පාංශුට තාම අවස්ථාවක් නෑ | දිනමිණ


 

පාංශුට තාම අවස්ථාවක් නෑ

විසාකේස චන්ද්‍රසේකරම්

“පාංශු” යනු තවම සිනමා ශාලාවල ප්‍රදර්ශනය නොවූ නමුත්, මෑත කාලයේ බොහෝ සෙයින් කතාබහට ලක්වන සිනමාපටයකි. “සයපෙති කුසුම” සිනමාපටයෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි විසාකේස චන්ද්‍රසේකරම් මෙම සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා, නිෂ්පාදකවරයා සේ ම තිරපිටපත් රචකයා ද වේ. පළමු සිනමා නිර්මාණයෙන් ම සිය ප්‍රතිභාව විදහා දැක්වූ ඔහුගේ නවතම සිනමා පෙරළිය නැරඹීමට සිනමා ලෝලීන් තුළ ඇත්තේ නොඉවසිල්ලකි. මේ ඔහුගේ නවතම සිනමා පටය වන "පාංශු" හා කළ සාමීචියකි.

l “පාංශු” ඉහළ ප්‍රතිචාර ලබන බව දැනගන්න ලැබුණා?

“පාංශු” තවම තිරගත වුණේ නෑ. ඉතාම සීමිත දර්ශන ප්‍රමාණයක් තමයි ලංකාවේ පවත්වලා තියෙන්නෙ. සිනමා උළෙලවලට ඉදිරිපත් කළා. ඒ හැරුණු විට මේ චිත්‍රපටයේ අන්තර්ගතය පිළිබඳ සාකච්ඡා කෙරෙන වැඩසටහනක් විදිහට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ තවත් ස්ථාන දෙකක ප්‍රදර්ශනය කරලා තියෙනවා. නමුත් බලපු අය ඉතාමත් ඉහළින් ඒ සිනමාපටය ගැන කතා කළා. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලවලට ඉදිරිපත් වුණ චිත්‍රපටවල තියෙනවා සමහර වෙලාවට දේශීය ප්‍රේක්ෂකයන්ට වටහා ගැනීමට අපහසුයි වගේ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙ අපිට ආවෙ නෑ. විදේශිකයන්ගෙන් වගේ ම දේශීයවත් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණ චිත්‍රපටියක් තමයි “පාංශු” කියන්නෙ.

l මේ සිනමාපටයේ තේමාව ගැනත් කතා කළොත්?

මේ චිත්‍රපටයේ තේමාව වෙන්නේ දෙවන භීෂණ සමයේ, ඒ කියන්නේ 1980 අගභාගයේ දී ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කිරීමත් සමඟ දකුණෙ සිදුවන තරුණ නැගිටීම. ඒ නැගිටීමත් එක්ක ලංකාවේ විශාල වශයෙන් හිංසනයන්, මනුෂ්‍ය ඝාතනයන් සහ පැහැරගෙන යෑම් සිද්ධ වෙනවා. එසේ පැහැගෙන ගිය තරුණයකුගේ මවකගේ චරිතය ඇසුරෙන් තමයි මේ කතාව දිග හැරෙන්නෙ.

l “පාංශු” තිරයට පැමිණීමට කෙතරම් කාලයක් ගත වේවි ද?

ඒක තමයි අපි වගේ නිදහස් චිත්‍රපටකරුවන් මුහුණ පාන ලොකු ම ප්‍රශ්නය. තිරගත වීම කියන දේ සම්බන්ධයෙන් කිසි ම ආකාරයක සැලසුමක් ඉදිරිපත් කරන්නවත් දිනයක් කියන්නවත් අපට පුළුවන් කමක් නෑ. මේ රටේ චිත්‍රපට බෙදාහැරීම ඉතාමත් අවිධිමත් විදිහට තමයි සිද්ධ වෙන්නෙ. ඒ බෙදාහැරීම සිද්ධ වෙන ආකාරය අනුව යම් යම් බලතල සහ ඇඳුරුම්කම් ඇති චිත්‍රපට අයිතිකරුවන්ටයි වැඩි ම වාසිය තියෙන්නෙ. මේ සිනමාපටයට වාරණ මණ්ඩල සහතිකය ලැබිලා දැනට අවුරුදු එකහාමාරකට කිට්ටුයි. නමුත් තාම අපිට සිනමාපටය ප්‍රදර්ශනය කරගන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. මේ දිනවල චිත්‍රපට සංස්ථාවත් සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා කොහොමද මේ නිර්මාණය තිරයට ගේන්නෙ කියලා.

l මේ නිර්මාණයට දායක වන රංගන ශිල්පීන් ශිල්පිනියන් ගැනත් යමක් කියමුද?

ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ නීටා ප්‍රනාන්දු. මට අවුරුදු විස්සක විතර මිත්‍රකමක් තියෙන නදී කම්මැල්ලවීර වගේ අයත් මේ නිර්මාණයට රංගනයෙන් දායක වෙනවා. ජගත් මනුවර්ණත් මං කාලයක් තිස්සෙ දන්න අඳුරන කලාකරුවෙක්. ඒ හැරුණම මේ සිනමා නිර්මාණයට සම්බන්ධ වුණු හැම කෙනෙක් ම මේ වෙනකොට මගේ හොඳ මිත්‍රයන් බවට පත්වෙලයි ඉන්නෙ. මගේ මුල් ම චිත්‍රපටයේදිත් ඒ දේ ඒ විදිහට ම සිද්ද වුණා. තේවිය කනිෂ්ක සහ රන්දික වැනි අලුත් පරම්පරාවේ රංගන ශිල්පීනුත් මේ නිර්මාණයට සම්බන්ධ වෙනවා. පරම්පරා තුනක ශිල්පීන් මේ නිර්මාණයට සම්බන්ධ වෙනවා රංගන ශිල්පීන් හැටියට. ඒ හැම කෙනෙක් ම ඉතාමත් ම ඉහළ දායකත්වයක් ලබාදුන්න බව විශේෂයෙන් මතක් කරන්න ඕනෙ. ඒ හැරුණම තිරය පිටුපස සිදුවන කාර්යභාරයත් අමතක කරන්න බෑ. මේ නිර්මාණයේ සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ චින්තක, ශබ්ද සංයෝජනයෙන් දායක වූ අරුණ කළුආරච්චි සහ වර්ණ සංයෝජනයෙන් දායක වූ ආනන්ද බණ්ඩාර වැනි ශිල්පීන්ගෙන් ලැබුණේ විශාල සහයෝගයක්. ඒ වගේ ම විශේෂයෙන් ම මම මතක් කරන්න ඕනේ මගේ කැමරා ශිල්පියා සහ සංස්කරණ ශිල්පියා. දිමුතු කාලිංග කැමරා ශිල්පියෙකු හැටියට දායක වන පළවෙනි චිත්‍රපටිය තමයි “පාංශු”. කැමරා ශිල්පියා විදිහට ඔහු චිත්‍රපටය කැමරා කරලා පැත්තකට වූණේ නෑ. ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකුත් වන ඔහු පෝස්ටර් වැනි දේ නිර්මාණය කරමින් තවමත් මේ චිත්‍රපටයේ අවශ්‍ය කරන ප්‍රචාරක වැඩ කටයුතුවලට දායක වෙනවා. මේ නිර්මාණයේ සංස්කරණ කටයුතු සිදු කළ සිතුම් සමරජීව ගැන කියනවා නම් ඔහුගේ විශේෂත්වය වන්නේ ඔහු මේ චිත්‍රපටයේ දර්ශන තලයේ නිතර හිටිය කෙනෙක්. සාමාන්‍යයෙන් සංස්කරණ ශිල්පීන් එහෙම ඉන්නෙ නෑ. ඔහු රූගත කරන වෙලාවෙ ඉඳන් ම නිර්මාණය දිහා බලන් ඉඳලා, චිත්‍රපටිය සංස්කරණ මැදිරියට එනකොට ඒ අවශ්‍ය කරන සංස්කරණ ක්‍රමවේද සියල්ල ඔළුවේ හදාගෙන තිබුණා. ඒ වගේ ම මේ නිර්මාණයේ සියලු ම පසු නිෂ්පාදන කටයුතු සම්බන්ධීකරණය කළෙත් ඔහුයි. පසු නිෂ්පාදන කටයුතු සිදු වෙන දවස්වල මම ලංකාවේ හිටියේ නෑ. ඉතිං මට කියන්න තියෙන්නේ මේ ශිල්පීන් හැම කෙනෙක් ම තමන්ගේ කාර්යභාරයට අමතරව ගොඩක් දේවල් මේ වෙනුවෙන් එකතු කරපු ශිල්පීන් පිරිසක්. මෙහි වැදගත්කම තමයි පරම්පරා තුනක හොඳ සුසංයෝගයක් මේ සිනමාපටයේ දකින්නට තිබීම.

l සිනමාකරුවෙක් වීමට පෙර සිට ම ඔබ කලාව සමඟ බොහෝ සබඳකම් පැවැත්වූ අයෙක්?

ඇත්තට ම බොහෝ දෙනෙක් දන්නෙ නැති වුණාට මම මුලින් ම සම්බන්ධ වුණේ සිනමාවට. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගය කරලා, උසස්පෙළ ප්‍රතිඵල එනකල් හිටපු කාලේ මම සිනමාවට සම්බන්ධ වුණේ, සිනමාව ගැන හදාරන්න හිතාගෙනයි. මම මුලින් ම සහය අධ්‍යක්ෂණයට සම්බන්ධ වුණේ “ශක්ති” සහ “රජ කෙල්ලො” කියන සිනමා නිර්මාණවල. එතකොට මට වයස අවුරුදු 17යි.

ෂර්ලි විජේරත්න සහ ලලිත් ගුණවර්ධන කියන අධ්‍යක්ෂකවරුන් සමඟයි මම මුලින් ම වැඩ කළේ. ඒ වෙනකොට මම ලාබාල නිසාත්, කර්මාන්තයක් හැටියට සිනමාව තුළ මට මගේ ජීවිකාව ගෙනියන්න අපහසු නිසාත් වගේ ම තවදුරටත් ඉගෙනගන්න කැමැත්ත තිබුණ නිසාත් මම උසස් පෙළ කරලා, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළු වුණා. “තහනම් අඩවිය” නමින් මම මුලින් ම නාට්‍යක් විදිහට නිර්මාණය කරන්නේ නීති විද්‍යාලයේ ඉන්න කාලයේ ලියූ කතාවක්. “දේවදාසි” කියලා තවත් නාට්‍ය නිර්මාණයක් කළා. ඊට පස්සෙ මම අවුරුදු 17ක් ම හිටියේ ලංකාවෙන් පිට. ඒ ඉන්නකොට මගේ අතින් නව කතා දෙකකුත් ලියවුණා. පසුව මම “කටු යහන” කියලා නාට්‍යක් නිර්මාණය කළා. තවත් නාට්‍ය පිටපත් ලියුවා.

2013 දී ලංකාවට ඇවිත් “සයපෙති කුසුම” සිනමා නිර්මාණය කරලා නැවත විදෙස්ගත වුණා. ඒ තමයි මගේ පළවෙනි චිත්‍රපටිය. “පාංශු” කියන්නේ මගේ දෙවැනි චිත්‍රපටය. නවකතා, ගීත සහ නාට්‍ය පිටපත් ලියලා තියෙනවා. ඉදිරියටත් ලියනවා. ඒ හැරුණම මම දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නීතිය සම්බන්ධයෙන් කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා.

l වර්තමාන ශ්‍රී ලාංකේය සිනමාව තුළ ඔබ දකින ප්‍රශස්ත නිර්මාණකරුවන් කවුරුන්ද?

මම ඉතාමත් ගරුකරන ලංකාවේ චිත්‍රපට ශිල්පියා තමයි මේ වෙද්දි ජීවතුන් අතර නැති ධර්මසේන පතිරාජ මහත්මයා. සිනමාකරණය හරහා දේශපාලනික කතිකාවත් ගෙනයෑමේදි පුරෝගාමියෙක් වෙලා ඉතාමත් ඉහළ මට්ටමකට නිර්මාණය ඔසවා තැබූ ශිල්පියා හැටියට මට ඒ සිනමාකරුවා පිළිබඳ තියෙන්නේ විශාල ගරුත්වයක්. ඒ හැරුණම මෑත කාලයේ සිනමාකරුවන්ගෙන් මා තුළ විශාලම ගරුත්වයක් තියෙන්නෙ මලිත් හෑගොඩට. ඔහුගේ “දැකලා පුරුදු කෙනෙක්” චිත්‍රපටිය මම ඉතාමත් ඉහළින් අගය කරන චිත්‍රපටියක්. ඊට අමතර ව තවත් බොහෝ දක්ෂ සිනමාකරුවන් ඉන්නවා. මං ඒ හැමකෙනෙක් ගැන ම කියන්න යන්නෙ නෑ. නමුත් මට ආභාසය ලැබුණු සිනමාකරුවන් හැටියට ගත්තොත් ධර්මසේන පතිරාජ, ලෙස්ටර් ජේමිස් පීරිස්, සුමිත්‍රා පීරිස් වගේ අයව නම් කරන්න පුළුවන්.

l ඔබේ මීළඟ නිර්මාණයටත් මේ වන විට සූදානම් වෙමින්ද ඉන්නෙ?

තවම ඒ විදිහෙ කිසි ම සූදානමක් නෑ. මගේ රැකියාවත් එක්ක වෙලාව හොයාගන්න එක අපහසුයි. ඒ නිසා ම මීළඟ නිර්මාණයක් ගැන දැනට ලොකු සැලසුමක් නෑ. මං සාමාන්‍යයෙන් නිතර ම නිර්මාණකරණයේ යෙදෙන්නෙත් නෑ. මගේ නිර්මාණවල කාලය අතර ලොකු පරතරයක් තියෙනවා. ඉදිරියේදී තවත් චිත්‍රපට නිර්මාණය කරන්න අදහසක් තිබුණත් මට හිතෙන්නේ එය ඉතාම දුෂ්කර කාර්යයක් බවට පත්වෙමින් යන බවක්. තරගකාරිත්වය සහ පිරිවැය ඉතාමත් ඉහළයි. ඒ වගේ තත්ත්වයක් තුළ දිගින් දිගට ම සිනමාකරණයේ යෙදෙනවා කියන එක හරිම දුෂ්කරයි. ඊට අමතරව බෙදාහැරීම සම්බන්ධයෙනුත් ගැටලු තියෙනවා. රාජ්‍ය අනුග්‍රහයක් අපිට ලොකුවට ලැබෙන්නෙ නෑ. එවැනි තත්ත්වයක ඉඳන් හරි අමාරුයි දිගට ම චිත්‍රපටකරණයේ යෙදෙන්න. නමුත් මම සමහරවිට ඉදිරියේදිත් ගීත ලියයි. නවකතා ලියයි.

l ඔබේ පවුලේ උදවිය ගැන යමක් කිව්වොත්?

මම තනිකඩයෙක්. මට ගොඩක් සමීප ව ඉන්නේ මගේ මව සහ සහෝදරියන් දෙදෙනා. මම නැවත ලංකාවට ආවෙත් මට ඔවුන් සමඟ කාලය ගත කිරීමට ඉඩ ලැබෙන නිසා. ඔවුන්ගෙන් කිසිවෙක් කලාවට සම්බන්ධ නෑ. නමුත් මගේ නිර්මාණවලට ශක්තියක් වෙමින් ඒ නිර්මාණ අගය කරනවා. ඒ හැරුණම මට බොහෝ මිතුරන් ඉන්නවා. මම මිතුරන් සමඟ කාලය ගත කරන්න කැමති කෙනෙක්.

සංවාදය - කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න