මේක හුදෙකලා අරගලයක් | දිනමිණ

මේක හුදෙකලා අරගලයක්

නලීන් ලුසේනා

දෙදහස් දහනවය රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම කෙටි නාට්‍ය, හොඳම කෙටි නාට්‍ය රචනය, හොඳම කෙටි නාට්‍ය අධ්‍යක්ෂණය, හොඳම කෙටි නාට්‍ය නිළිය හා කුසලතා සම්මාන ත්‍රිත්වයක් ඇතුළු සම්මාන හතක් දිනූ "නොකිය හිටපු දෙයක්" කෙටි නාට්‍යයේ අධ්‍යක්ෂ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රාසාංගික කලා අධ්‍යයන අංශයේ සහාය කථිකාචාර්ය නලීන් ලුසේනා සමඟ කළ සාකච්ඡාවකි.

l "නොකිය හිටපු දෙයක්" කෙටිනාට්‍ය නිෂ්පාදනයට ඔබ පෙළඹෙන්නේ කොහොමද?

මගේ පළමු කෙටි නාට්‍ය මා අතින් නිෂ්පාදනය වන්නේ දෙදහස් නවයේදී ඒ "සබන් පෙණ" නමින්. ඊට පස්සේ අවුරුදු දහයකින් පසුව තමයි "නොකිය හිටපු දෙයක්" කෙටිනාට්‍ය රචනා කරමින් අධ්‍යක්ෂණයට පෙළඹෙන්නේ.

මාධ්‍යයක් විදිහට වේදිකාව තුළ තිබෙන ශක්‍යතාව මා තදින්ම විශ්වාස කරන කෙනෙක්. කාලයක පටන් රංගනයෙන්, රචනයෙන් හා නාට්‍ය අධ්‍යක්ෂණයෙන් වැඩ කිරීමෙන් ඇතිකරගත් හුරුව සමඟ වසර ගණනක් ගෙවී ගියා. මා රංගන ශිල්පියෙක් විදිහට ගතකළ අතරතුර දිගු නාට්‍ය කිහිපයක් අධ්‍යක්ෂණය කළා.

මම හැමදාම විශ්වාස කරනවා අපිට ප්‍රබලව සමාජය ආමන්ත්‍රණය කරන්න පුළුවන්. වේදිකාව තුළ තිබෙන ප්‍රබල මාධ්‍යක් කෙටි නාට්‍ය. එක් මොහොතකින් කෙටි කාලයක් තුළ විශාල කතාවක් කීමේ ශක්‍යතාව මේ තුළ පවතිනවා. ලංකාවේ නාට්‍ය මාධ්‍ය පදනම් වෙලා ති‍යෙන්නේ මහා පරිමාණ මූල්‍යමය සාධක මත නෙවෙයි, නිර්මාණකරුවාට මූලිකම අභියෝගය වන්නේ මූල්‍යමය සාධකය. තරුණයෙක් විදිහට කෙටිනාට්‍ය මාධ්‍ය ආර්ථික සාධකයේදී පොඩි පහසුකමක් සලසනවා කියලා මට හිතෙනවා. පිරිවැය කිසියම් ආකාරයකින් හෝ දරාගැනීමට පවතින හැකියාව මත.

l ඔබ තෝරාගත් තේමාව ඔබ අත්විඳි අත්දැකීමක් හෝ සමාජයෙන් උකහා ගත්තක්ද?

එදිනෙදා ජීවිතයේ සමාජයේදී මා අත්විඳි ජීවන අත්දැක්මක් ආශ්‍රයෙන් තමයි මෙම කෙටිනාට්‍ය ගොඩනැ‍ඟෙන්නේ. විශේෂයෙන් නාට්‍ය තුළින් කතා කරන්නේ තමන් හා අනෙකා සමාජයේ ජීවත්වන්නට දරණ උත්සාහය.

l සමකාලීන සමාජය තරුණ නාට්‍යකරුවකු විදිහට ඔබ දකින්නේ අලුත් ප්‍රවේශයකින්?

මුලින් සඳහන් කළා වගේ මෙහි තරුණ බිරියක් හා තරුණ ස්වාමිපුරුෂයකු අතර පවුල පවත්වාගෙන යාමට දරන උත්සාහය මතුවනවා. දෙදෙනාම දෙදෙනාට අවංක නොවීම කියන සාධකය මත ඇතිවන ගැටුම මෙහි නිරූපණය වනවා. මෙහිදී ඔවුනට සිදුවෙනවා ඔවුන්ට ඔවුන් සිතන ආකාරය විවෘතව ප්‍රකාශ කරන්න.

මං හිතනවා සමාජයේ බහුව දකින අත්දැකීම් අපිට දකින්නට ලැබෙන ආකාරයට වඩා ඒ තරුණ ජීවිත තුළ අපි නොදකින පැතිකඩ වැඩියි. සමාජයේ බොහෝ අය ඒ සියල්ල සඟවාගෙන ජීවත්වනවා. පවුල තුළ ප්‍රශ්න තිබුණත් ජීවත්වීම අතිශය අසීරු වුවත් සමාජය තමන් දෙස බලා සිටින බැවින් හෝ තමාට පවතින ගෞරවයට කැළලක් සිදුවේ යැයි අනුමාණයෙන් හෝ ලැබෙන ජීවිතය තුළ අකමැත්තෙන් හෝ ගෙවා දමන්න ඔවුන් උත්සාහ දරනවා. ඒ ප්‍රවෘත්ති අපිට අහන්න දකින්න ලැබෙන අවස්ථා අඩුයි. නාගරික ජීවිත ඇතුළේ මෙවැනි ප්‍රශ්න සුලබයි.

මා මෙහිදී සාකච්ඡා කරන්නේ අපිට පෙර පරම්පරාවෙන් පවරපු සම්ප්‍රදායන් අපි කරපින්නාගෙන යනවද එහෙම නැත්නම් සම්ප්‍රදාය තුළ පවතින ඇත්ත වටිනාකම් හඳුනාගෙන ඇත්ත හැඟීම් එක්ක තරුණයෝ විදිහට නවීකරණය වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය.

l පෙර පරම්පරාවෙන් නැ‍ඟෙන චෝදනාවක් තමයි අද දවසේ තරුණ නාට්‍යකරුවා සමාජ සවිඥානිකයකු ද කියන කාරණාව?

මම කල්පනා කරන්නේ තව ටික කාලයකින් අපිත් අපිට පසු පරම්පරාවට එවැනි චෝදනා නඟයිද කියන එක. මම උත්සාහ කරනවා එහෙම නොවී ඉන්න.

අද වෙනකල් නාට්‍ය කලාව ඉදිරියට ‍රැගෙන ආවේ අපේ රටේ ප්‍රවීණ නාට්‍යකරුවන් විසින්. ඔවුන් කළේ හුදකලා අරගලයක්. වර්තමානය වෙද්දිත් තනි තනි ව්‍යායාම හරහායි මේ ප්‍රයත්නය අපි දකින්නේ. මං දකින විදිහට වර්තමාන තරුණයාට නඟන චෝදනාව ලඝුයි, පටුයි කියලා. පසු පරම්පරාව ඔවුන් අත්විඳි අත්දැකීම් වත්මනේ තරුණයා නොදැනීම නිසා චෝදනා කිරීම සාධාරණ නැහැ. ඒ අත්දැකීම් අපිත් අහනවා, කියවනවා. මං විශ්වාස කරන්නේ අපේ පරම්පරාව කරන්න ඕන මේ මොහාතේ ඔවුන්ට දැනෙන දේ. මං ඉන්නේ එතන. පෙර පරම්පරා මුහුණ දුන් ප්‍රශ්න අර්බුද ප්‍රතිනිර්මාණය කිරීම මගේ එකක් නෙවෙයි. ඒ අත්දැකීම මට කුලියට ගන්න වෙනවා. වෙන පිරිසකගේ අත්දැකීමක් කුලියට අරගෙන මට නාට්‍ය කරන්න අවශ්‍ය නැහැ. මේ මොහොතේ මට දැනෙන දේ මා නාට්‍යයට හසුකර ගන්න උත්සාහ කරනවා.

l නාට්‍ය කලාව කේන්ද්‍ර වෙලා තියෙන්නේ අගනගරයට, එයින් බැහැර ප්‍රදේශයන්හි නාට්‍යකරුවන් බිහිවීම දුෂ්කර අභ්‍යාසයක්ද?

නාට්‍ය කලාව අපේ රටේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවක් නෙවෙයි. මිනිස්සු නාට්‍ය නොබැලුවා කියලා ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට මොකුත් වේනනේ නැහැ. මූලික අවශ්‍යතා සම්පූර්ණ නොවන සමාජයක් ඇතුළේ නාට්‍ය කළාව කියන දේ මිනිසුන්ගේ ජීවිතවලට වලංගු නෑ.

අගනගරය කේන්ද්‍ර කරගෙනයි අපේ රටේ නාට්‍ය කලාව පවතින්නේ. ඒ අතරින් තරුණ තරුණියන් බහුතරය කොළඹ අය නෙවෙයි. රටේ හතරදිග්බාගයෙන් ආපු පිරිසක්. පිටපළාත්වල නාට්‍ය කරන අයට පහසුකම් සීමිතයි. සම්පත් නෑ කියන මැසිවිල්ල කාලයක ඉඳලා අපි අහනවා. ඒ නිසා කොළඹ හැදෙන නාට්‍ය එක්ක ඔවුන්ගේ නාට්‍ය සසඳලා ඔවුන්ට විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි කියලා මං හිතන්නේ නෑ. එය වැරදි මෝඩ අදහසක්. දුෂ්කර පළාත්වල නාට්‍යකරුවන් දිරිමත් කරන්න නම් කොළඹ තියෙන පහසුකම් හා ඒ තත්ත්වයන් ඒ පළාත්වලත් ඇතිකරන්න ඕනා. නාට්‍යයක් විනිශ්චයේදී විදුලි බලය හා වැසිකිළි පහසුකම් නෑ කියලා විශේෂ සැලකිලි දක්වන්න ගියොත් එය ඉදිරිගාමී කාරණාවක් නොවෙයි.

මං හිතන්නේ ජනසමාජයක් විදිහට අපට අර්බුදයක් තියෙනවා. නාට්‍යයක් මිනිස්සුන්ට පෙන්වන්න කලින් අපිට සිද්ධ වෙනවා මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ වෙලා තියෙනවද කියලා කල්පනා කරන්න.

එහෙම නැතිව දුෂ්කර පළාතකින් ආවා නාට්‍යයක් කියලා හිතනවා නම් ඒකෙන් කිසිදු සේවයක් නාට්‍ය කලාවට සිද්ධ වෙන්නේ නෑ. මොකද දුෂ්කර පළාත්වලින් ආව තරුණයන්ම තමයි කොළඹ රැඳිලා ඉන්නේ. නාට්‍ය කරන්න වුවමනා තියෙන අය හිරවෙලා ඉන්නවා නම් මං කියන්නේ ඔවුන්ට නාට්‍ය කරන්න කලින් ඒ පළාත්වල තියෙන දුෂ්කරකම අයින් කරලා දාන්න. දුෂ්කරකම අයින් කරලා දැම්මම නාට්‍යකරුවෝ නිකම්ම බිහිවේවි. අවසානයේ අර්බුදය වෙන්නේ ප්‍රේක්ෂකාගාරය හොඳ ප්‍රේක්ෂකාගාරයක් නැතිව නාට්‍යයකට පැවතිය හැකිද?

ඊළඟ මොහොත ගැන නාට්‍යකරුවෙකු විදිහට මටත් විශ්වාසයක් නැහැ. ඒ තත්ත්වය තුළ නාට්‍ය ප්‍රේක්ෂකාගාරය ගැන කතා කිරීම පවා අර්බුදයක්.

නමුත් තරුණයෙක් විදිහට නාට්‍යකරුවෙක් විදිහට මේ ක්ෂේත්‍රය තෝරාගත්තේ කවුරුන් හෝ බලකිරීමකින් නොවෙයි. එනිසාම නිර්මාණකරුවෙකු විදිහට මගේ වගකීම තමයි මගේ ප්‍රකාශනය ජනසමාජය ඇතුළතට සමාජගත කිරීම. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක නාට්‍ය දර්ශන ගතකරන්න අපි කණ්ඩායමක් විදිහට සූදානමින් ඉන්නවා. ඒක තමයි අපිට කරන්න පුළුවන් එකම දේ. අපේ ප්‍රකාශනය ප්‍රේක්ෂකයා වෙතට ගෙන යෑම.

සංවාදය ෂර්ලි සමරසිංහ
[email protected]


නව අදහස දක්වන්න