සතුට උණු කැවුම් වගේ අලෙවි වුණා | දිනමිණ

සතුට උණු කැවුම් වගේ අලෙවි වුණා

අනුර විජේවර්ධන

ශ්‍රී ලාංකේය චිත්‍රකතා පුවත්පත් කලාවේ ආරම්භයේ සිටම පුරෝගාමී මෙහෙවරක් කරමින් තම ජීවිත කාලයම චිත්‍රකතා කලාව වෙනුවෙන්ම කැපකළ ඔහු මෙරට බිහිවූ අපූරු සහ අති දක්ෂ සිත්තරෙකු ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. තම දිවියේ සැඳෑ සමය ගෙවමින් සිටියද, හැකියාවෙන් පිරිපුන් ඔහුගේ පින්සල තවමත් තරුණය. හැඩකාරය. හේ අන් කවරෙකුවත් නොව ප්‍රවීණ චිත්‍ර ශිල්පී අනුර විජේවර්ධනයි.

l අපේ රටේ පළවූ පළමු චිත්‍රකතා පුවත්පතේ මුල්කවරය ඔබ අතින් නිර්මාණය වූ බව පැවසෙනවා.?

ඔව්. ඒ අපේ රටේ පළමු චිත්‍ර කතා පත්තරය වූ“සතුට“මුල් කවරය. එහි “සතුට“ නම ඇන්ඳෙත් මමයි. අනික චිත්‍ර කතා පත්තරයක් ලංකාවේ පටන්ගන්න මූලික අදසත් මගේ. ඒ කාලේ මම ලේක් හවුස් ආයතනයේ පත්තරෙවල චිත්‍ර අඳිනවා. එවකට ලේක් හවුස් එකෙන් නිකුත් වූ “ජනතා“ පත්තරේ උප කර්තෘවරයාව සිටි බන්ධුල සමරසිංහ මහතාට, මම ඒ යෝජනාව කරල, ඔහුත් සමඟ එවකට සභාපතිව සිටි රන්ජිත් විජේවර්ධනට මහතා හමුවට ගිහින් මේ ගැන කිව්වා. ඔහු එච්චර කැමති වුණේ නැහැ ඒ අදහසට. නමුත් පසුව මම රැගෙන ගිය බටහිර චිත්‍රකතා සඟරාවකුත් පෙන්වලා එතුමාව කැමති කරගෙන වැ‍ඩේ පටන් ගත්තා. අලුත් චිත්‍ර ශිල්පීන්ව තමයි අපි එකතු කරගත්තෙත්. නිදිමරාගන මම හරියට මහන්සි වුණා වැඩේට. මුලින්ම ලක්ෂයක් තමයි පිටපත් මුද්‍රණය කළේ. නමුත් ඒක උණු කැවුම් වගේ අලෙවි වෙලා, තවත් පත්තර ලක්ෂයක් මුද්‍රණය කරන්න වුණා, අන්තිමට.

l නවක ශිල්පීන් එක්ක එහෙම ලොකු වැඩක් කරන්න බය හිතුනේ නැතිද?

චකිතයක් තිබුණා. නමුත් ලොකු විශ්වාසයක් තිබුණා, සාර්ථක වෙයි කියලා. එතකොටත් ලේක් හවුස් එකේ පත්තරවලට බන්ධුල හරිශ්චන්ද්‍ර, තලංගම ජයසිංහ වගේ චිත්‍ර ශිල්පීන් හිටියට ඒ අයව ගන්න ප්‍රධානීන් එච්චර කැමති වුණේ නැහැ. ඒ නිසයි නවකයින් ගන්න වුණේ. ඉතින් ඒ අය ඇඳපු චිත්‍රකතා ඔක්කොම මම ගෙදර අරන් ගිහින් නිදිමරාගෙන අඩු පාඩු හදනවා. මමත් ඒ කාලේ පුද්ගලික වෙළෙඳ ප්‍රචාරක ආයතනයක ප්‍රධාන චිත්‍රශිල්පියා ලෙස සේවය කරන ගමන් තමයි මේ සේරම කළේ. සරත් මධුගේ, “ඉතිං ඊට පස්සෙ“ චිත්‍රකතාව පටන් ගත්තෙත් අපේ පත්තරෙන් තමයි. ඔහුව පළමුවෙන්ම සම්මුඛ පරීක්ෂණය කළෙත් මමයි. තව ජනක රත්නායක එහෙමත් චිත්‍රකතා ඇන්දා.

l රැකියාවත් එක්ක මේ කාර්යය කරගෙන යන්න පුළුවන් වුණාද?

මුල් කාලෙ ටිකක් අමාරු වුණා. මම ඒ ආයතනවල ප්‍රධානියෝ එක්ක කතා කරලා චිත්‍රකතා අඳින්න අවසරය ගත්තා.මගේ වැඩි කැමැත්ත තිබුණේ චිත්‍රකතා පත්තර එක්ක වුණත් රස්සාවේ මට පැවරූ දේවල් මඟ හැරියේ නැහැ. ඒ කාලේ ලොතරැයි පෝස්ටරයක් මම නිර්මාණය කළා.ලොතරැයිය රෝල් කරලා ඒ මැද්දෙන් සල්ලි කොල වැක්කෙරෙනවා වගේ පණ පිහිටුවලා මම ඇන්ඳා.ඒකට හැමෝම කැමති වුණා. මාව පුදුම විදිහට අගේ කළා. ලොතරැයි විකුණන අය පවා පුදුම විදිහට ඒ පෝස්ටරය ඉල්ලුවා. තව ඒ වගේ වැඩ ගොඩක් මම කළේ චිත්‍රකතා අඳින ගමන්. නමුත් පස්සෙ කාලෙකදි මම ලේක් හවුස් ආයතනයට ස්ථිර සේවයට ආවා. ඒ 1970 වසරේ මුල් කාලෙදි විතර. ඊට පස්සේ මම එහි 1994 වසර දක්වාම වැඩ කළා. අද දක්වාම මම චිත්‍රකතා අඳින එක නතර කරලා නැහැ.

l ඔබ අතින් නිර්මාණය වුණු ජනප්‍රියම චිත්‍රකතාව වුණේ “කැලෑ කෙල්ල“ නේද?

“සතුට“ පස්සේ “මධුර“වුණා. ඒකට තමයි “කැලෑ කෙල්ල“ චිත්‍ර කතාව ඇන්දේ . එය විතරක් නෙමෙයි, මේඝ, ගැලන්ට්, හර්කියුලීස් වගේ නිර්මාණත් බොහෝම ජනප්‍රිය වුණා. ඒ කාලේ රූපවාහිනිය නැහැ. හර්කියුලීස් චිත්‍රපටිය බලලා යන්තම් කටු සටහන් ගහගෙන මතක තියාගෙන තමයි ඇන්දේ.මම 1962 වසරෙදී පමණ දිනමිණට ඇන්ද මුල්ම චිත්‍ර කතාව වුණු“වීර කැප්පෙටිපොළ“ ත් හරිම ජනප්‍රිය වුණා. කැලෑ කෙල්ල චිත්‍රපටියක් විදිහටත් නිර්මාණය වුණා. තව දිනමිණ පත්තරේට ඇඳපු ‘සෙවනැලි පසුපස‘ චිත්‍රපටියක් ලෙස නිර්මාණය කරන්න ගිහින් නතර වුණා. “සම්පත් සොයා“ කියන චිත්‍රකතාව වෙනත් නමකින් එක්තරා පිරිසක් චිත්‍රපටියක් හදලා මට වංචාවකුත් කළා. එහෙම වැඩත් වුණා.

l ඔබ චිත්‍ර කතා ඇන්ඳේ ලේක් හවුස් ආයතනයේ පුවත්පත්වලට විතරද?

ඔව්. එදා ඉඳලාම මම වැඩි හරියක්ම චිත්‍ර ඇන්ඳේ ලේක් හවුස් ආයතනයේ පත්තරවලට විතරයි. ඒ කාලේ මට ඉහළ ගෙවීම් දෙන්න වෙනත් පුවත්පත් වලින් කතා කළත් මම ගියේ නැහැ. සරත් මධු, බන්ධුල හරිශ්චන්ද්‍ර, ජනක රත්නායක වගේ අයනම් ගියා. පස්සෙ කාලෙකදි ‘සිත්තර‘පත්තරේටත් මම චිත්‍ර කතා ඇන්දා. වෙන පත්තර වලට නම් ගියේ නැහැ. ඊට අමතරව පුවත් පත් වෙළෙඳ දැන්වීම් දෙක තුනක මට පෙනී සිටින්නත් අවස්ථාව ලැබුණා.

l ඔබ සහ චිත්‍ර ශිල්පී ජනක රත්නායක එකල ගජ මිත්‍රයන් බව ආරංචියි ?

හපොයි ඔව්. අපි දෙන්නා ඒ කාලේ කන්නෙ බොන්නෙ, ගමන් යන්නෙ එකටමයි. ජනක ඒ කාලේ දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙක්. මමත් කරාටේ වගේ විවිධ සටන් ක්‍රම ඉගෙන ගෙන හිටයේ. දවසක් අපි දෙන්නා දවල් කෑමට කොළඹ කොටුවෙ හෝටලයකට ගියා. එතනදී වේටර් කෙනෙක් එක්ක වාදයක පැටලුණා. එය දිගට ගිහින් මම ඔහුට පහරක් ගැහුවා. අනිත් සේවකයොත් අපිට ගහන්න පැන්නා. අපි දෙන්නා ඔක්කොටම පහර දුන්නේ චිත්‍රපටි දර්ශණයක් වගේ. ටික දවසක් යනකල් ඒ හෝටලය ගියේ නැහැ. දවසක් ඒ හෝටලයේ මැනේජර් කතා කරලා කිව්වා අර සේවකයන් අයින් කළා දැන් එන්න කියලා. ඒ වගේ රසවත් සිදුවීම් නම් අනන්තයි.

l දීර්ඝ කාලයක් චිත්‍ර ශිල්පියෙකු ලෙස වැඩ කිරීම ගැන, අද ඔබට මොකද හිතෙන්නේ ?

අදටත් මම පුවත්වලට චිත්‍ර කතා අඳිනවා. මගේ දරුවන්ටත් චිත්‍ර අඳින්න පුළුවන්. චරිත් විජේවර්ධන ඒ අතරින් විශේෂයි. චින්තක පුතා වෙළෙඳ දැන්වීම් ප්‍රචාරක ආයතනයක සේවය කරනවා. දූලා දෙන්නටත් චිත්‍ර අඳින්න පුළුවන්. දක්ෂ චිත්‍ර ශිල්පියෙකු ලෙස ඒ කාලේ ප්‍රසිද්ධ එස්.සී. ඕපාත එක්ක මම කාටුන් චිත්‍ර ප්‍රදර්ශණයත් පවා පැවැත්වුවේ සිසුවෙක් විදිහට සිටි කාලේ. චිත්‍ර ශිල්පියෙක් ලෙස වැඩ ගොඩක් මම කරලා තියෙනවා. ඒ ගැන අද හරිම සතුටුයි.

සංවාදය-දර්ශ කපුගේ


නව අදහස දක්වන්න