විපක්ෂයේ කතා බොරු කරමින් එජාපය දුප්පතුන්ට සහන දෙනවා | දිනමිණ

විපක්ෂයේ කතා බොරු කරමින් එජාපය දුප්පතුන්ට සහන දෙනවා

හැඳල විශේෂ - ජූලියන් කෝරාළ

 

“එක්සත් ජාතික පක්ෂය බටහිරට ගැතිකම් කරන ධනපතියන් ආරක්ෂා කරන දුප්පත් ජනතාව පීඩනයට පත්කරන පක්ෂයක් බවට විපක්ෂය කරන ගල් පැලෙන බොරු පුස්සක් බවට පත්කරමින් නැති බැරි දුප්පත් පවුල් හය ලක්ෂයකට සමෘද්ධිය ලබාදීම මේ දිනවල අප කරගෙන යනවා. මේ සමෘද්ධි දීනමාව පිං පඩියක් නොවෙයි. එය නැති බැරි පවුල් ස්වයං රැකියාවලට යොමුකරන ඔවුන් ආර්ථිකයේ පංගුකරුවන් කරන සංවර්ධනයට මං පෙත් විවර කරන දිරි දීමනාවක් යැයි වනජීවි සංචාරක ප්‍රවර්ධන කටයුතු හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පසුගියදා වත්තල ප්‍රාදේශීය ලේකම් පී. ඩී. ටී. සී. රාජිකා මහත්මිය එම කාර්යාලයීය ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබූ අලුතින් සමෘද්ධිලාභීන්ට කාඩ්පත් බෙදාදීමේ උළෙලේදී පවසා සිටියේය.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය ලෝරන්ස් මාදිවෙල, හිටපු පළාත් සභා මන්ත්‍රී සිරිකමල් ද සිල්වා, වත්තල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අනුර පතිනායක ප්‍රමුඛ ප්‍රාදේශීය සභාවේ එ.ජා.පක්ෂ මන්ත්‍රීවරුන්, වත්තල මාබෝල නගර සභාවේ උප නගරාධිපතිතුමන් ප්‍රමුඛ එ.ජා.පක්ෂයේ මන්ත්‍රීවරුන් සමෘද්ධිලාභීන් හා සමෘද්ධි නිලධාරින් සහභාගි වී සිටියහ.

වැඩිදුරටත් කතා කළ ජෝන් අමරතුංග ඇමැතිතුමා මේ රට ලේ විලක් බවට පත්කර ජාතීන් ආගම් අතර ගැටුම් ඇති කිරීමට ජගත් ත්‍රස්තවාදීන් කළ කුමන්ත්‍රණය පරාජය කරමින් ත්‍රස්තවාදීන් සෑම කෙනෙක්ම ඉතා කෙටි කාලයකින් අත්අඩංගුවට ගත් අ‍ෙප් රජය මේ රටේ යළිත් සාමය සුරක්ෂිත කර ඇති බවත් සංහිඳියාව සියලු ජාතීන් හා ආගමිකයින් අතර ඇති බව පසුගිය පොසොන් උත්සවයේදී මුළු ලෝකයටම ඔප්පු කර පෙන්නුවා.

විපක්ෂයේ මන්ත්‍රීවරු පාස්කු ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව බොරු ප්‍රචාර කරමින් දේශපාලන වාසියක් ගන්න උත්සාහ කරනවා. ඒත් බොරුව පරදා ඇත්ත ජයගන්න එක සිකුරුයි.

ළඟ එන ජනාධිපතිවරණයේ අපේ අපේක්ෂකයා අප ප්‍රජාතන්ත්‍රවාදීව අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දු අනුව නියම වෙලාවට ප්‍රසිද්ධ කරාවි. සමහර මාධ්‍යවේදීන් මාවත් ජනාධිපති අපේක්ෂකයා කරන්න හදනවා. මගේ 40 වසර අඛණ්ඩ නිහතමානී දූෂණයෙන් තොර දේශපාලනයත් ජ්‍යෙෂ්ඨත්වයත් එයට ඈ‍ඳෙනවා. නමුත් මම කියන්න සතුටුයි ඇඟිල්ලේ තරමට ඉදිමිය යුතු බව මා දන්නවා. මේ ‍රටේ ජනාධිපති ධුරයට මා සුදුසු නැති බව. එම නිසා බැරි වෙලාවත් කෘත්‍යාධිකාරී මණ්ඩලය මාව යෝජනා කළොත් මා නිහතමානීව ඒ සඳහා සුදුසු නැති බව පෙන්වා දී මා එම යෝජනා ප්‍රතික්ෂේප කරනවා යැයිද පැවැසීය.

වර්තමාන අපේ රජය, පසුගිය රජය දශක කීපයක් තුළ කළ වැඩවලට වඩා සංවර්ධන වැඩ රාශියක් කර තිබෙනවා. මා කියනවා විපක්ෂයේ අයට අප කර තිබෙන වැඩ බලන්න ගමට යන්න කියා. අපේ ගිලන් රථ සේවය, සමෘද්ධි දීමනා, වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරන රන්මාවත වැඩපිළිවෙළ ආදිය මේ රටේ දුගී දුප්පතුන්ට ආශිර්වාදයක් වී තිබෙනවා. බුද්ධ ශාසනයේ පුනර්ජීවය සඳහා අප තරම් සේවය කළ රජයක් නැහැ. ඒ වගේම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. සෞඛ්‍ය අධ්‍යාපනය ආදී ක්ෂේත්‍රවලින් දුප්පතුන්ට සහන සැලසුවා. අද වත්තල පවුල් 3798 කට සමෘද්ධිය දෙනවා. ඒ දෙනවිට පක්ෂ පාට ආගම් කුළ අපි බැලුවේ නැහැ. බැලුවේ නැති බැරිකම විතර යැයිද පැවැසීය.

වත්තල පාර්ලිමේන්තු ආසනය පුරා විසිරී ජීවත්වන අඩු ආදායම්ලාභීන් 3798 පවුල් සඳහා සමෘද්ධි කාඩ්පත් බෙදාදීම පසුගියදා වනජීවි, සංචාරක ප්‍රවර්ධන කටයුතු හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගා‍රයේදී සිදු කළේය.

 

ඡායාරූපය - හැඳල විශේෂ

 


නව අදහස දක්වන්න