පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට‍ ආධාර උපකාර කළ සැමට තුති‍ | දිනමිණ

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට‍ ආධාර උපකාර කළ සැමට තුති‍

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ‍ කිතුනු වන්දනා ස්ථානවලට මෙන්ම සෙසු තැන්වලට පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරවලින් පසු බොහෝ ඊමෙල් සහ ලිපි මඟින් ශෝකය පළ කරමින් සිය සහයෝගිතාවය හා සමීපතාවයත්, මුල්‍ය ආධාර ප්‍රදානය කිරීම හා විවිධ මංඔස්සේ පාස්කු ඉරිදා බිහිසුණු සිද්ධියෙන් විපතට පත් අයට ආධාර කිරී‍මටත් ඉදිරිපත් වූ සැමට හෘදයාංගම ස්තූතිය සහ උපහාරය පුදකරන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. සැබැවින්ම එය ඛේදවාචකයක් වන අතර තමන් තවමත් එහි කම්පනයෙන් සිදුව‍ූයේ කුමක්දැයි යන්න සිතා ගැනීමට වෑයම් කරමින් සිටින බවද අවධාරණය කරති.

එලෙසින්ම බොහෝ දෙනෙකු කාලය ගනිමින් තමන්ට පෞද්ගලිකව ලියන්නට ගත් වෑයමට තමන් බෙහෙවින් ස්තුතිවන්ත වන බවද සියලුම දිරිගැන්වීම් සහ ප්‍රශංසාවන් අගය කරන බවද සෑම සියලු දෙනාට පිළිතුරු ලියන්නට ඉතාමත් ඕනෑකමින් සිටියද එය අතිශයින් දුෂ්කර කටයුත්තක් වූයේ ඊට අදාළ කාලය ලබාගැනීමට පවතින කාර්ය බහුලතාවය ඉඩක් ලබා නොදුන් නිසා බවද මේ පිළිබඳව තමන් සැබවින්ම කනගාටුවන අතර මෙය අවබෝධ කරගනු ඇති බවට විශ්වාස කරන බවද උන්වහන්සේ පවසති. ‍

ඔබගේ මුළු හදවතින් පිදෙන හෘදයාංගම උපහාරය සහන අරමුදල වෙත මුල්‍ය පරිත්‍යාගයන් ලබාදුන් සැම වෙත පිරිනමන්නේ එමගින් මියගිය අයගේ පවුල්වලටත්, තුවාල ලැබූවන්ගේ ප්‍රතිකාර වලටත් පිළිසරණ වීමට අපේක්ෂිත නිසාවෙනි. සියලු ආධාර එකිනෙක ලද බවට සහතික කිරීමට නියමිතය. කෙසේ වෙතත් ඔබගේ මුල්‍ය පරිත්‍යාගය ලද බවට මෙතෙක් සහතිකයක් ලැබී නොමැති නම් කරුණාකර සියලු විස්තර ඇතුළත් කළ ඊමේල් පණිවුඩයක් [email protected] හෝ [email protected] වෙත යොමු කිරීමෙන් ‍ඔබගේ පරිත්‍යාගය ලද බවට සහතිකයක් අප වෙතින් ලබාගත හැකිය.

ඔබ සැමගේ කාරුණික සහ ත්‍යාගශීලී බව උදෙසා සර්වබලධාරී දෙවියන් වහන්සේගේ වරප්‍රසාද බහුලව ලැබේවා! දෙවියන් වහන්සේගේ අමිල ආශිර්වාදය ඔබ සැමට ලැබේවා! යයි උන්වහන්සේ පවසා සිටිති.

නව අදහස දක්වන්න