැඩකටයුතුවල ප්‍රතිඵල ලැබී තිබෙනවා.

ළඟම පාසල හොඳම පාසලෙන් පාසල් ගොඩනැගිලි ලබා දුන්නා. ශිෂ්‍ය ශිෂ්‍යාවන් රක්ෂණය කළා. අපි අලුතින් නිවාස ලබාදී තිබෙනවා. සෞඛ්‍ය අංශය දියුණු කළා. ස්ටෙන්ස් නොමිලේ ලබා දෙනවා. අයිරෝඩ් වැනි ව්‍යාපෘතිවලින් මාර්ග දියුණු වී තිබෙනවා. කෘෂිකර්මාන්තය දියුණු කරගෙන යනවා. මෙතනින් තමයි දියුණුව ඇති වී තිබෙන්නේ. මට මතකයි ඉස්සර මෙම ප්‍රදේශවලින් යනවිට ඇත්තවශයෙන්ම නොදියුණු කලාපයක්. අද සම්පූර්ණයෙන්ම දියුණු කලාපයක්. දුටුගැමුණු රජදවසේ වගේ නෙමෙයි දැන් තමයි සංවර්ධනය වෙමින් පවතින්නේ. අපි මාධ්‍යයෙන් සංවර්ධනය කරන්නේ නෑ. ගමට ඇවිත් සංවර්ධනය කරනවා. රට ඉදිරියට ගෙන යන්න දිවිහිමියෙන් කැප වෙනවා.

වාහනයක යද්දි තමන්ට අවශ්‍ය විදියට යන්න බෑ. එහෙට මෙහෙට හරවන්න කියනවා. දැන් අපිට තනියම වාහනය පදවගෙන යන්න පුළුවන්. ඒ නිසා විශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. 2015 සිට ක්‍රියාත්මක කළ වැඩටික ඊටත් වඩා ශීඝ්‍රයෙන් කරගෙන යන්න පුළුවන්.

මොණරාගල ප්‍රදේශයට විශාල දියුණුවක් ලාබා දෙන්න අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ආනන්ද කුමාරසිරි යන දෙපළ උනන්දුවකින් යුතුව කයයුතු කරනවා. රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිතුමා දැරූ අමාත්‍යාංශ සියල්ලෙන් ම මොණරාගල දියුණුව වෙනුවෙන් ඔවුන් පෙනී සිටියා. එදා සුද්දො නැතිකරපු වෙල්ලස්ස අද ආපසු දියුණු කරගෙන යනවා. අද මෙම ප්‍රදේශයේ ක්‍රීඩා සංවර්ධනයක් සිදුවී තිබෙනවා. මෙහි අලුතින් ඉදිවන ජාතික ක්‍රීඩා සංකීරණය මගින් තරුණ, තරුණියන්ගේ ක්‍රීඩා හැකියාවන් දියූණු වෙනවා. මෙතනින් මෙම වැඩකටයුතු අවසන් නෑ. තවත් වැඩසටහන් රැසක් ඉදිරියේ දී ක්‍රියාත්මකයි. ඉදිරි වසර පහේ මොණරාගල ඉතා දියුණු දිස්ත්‍රික්කයක් බවට පත් වෙනවා යැයි කියන්න කැමතියි.

අපි එදා කොළඹ දිස්ත්‍රික්කයෙන් කොටසක් කඩලා ගම්පහ හැදුවා. එදා තිබුණේ පොල්වතු විතරයි. අද ගම්පහ වැඩිම ජනගහනයක් ඇති දිස්ත්‍රික්කයක්. කර්මාන්ත ගොඩක් තිබෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු වී තිබෙනවා. ගම්පහ ඇති වූ විශාල ආර්ථික දියුණව අද මොණරාගලටත් අපි ලබාදෙනවා. ආනන්ද කුමාරසිරි මහතාට පාර්ලිමේන්තුවේත් පළාත් සභාවලත් හොඳ අත්දැකීමක් එතුමාට තිබෙනවා. එතුමා මෙම ප්‍රදේශ දියුණු කිරීමට විශාල දායකත්වයක් ලබා දෙනවා. එතුමාට තේරුම්කාරක සභාවේත් මෙම දිනවල හොඳට රඟපාන්න තිබෙනවා. අපි ගයන්ත කරුණාතිලක ඇමැතිතුමාටත් රට පුරා ඉඩම් ඔප්පු ලබාදීම පිළිබඳ ස්තූතිවන්ත වෙනවා. හැම පුද්ගලයාටම ඉඩමේ අයිතිය ඉදිරියේ දී ලබා දෙනවා. එය ඉතාමත් වැදගත් වැඩසටහනක්. එතුමා රට වටේම ගිහින් ඉඩම් ඔප්පු ලබාදෙමින් යනවා. අපිට එදා බැන්නා වැඩකරන්නේ නෑ කියා. දැන් දුටුගැමුණු රජතුමාටත් ගම්මාන හදන ආකාරය පිළිබඳ අපෙන් ඉගෙනගන්න පුළුවන්. මන් මොණරාගලට ගුවන්තොටුපළක් දුන්නා. ඒක හොරකම් කරගෙන ගියා. ඒක දැන් වහලා තිබෙන්නේ ගුවන් යානා ගන්න අපහසු නිසා. අපි මොණරාගලට අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල ලබා දී තිබෙනවා. දැන් අපිට තිබෙන්නේ මොණරාගලට අවශ්‍ය ආර්ථික සංවර්ධනය ලබා දීමයි. එයට තමයි අපි මේ වැඩකටයුතු කරමින් සිටින්නේ. ඒක කරන්න අපිට විදේශ ආයෝජන අවශ්‍යයි. හම්බන්තොටින්, මොණරාගලින් අක්කර 10,000ක් වෙළෙඳ කලාප වෙනුවෙන් වෙන්කර තිබෙනවා. බිංගිරිය, ත්‍රිකුණාමලය, කළුතර ප්‍රදේශවල අපි වෙළෙඳ කලාප හදනවා. මොණරාගල අක්කර 1000ක් සංචාරක ව්‍යාපාර දියුණුව සඳහා යොදවා තිබෙනවා. ඒ කාලයේ කටුනායක, බියගම වෙළෙඳ කලාප හැදුවා වගේ මෙම ප්‍රදේශවලත් අපි හදනවා. බියගම වගේ වෙළෙඳ කලාප පනහක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. ලංකාව පුරා අක්කර 10,000ක් හෝටල් හදන්න වෙන්කර තිබෙනවා . මේවා සඳහා ලංකාවේ අයට මුදල් නෑ. ඒ නිසා විදෙස් ආයෝජන අවශ්‍යයි. මේ සඳහා බදු සහන අපි ඉදිරිපත් කර තිබෙනවා. ලෝකයේ බොහෝ ආයෝජකයන් ලංකාව පිළිබඳ විශ්වාසයෙන් ඉන්නේ. නමුත් එක් බාධකයක් අපිට තිබෙනවා. ඒ අය අහනවා ඇයි ආණ්ඩුව පෞද්ගලික ව්‍යාපාර රජයට පවරාගන්නේ කියා. ඒ නිසා ඔවුන් ව්‍යාපාර රජයට පවරාගන්නේ නැති චීනය, වියට්නාමය වගේ රටවලට සංක්‍රමණය වෙනවා. අපේ කලාපයේ රටවල් සියල්ලම එසේ රජයට පෞද්ගලික ව්‍යාපාර පවරගන්නේ නෑ. ඒ නිසා ආයෝජකයන් මොකද්ද ඒ අයගේ ව්‍යාපාර රජයට භාරගන්නේ නෑ, කියන්න දෙන සහතිකය මොකක් ද කියා අපෙන් අහනවා. මෙය තමයි විශාලම බාධකය. අපි ආයෝජකයන් ගේන්න ඕනේ නිසා එම බාධකය ඉවත් කළා ගිය සතියේ. ‘ඌණ ක්‍රියාකාරී ව්‍යවසායකයන් පුනරුදය කිරීමේ පනත‘ අපි ඉවත් කළා. ඉවත් කළේ විදෙස් මෙන්ම ලාංකික ආයෝජකයන්ගේ බිය නැති කිරීමටයි. එය ඉවත් කළාට පසුව විදෙස් ආයෝජකයන් කියනවා දැන් බියකින් තොරව ලංකාවට එන්න පුළුවන් කියා. විදෙස් ආයෝජන මෙරටට පැමිණියාම රටේ තරුණ, තරුණියන්ට රැකියා බොහෝමයක් නිර්මාණය වෙනවා.

අපිට වෙළෙඳ කලාප 50ක් හදන්න නම් විශාල ආයෝජන ප්‍රමාණයක් ලබාගත යුතුයි. සමහරු කියනවා වෙළෙඳ කලාප 50ක් ඇති කරන්න බෑ කියා. ඒ අයට මම කියනවා වසර 30කින් නිම කිරීමට යෝජිතව තිබූ මහවැලිය වසර 10කින් නිම කළා වගේ මෙයත් අපිට කළ හැකි කියා. එදා හම්බන්තොට වරායට නැව් ආවේ නෑ. දැන් නැව් එනවා. දැන් මත්තල ගුවන්තොටුපළ ලංකාවේ ගුවන් අධිකාරිය හා ඉන්දියාවේ ගුවන් අධිකාරිය එකට එකතු වී වැඩකටයුතු කරන් යනවා. ඒක අපි දියුණු කරනවා. මෙතන අක්කර 5000ක් කර්මාන්ත කලාපවලට වෙන්කර තිබෙනවා. ඒ සඳහා විශාල විදෙස් ආයෝජකයන් ප්‍රමාණයක් අවශ්‍යයි. විශාල කර්මාන්තශාලා ඉදිවෙනවා. හැමදෑම සම්ප්‍රධායක කෘෂිකර්මාන්තයෙන් දියුණු වෙන්න අමාරුයි. අලුත් විපලවයක් කළ යුතුයි. ඒ විප්ලවය කරන්නයි අපි මෙය ආරම්භ කළේ. මෙම කර්මාන්තපුර ඇති කරන්නේ වෙල්ලස්සේ ජනතාවට විතරක් නෙමෙයි, මේ රටේ සමස්ත තරුණ පරපුර වෙනුවෙන්. තොරතුරු තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන කර්මාන්ත තිබෙනවා. ඒවා සඳහා අපි දැනුමක් ලබා ගත යුතුයි. තරුණ, තරුණියන් පුහුණු කළ යුතුයි. චීනයේ වගේ අනුන්ගේ ආයෝජන ගෙන්නගෙන හෝ දියුණු විය යුතුයි.

මෙතන තිබෙන්නේ මොණරාගල ඔබේ අනාගතයයි. ඒ සඳහා අපි රුහුණු ආර්ථික සංවර්ධන සැලැස්ම ආරම්භ කිරීමට නීති සකස්කරමින් සිටිනවා. මොණරාගල, හම්බන්තොට, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් එය ක්‍රියාත්මකයි. මහ කොළඹ ආර්ථික ගිවිසුමෙන් ගම්පහ දියුණු කළා වගේ අපි බලාපොරොත්තු වෙන්නේ මෙම පනත මගින් දකුණ දියුණු කිරීමටයි. අන්න ඒ වැඩකටයුතු තමයි අපි ඉදිරියට කරගෙන යන්නේ. මොණරාගල දිස්ත්‍රික්කයේ කෘෂිකර්මය දියුණු කිරීම, වැව් දියුණු කිරීම, වැවිලි කර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය දියුණු කීරීම, කුඩා ව්‍යාපාර ඇති කිරීම වැනි සංවර්ධන ක්‍රියා ඇති කළ යුතුයි. මෙම ආණ්ඩුව වැඩකරන ආණ්ඩුවක්. රුහුණු ඉතිහාසයේ මෙතෙක් සිදුනොවූ දියුණුවක් අපි ලබා දෙනවා.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක‍,

මෙම ප්‍රදේශයේ සිටින ජනතාව කඳුකරය සහ තැනිතලාව ජය ගත හැකි ශක්තිමත් ජනතාවක්. රට පුරා ඉඩම් ඔප්පු දසලක්ෂයක් ලබාදීමේ වැඩසටහන යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩමේ අයිතිය ලබාදීම පිළිබඳ මා සතුටු වෙනවා. මොණරාගල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 20,000කට ඉඩමේ නිර්වුල් අයිතිය ලබා දෙනවා. ඔබ දන්නවා උසාවිවල ඉඩම් නඩු පිරිලා. එම නඩු වසර ගණනාවක් පැරණියි. ඒ සඳහා අපි නීති මාලාවක් ලබාදීමට බපාපොරොත්තු වෙනවා. ඇතැම් උදවිය ඉඩම් නඩු වෙනුවෙන් ඇණකොටා ගන්නවා.

සින්නක්කර ඔප්පුවක අවශ්‍යතාව බැංකුවකට ගිහාම හොඳින් තේරෙනවා. ජනතාවගේ ඉඩම් ගැටලු විසඳාදෙන ලෙස අගමැතිතුමා මට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මන වෙනවා. තව නොබෝ දිනකින් ඉඩමේ සින්නක්කර අයිතිය ඔබට ලබා දෙනවා. ඒ මගින් ඔබේ ඉඩමේ වටිනාකම තුන්ගුණයකින් පමණ වැඩි වෙනවා. මෙතන සිටින සමහරුන්ට වසර 30කින් පමණ පසුවයි ඉඩමක් ලැබෙන්නේ.

අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා,

දැනටමත් මොණරාගල දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු 20,000 ලබා දී තිබෙනවා. එය ඔබ ලැබූ විශාල ජයග්‍රහණයක්. මෙම වැඩසටහන සහ සමෘද්ධි හිමිකම් ලබාදීමේ වැඩසටහන කිසිදු දේශපාලන බේදයකින් තොරව රට පුරා ජනතාවට ලබා දෙනවා. මෙය ඔබට හිමිවුණේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි කළ නිසායි. ඒ පිළිබඳ මා අගමැතිතුමාටත්, ඉඩම් ඇමතිතුමාටත් ස්තූති වෙනවා.

පසුගිය සතියේ පුද්ගලයන් 12000 දෙනෙකුට නව සමෘද්ධි හිමිකමක් ලබා දුන්නා. එය ඔබේ ආර්ථිකය දියුණු කිරීමට රජයෙන් දෙන අත්වැලක්. ඒ මඟින් ඔබේ ආර්ථිකය ශක්තිමත් කරගත හැකියි. එළැබෙන සතියේ මොණරාගල දිස්ත්‍රික්කයේ සෑම ස්වාමීන් වහන්සේ නමකටම රක්ෂණයක් ලබාදීමට වත්මන් රජය තීරණය කර තිබෙනවා. මොණරාගල දිස්ත්‍රික්කයේ පමණක් පාසල් ගොඩනැගිලි සඳහා රුපියල් ලක්ෂ 30,000ක් වියදම් කර තිබෙනවා. ඉතිහාසයේ වැඩිම වැඩකොටසක් කළ ආණ්ඩුව වත්මන් රජයයි. මොණරාගල දිස්ත්‍රික්කයේ කවුරුත් මීට වසර කීපයකට පෙර හැඳින්වූයේ දුශ්කර ප්‍රදේශයක් ලෙසයි. නමුත් දැන් එය වෙනස් වෙමින් තිබෙනවා. වත්මන් රජය මගින් මාර්ග ඇතුළු විශාල සංවර්ධනයක් ලබා දී තිබෙනවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ සෑම පාසලක්ම සංවර්ධනය වී තිබෙනවා. වත්මන් රජය සද්ද නැතිව වැඩ ගොඩක් කළ රජයක්.

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ආනන්ද කුමාරසිරි, ඌව පළාත් සභාවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජයසිංහ බණ්ඩාර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන සම්පත් ජයසූරිය, ජයන්ත කන්නන්ගර, හරේන්ද්‍ර බණ්ඩා, යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් රැසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

ජායාරූප - හිරන්ත ගුණතිලක 

නව අදහස දක්වන්න