මතින් තොර ලොවක් තනන්න මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් | දිනමිණ

මතින් තොර ලොවක් තනන්න මත්ද්‍රව්‍ය නිවාරණ සතියක්

 ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ දිනය වූ ජුනි මස 25 දින මුල්කරගනිමින් ජනාධිපතිගේ උපදෙස් පරිදි පොලිස්පතිවරයා පොලිස් ස්ථාන 492 ක් ඊට අනුබද්ධ ප්‍රජා පොලිස් ඒකකත් සම්බන්ධ කරගනිමින් ජුනි 22 දින සිට ජුනි 29 දක්වා වූ පුරා සතියක් “මතින් තොර ගතක් නිදහස් සිතක් ප්‍රජා පාලක සුවපත් කිරීමේ වැඩසටහන” ක්‍රියාවට නංවා තිබේ.

මේ වැඩසටහනේ බස්නාහිර උතුර කොට්ඨාසයට අයත් වැඩසටහන් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් විශේෂඥ වෛද්‍යවරුන් මනෝ උපදේශකයින් ආදී සුවිශේෂ පුද්ගලයන් සහභාගී කර ගැනීමෙන් ඉතා සාර්ථකව සිදුකරයි.

මතට ඇබ්බැහි වූවන් 70,000 ක් අප රට තුළ ජීවත්වන බව 2018 වර්ෂයේ සමීක්ෂණ වාර්තාවක් හෙළි කරයි. අධිකරණය, මත්ද්‍රව්‍ය නිවාරණ ආයතන, රාජ්‍ය නොවන මත්ද්‍රව්‍ය නිවාරණ සංවිධාන ආදී ආයතන මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් ආයතන ගත කර පුනරුත්ථාපනය කර සමාජය මුදාහරියි. ඒ වර්ෂයකට 4500 පමණ පිරිසකි. එහෙත් සමාජගත වීමෙන් පසුවද සමහර පුද්ගලයින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වන බව සමීක්ෂණ පෙන්වා දෙයි.

ඒ නිසා පොලිසිය ප්‍රජා ‍ෙපාලිස් ඒකක හා බද්ධ වී මතට ඇබ්බැහි වූ පුද්ගලයන් ඔවුන් ජීවත්වන පරිසරය තුළදීම පුනරුත්ථාපනය කිරීමේ මේ නව වැඩසටහන වූ ප්‍රජා පාලක සුවපත් කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ඒ අනුව පසුගියදා වත්තල කෙළවරපිටිය විද්‍යාලෝක විදුහල් පරිශ්‍රයේදී වත්තල පොලිස් ස්ථාන වපසරිය තුළ ග්‍රාම නිලධාරි වසම් 20 ක ජීවත්වන මත්ලෝලීන් 200 ක් පුනරුත්ථාපනය කිරීමට වත්තල පොලිස් ස්ථානාධිපති නිශාන්ත සුරවීර මහතා කටයුතු සංවිධානය කර තිබුණි.

මේ වැඩසටහන යටතේ විශේෂඥ දේශන තුළින් මතට ඇබ්බැහි වූවන්ට එහි ආදීනව පැහැදිලි කරදීම, වෛද්‍ය සායනවලට යොමුකර අවශ්‍ය බෙහෙත් නොමිලයේම ලබාදීම, මනෝ චිකිත්සක වැඩසටහන් තුළින් මනස වෙනස් කිරීම උපදේශනය හා ගම්වල ප්‍රජා ‍ෙපාලිස් ඒකක හරහා පසු විපරම් කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම හා අසාර්ථක මත්ලෝලීන් නිවැරැදි මඟට යොමු කිරීම ආදී ක්‍රියාකාරකම් නිරන්තරයෙන් අඛණ්ඩව සිදුකරනු ලබයි.

ඡායාරූප හා සටහන - හැඳල විශේෂ - ජූලියන් කෝරාළ 

නව අදහස දක්වන්න