මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් ගැන අවධානය යොමු කළා | දිනමිණ

මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් ගැන අවධානය යොමු කළා

මානෙල් පුෂ්ප කුමාරි

වැඩිහිටි සුබ සාධන පහසුකම් ලබාදීමේ වැඩසටහන යටතේ මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් කෙරෙහි තම අවධානය යොමු කළ බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් ඇමැති දයා ගමගේ මහතා පැවසීය.

මේ වසරේ වැඩිහිටි සුබ සාධන පහසුකම් ලබාදීමේ වැඩසටහන යටතේ මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව සිටින වයස අවුරුදු 60 ට වැඩි පිළිකා රෝගීන් සඳහා සහනාධාර කට්ටලයක් පිරිනැමීම ඊයේ (24) එම රෝහල් පරිශ්‍රයේ දී අමාත්‍යවරයා අතින් සිදු කළේ ය.

එහි පැමිණි ඇමැතිවරයා රෝගීන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව ඔවුන්ට වියළි ආහාර ඇතුළු ද්‍රව්‍ය පාර්සලය බැගින් බෙදා දෙනු ලැබීය.

එහිදී ඒ පිළිබඳව අදහස් දැක්වූ ඇමැති දයා ගමගේ මහතා කියා සිටියේ,

අපේ අමාත්‍යාංශයේ කුඩා මුදලක් තියෙනවා මොනයම් හෝ ව්‍යාපෘතියකට වියදම් කිරීමට. ඒ මඟින් අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට යම් සත්කාරයක් කිරීමට හැකිවිම භාග්‍යයක්.

පිළිකා රෝගී අවස්ථාවේ දී එම රෝගීන් දුර්වල තත්ත්වයට පත් වෙනවා. එසේ පෝෂණ දුර්වලතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් යම්තාක් දුරකට හෝ මෙවන් කටයුත්තක් කිරීම ඔවුන්ට මහඟු උපකාරයක් වෙනවා.

පිට පළාත් වලින් අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්න පැමිණෙන රෝගීන්ට සහ රෝගියා සමඟ පැමිණෙන තවත් අයෙකුට නවාතැන් ගැනීමට නවාතැනක් සොයා ගැනීමට විශාල මුදලක් වැයවෙනවා. මෙහිදී සමහර රෝගීන්ට මාස ගණන් ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වෙනවා.

ඈත පළාත්වල අයට මේ සඳහා වැය කිරීමට එතරම් මුදල් නැහැ. ඒ හේතුව නිසා එයට උපකාරයක් ලෙස වෑගන්තලේ සීවලී හිමි ඔවුන්ට අවශ්‍ය නවාතැන සපයා දීමට දායක වී තිබෙනවා. මේක මහඟු සේවයක්. මම බලාපොරොත්තු වෙනවා සීවලී හිමි සමඟ එක්වී මේ සත්කාරයට කෙසේ දායක විය හැකි දැයි සොයා බැලීමට.


නව අදහස දක්වන්න