ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව යුගය | දිනමිණ

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව යුගය

ඉදිකිරීම් ක්ෂේත්‍රය රටක ආර්ථික සංවර්ධනය නිරූපනය කරන එක් පැතිකඩකි. ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන සිදුවන විවරණයන්හිදී 1977 න් පසු සිදු වූ ආර්ථික ප්‍රතිසංස්කරණ මායිමක් ලෙස සලකා එම කර්මාන්තයේ ඉතිහාසය විග්‍රහයට ලක් කරති.

ඒ අනුව 1977 න් පසු යුගය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව යුගයක් ලෙස හඳුන්වා‍ දෙති. නවතම යන්ත්‍ර සූත්‍ර භාවිතාව, නව අමුද්‍රව්‍ය, නව ශිල්පීය ක්‍රම සහ පුද්ගලික අංශයේ දේශීය සහ විදේශීය ආයෝජන ඉදිකිරීම් ක්ෂේත්‍රයට ගලා ඒම, නිසි ප්‍රමිතින් සැකසීම නවයුගයේ ඉදිකිරීම් කර්මාන්තයේ ධනාත්මක ලක්ෂණ කීපයකි. මේ නිසා 1977 පසු වසර කීපයක් යනතුරු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය සියයට 14.5 ක වර්ධන මට්ටමට පැමිණි බව එක් සමීක්ෂණ වාර්තාවක සඳහන් වේ.

අද වනවිට ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය රටේ ආර්ථික සංවර්ධනයට සියයට 9% ක ප්‍රතිශතයකින් දායක වෙයි. තිස් අවුරුදු යුද්ධයෙන් පසු යටිතල පහසුකම් සංවර්ධනය ප්‍රමුඛත්වයට පැමිණීම ද ඉදිකිරීම් කර්මාන්තට නව ජවයක් සැපයූ බව රහසක් නොවේ. 2012 වනවිට ඉතා විශාල ආයෝජනයක් ප්‍රසාරණය වූයේ යටිතල පහසුකම් සංවර්ධනයටය. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, චීනයේ AIIB බැංකුව ද ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් නැංවීමට දායක වී තිබේ.

2015 දී කරන ලද ගණන් බැලීම්වලට අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා උත්පාදනය නිසා, 6,80,000කට ජීවිකා වෘත්තින් හිමිව ඇත. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලියාපදිංචිව ඇති සමාගම් සංඛ්‍යාව 2500 ඉක්මවා ඇත.

මාගා ආදර්ශය

උදාහරණයක් ලෙස කිවහොත් 1984 ඉතා කුඩාවට ආරම්භ කරන ලද මාගා MAGA ඉංජිනේරු සමාගමය අග්නිදිග ආසියාවේ ප්‍රබල සමාගමයකි. මහා මාර්ග, ජල සම්පාදන, හෝටල් ආදි වශයෙන් ආර්ථික සංවර්ධනයට ඉතා අත්‍යවශ්‍යවන ගොඩනැගිලි හා ඉදිකිරීම්වල නියුතු එම සමාගමය සතු සේවක සංඛ්‍යාව 12,000 ඉක්මවයි. මාලදිවයිනේ දියකඩනය මේ ශ්‍රී ලාංකික සමාගම විසින් ඉදිකරන ලද්දේ 1990 දීය. මේ වනවිට තවත් විදේශ ව්‍යාපෘති සඳහා ද දායක වී ඇත. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් අංශය අද මෙසේ ජාත්‍යන්තර තලයට ළඟාවීම නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැලකිලි ලබයි.

චීනයට අයත් මැකාව්(චීන උච්චාරණය අනුව මැ කාවු) නිදහස් පාලන ප්‍රාදේශීය ආණ්ඩුවේ ජනගහණය 72,000 කි. විශාලත්වය වර්ග සැතපුම් 9 කි. පෘතුගීසි යටත් විජිතයක් ව තිබූ මේ ප්‍රදේශය 1999 දී චීනයට අත්පත් කර ගන්නා ලදී. එදා ජාත්‍යන්තර සූදු පිටියක් වූ මැකාව් අද ජාත්‍යන්තර සංචාරක මධ්‍යස්ථානයකි.

ඉදිකිරීම් කර්මාන්තයට සම්බන්ධ රටවල් 60 ක ඇමැතිවරු රාජ්‍ය නියෝජිත සහ වෙනත් (ආයෝජක) පුද්ගලයන් 2000කට අධික පිරිසක් පසුගියදා “මැකාවු නුවර” ට රැස්වූයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වීම සඳහාය. දෙදිනක් පැවැති සමුළුවට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ චීනයේ ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) ද සහභාගි වූහ. ලෝක බැංකුව වැනි ප්‍රබල මුල්‍ය ශක්තියකින් යුතු ඉහත සඳහන් බැංකුව චීනය විසින් නිර්මාණය කරන ලද්දේ අඩු පොලී පහසුව යටතේ ආසියාවේ යටිතල පහසුකම් නැංවීම සඳහා ය. එබැවින් මෙය නවතම ජාත්‍යන්තර මුල්‍ය ආයතනයකි. ගනුදෙනු ඇරැඹුනේ 2016 දී ය.

ලෝක බැංකුවට එරෙහි ඇතැම් ප්‍රතිපත්ති සහිත වුව ද, මේ බැංකුව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ව්‍යූහාත්මක හා තාක්ෂණික සහාය ලබාදීමට ලෝක බැංකුව එදා ඉදිරිපත් විය. ශ්‍රී ලංකාව ද මේ බැංකුවෙන් ආර්ථික ආධාර සඳහා ඉදිරිපත් වෙයි.

මැකාව් වානිජ සහ ආයෝජන ප්‍රවර්ධන සමුළුව නම් ඉහත කී සාකච්ඡා මණ්ඩපයට ශ්‍රී ලංකාවේ CCI හෙවත් චෙම්බර් ඔෆ් කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රිස් වානිජ මණ්ඩලයද සහභාගි විය. එම වානිජ මණ්ඩලයේ නියෝජිත ඉංජිනේරු මේජර් රංජිත් ගුණතිලක මහතා එහිදී ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය සහ එය ඉදිරියේ ඇති ගැටලු ද ඒවා විසඳාගැනීම සඳහා වන පිළියම් ද ඉදිරිපත් කෙළේ ය.

ශ්‍රී ලංකාවේ චීන ඉදිකිරීම් නිසා දේශීය ඉදිකිරීම් කර්මාන්තය පසුබෑමට ලක්ව ඇති බවට ශ්‍රී ලංකාව තුළ මතයක් ගොඩනැගී තිබේ. බොහෝවිට මාධ්‍ය වාර්තා පවසන්නේ විනිවිදභාවයකින් තොර ටෙන්ඩර් පටිපාටි නිසාද ඇතැම් ඉදිකිරීම්වල මිල වැඩිව ඇති නිසා ද දේශීය ඉදිකිරීම් අඩාල වන බවට දෝෂාරෝපණ නිතර මාධ්‍යයන්හි පළ වේ. මේ තත්ත්වය ගැන විවිධ සාකච්ඡාවන්හි දී ද ඉස්මතු වූ අවස්ථා තිබේ. ශ්‍රී ලංකා නියෝජිතයා එහිදී තරගකාරි ටෙන්ඩර් ක්‍රමයක අවශ්‍යතාව අවධාරණය කෙළේ ය.

ශ්‍රී ලංකා නියෝජිතයා මේ වසරේ සමූහ ලේකම් තනතුරකට ද පත් කර ගත් අතර ඔහුගේ කතාවට මාධ්‍ය ප්‍රචාරයක් ද හිමිවිය. චයිනා ඩේලි පුවත්පත මේ සමුළුව ගැන හැඳින්වීමක් කරමින් කියා සිටියේ පුද්ගලික ආයෝජනයන් යටිතල පහසුකම් සඳහා යොමු කිරීමේ යාන්ත්‍රණයක් මේ සමුළුවට ඇති බවයි. මේ සමුළුව මෙයට පෙර වර්ෂ 9ක් රැස්ව ඉදිකිරීම් ක්ෂේත්‍රයට ආයෝජක ආකර්ෂණය ලබාදුන් බව ද තවත් වාර්තාවක සඳහන් විය.

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳව මෙවැනි අන්තර් ජාතික සංසදයක දී කරුණු හෙළිකිරීම පලදායි ක්‍රියාවකි. චීන සමාගම් හා බැංකු ප්‍රමාණවත් අයුරින් ශ්‍රී ලංකාවේ අදහස් කෙරෙහි ධනාත්මක ප්‍රතිචාර දැක් වූ බවට මාධ්‍ය වාර්තා ද පළවිය.

ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල එකතු කළ අගය 2017 වසරේදී සියයට 4.3 කින් වර්ධනය විය. එහෙත් 2018 දී එය සියයට 2 කින් පහළ ගියේය. මේ බව 2018 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවන්ගෙන් හෙළි වේ. 2018 වසරේදී මහා පරිමාණ ඉදිකිරීම් කටයුතුවල පසුබෑම සහ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල පසුබෑම මේ තත්ත්වයට හේතු වී යැයි ද එම වාර්තා කියයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන සිමෙන්ති පිළිබඳ තත්ත්වය විමසා බලමු. පෙර වසරේදී සිමෙන්ති ආනයනය වාර්තා කළ සියයට 7.1 වර්ධනයට සාපේක්ෂව 2018 දී සියයට 9.9 ක පහත වැටීමක් වාර්තා කරයි. ඉඳිකිරීම් කර්මාන්තයට වාණිජ බැංකු මගින් සපයන ලද ණය ප්‍රමාණය තුළින් ද මේ තත්ත්වය පැහැදිලි වේ. පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණය ප්‍රමාණය 2017 දි සියයට 22.5ක වර්ධනය 2018 දී සියයට 14.1 දක්වා පහත වැටුණි. පුද්ගලික නිවාස ඉදිකිරීම සඳහා වානිජ බැංකු පෞද්ගලික අංශයට දුන් ණය ප්‍රමාණය 2017 සියයට 17 කින් වර්ධනය වුවත් 2018 දී එය සියයට 13.1 ක අඩු වර්ධනයක් පෙන්නුම් කරන ලදී. ශ්‍රී ලංකා ඉඳිකිරීම් අංශයේ වත්මන් තත්ත්වය එයයි.

දළ ජාතික ආදායම අනුව 2017 දී රුපියල් දසලක්ෂ 674205 ක් වූ ඉදිකිරීම් හා සේවා අංශය 2018 දී රුපියල් දසලක්ෂ 659657 දක්වා අඩුවීමක් පෙන්නුම් කරයි.

දේශීය ඉදිකිරීම් කර්මාන්තය මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව පැවැත්වුණු සාකච්ඡා රාශියකි. එක් සාකච්ඡාවක දී ප්‍රධාන ප්‍රශ්න 3 ක් ගැන සඳහන් විය. පළමු ප්‍රශ්නය ශ්‍රමිකයන්ගේ හිඟයයි. දෙවැන්න ඉඩම් මිල ඉහළ යෑමයි. තුන්වැනි ප්‍රශ්නය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී අධික බදු බරකට මුහුණදීමට සිදුවීමයි. පාස්කු ප්‍රහාරයෙන් පසුව ඉදිකිරීම් කර්මාන්තයට ආයෝජනය කරන්නන්ගේ විශ්වාසය අඩුවන බවක් ගැන ද ඒ සමඟම විවිධ වාර්තා පළවිය.

විදෙස් ගතවන ශ්‍රමිකයෝ

ඉඳිකිරීම් කර්මාන්තයේ නියුතු ශ්‍රමිකයන් වැඩි වැඩියෙන් උපයා ගැනීමේ අවශ්‍යතාව නිසා දේශීය ඉදිකිරීම්වලින් ඉවත්ව මැද පෙරදිග බලා යෑමේ ප්‍රවණතාවක් පවතී. විදේශ රැකියා සොයා යෑම රටේ විදේශ ඉපැයීම් තර කරන ආදායම් මාර්ගයකි. 2019 මැයි මාසයේ දී විදේශ ශ්‍රමිකයන් විසින් එවන ලද ප්‍රේෂණ වටිනාකම රුපියල් බිලියන 99.2 කි. එහෙත් ඔවුන් විසින් 2018 මැයි මාසයේ එවන ලද ප්‍රේෂණ වටිනාකම රුපියල් බිලියන 91.6 කි. ජනවාරි සිට ඉකුත් මැයි මාසය අවසන් වනවිට එවන ලද වටිනාකම රුපියල් බිලියන 486.7 කි. මේ බව සඳහන් වන්නේ ජුනි 21 නිකුත් වූ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවකිනි. විදේශ විනිමය හිඟයෙන් පෙළෙන ආර්ථිකයක් සහිත රටකට විදේශීය ශ්‍රමික ප්‍රේෂණ අගනා ආර්ථික සම්පතකි. එහෙයින් ඉදිකිරීම් අංශයට අවශ්‍ය ශ්‍රමිකයන් සපයාගැනීම සඳහා වඩා ක්‍රමවත් වැඩ පිළිවෙළක් අවශ්‍යයි. ඇතැම් ඉදිකිරීම් සමාගම් මෙවැනි වැඩසටහන් ආරම්භ කර ඇති අතර ඒවාට ජාත්‍යන්තර මුල්‍ය ආධාර ද ලබා දෙයි.

ලෝක බැංකුව සහ ආසියා සංවර්ධන බැංකුව වෘත්තිය හා පුහුණු නිපුණතා අමාත්‍යංශයේ සහාය ඇතිව ශ්‍රමික පුහුණු වැඩසටහනකට මාගා ඉංජිනේරු සමාගමය සම්බන්ධව සිටී. මේ එක් උදාහරණයකි.

වෘත්තීය පුහුණුව

මාස හයක් තුළ යකඩ කම්බි නවන්නන් 65ක්, මේසන්වරුන් 75 ක් සහ වඩු කාර්මිකයන් 75ක් පුහුණු කිරීම මේ වැඩ සටහන මඟින් සිදු වේ.

මාගා ඉංජිනේරු සමාගම් වැඩබිම්වලදී ඔවුනට ප්‍රායෝගික පුහුණුව ලබාදෙන අතර වෘත්තිය හා සිද්ධාන්ත පුහුණුව ලබාදෙන්නේ විශේෂඥයන් වෙතිනි. පුහුණුව සාර්ථකව අවසන් කළ පසු ඔවුනට NVQ 2 මට්ටමේ වෘත්තිය සහතිකයක් ද රැකියා අවස්ථා ද හිමි වේ. මේ සහතිකය විදේශ රැකියාවකට අගනා සුදුසුකමකි.

ශ්‍රමික හිඟය ඉදිකිරීම් ක්ෂේත්‍රයට පමණක් සීමාව නැත. ඇඟලුම් ක්ෂේත්‍රයට ආශ්‍රිත ඇබෑර්තු රාශියක් අපනයන කලාපයන්හි පවතින්නේ කාලයක සිටය.

ජාතික අපනයන වානිජ මණ්ඩලය NCE කල්වේලා අතිවම අනතුරු අඟවමින් කියා සිටියේ ඉදිකිරීම්, ඇගළුම්, සංචාරක කර්මාන්ත, වැවිලි කර්මාන්ත සහ වෙනත් සේවා වෘත්තින්හි ශ්‍රමික හිඟය නිසා රටේ ආර්ථික සංවර්ධන අරමුණු ඉටුකර ගැනීමට බාධා එල්ල වන බවයි.

අපනයනය සඳහා ඇඟළුම් නිෂ්පාදනයට අවශ්‍ය මැෂින් ක්‍රියාකරුවන් සහ මෝස්තර ශිල්පින්ගේ හිඟය නිසා කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑම අමාරු වී ඇතැයි එම වානිජ මණ්ඩලයේ සභාපතිවරයා මාධ්‍යයට ප්‍රසිද්ධ ප්‍රකාශයක් ද කෙළේ ය. ඔහු එදා තවදුරටත් ප්‍රකාශ කෙළේ බෝට්ටු කර්මාන්තයට ද ශ්‍රමික හිඟය බලපා ඇති බවයි.

ශ්‍රමික වැඩසටහන් ආරම්භ කර තරුණ පෙළ අතර උද්‍යෝගිමත් භාවයකින් යුතුව කටයුතු කිරීමට මඟ පෙන්වීමක් කළ යුතු යැයිද නැතිනම් රටේ ආදායම් අහිමි වනු ඇතැයි ද එම සංගමය කියා ඇත.

ඇගළුම් ක්ෂේත්‍රයේ තරගකාරි රටවල් රාශියක් දැන් බිහිවෙමින් තිබේ. බංගලාදේශය කෘෂිකර්මාන්තයෙන් මෙන්ම ඇඟලුම් අංශයෙන් ද දිනෙන් දින දියුණුවට පත්වෙයි. ශ්‍රී ලංකාව වෙනුවට වෙනත් විකල්ප රටවල් ආයෝජකයනට තිබේ. පසුගියදා බංගලිදේශය සවුදි අරාබි ආයෝජක කණ්ඩායමක් සිය රටට ගෙන්වා ගත් අතර ඇ.ඩොලර් බිලියන 15 ක ආයෝජන සඳහා ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ඔවුහු ආපසු පිටත්ව ගියහ. මෙවැනි තත්ත්වයන් ශ්‍රී ලංකාව අවබෝධකර ගත යුතුය. එහෙයින් ශ්‍රමික පුහුණුවට මුල්තැන දිය යුතුවේ. චීන ඉදිකිරීම් සමාගම්වලට ශ්‍රමික ප්‍රශ්නයක් නැත.

රාජ්‍ය අංශය ද නිපුණතා පුහුණුව සඳහා වන වැඩපිළිවෙළක නිරත වෙයි. මේ වැඩපිළිවෙළ ඉලක්ක කරන්නේ NVQ 3 සහතිකය සඳහා ය. සිංගප්පූරුව, සයිප්‍රසය, හොංකොං, මාලදිවයින ආදි රටවල් සඳහා එම සහතිකය අත්‍යවශ්‍ය වේ. එහෙයින් ඉඳිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රමික පුහුණු මැද පෙරදිග රැකියා ඉල්ලුම සපුරාලීම සඳහා ද ඉවහල් වේ.

ශ්‍රී ලංකා ඉදිකිරීම් අංශය නගන චෝදනාවක් නම් යකඩ ඇලුමිනියම්, සෙරමික් නිෂ්පාදන සහ ටයිල් සඳහා අධික බදු අය කරන බවයි. මේ නිසා ඉඳිකිරීම්වල මිල ගණන් ඉහළ යන බවට තර්ක කරති.

මෙයට එරෙහිව තර්ක කරන්නෝ ශ්‍රී ලංකාවේ සෙරමික් භාණ්ඩ ඇතුළු වෙනත් ඉදිකිරීම් උපාංග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බව කියති. එම නිසා ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා විදේශ වෙළෙඳ පොළේ ද ප්‍රතිචාර තිබේ යැයි ඔවුහු කියති. කොළඹ දී පැවැත්වෙන වාර්ෂික ජාත්‍යන්තර ඉදිකිරීම් ප්‍රදර්ශනවලට ශ්‍රී ලංකාවේ විවිධ නිෂ්පාදන ඉදිරිපත් වන අතර ඒවාට අන්තර්ජාතික මට්ටම සපුරන සහතික ද හිමි වේ. එම නිසා ඇතැම් ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහා විදේශීය අපනයන ඇනවුම් පවා හිමි වේ. එසේම ශ්‍රී ලංකාවේ සමාගම් සඳහා විදේශීය ඉදිකිරීම් අවස්ථා ලැබේ.

ජාත්‍යන්තර වශයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ රටවල් 60 ක, ආයෝජකයන්, ඉදිකිරීම් කටයුතු බාර ඇමැතිවරුන් සහ මුල්‍ය ආධාර සපයන අන්තර්ජාතික ආයතන නියෝජිතයන් ඉදිරියේ ශ්‍රී ලංකාවේ ඉඳිකිරීම් ක්ෂේත්‍රයට එකට සිට ගැනීමට පසුගියදා ශ්‍රී ලංකාවට හිමි වූ අවස්ථාව එම කර්මාන්තයේ දියුණුවට හේතුවනවා ඇත. එම සමුළුවේදී ශ්‍රී ලංකා නියෝජිතයා මේ වසරේ ලේකම් මඩුල්ලට පත් කර ගැනීමත් මේ පුංචි රටට ගෞරවයකි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ

ජුනි 21 වැනිදා අවසන් වූ සතියේ ගනුදෙනු අවසන් වන විට සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 5363 කි. එයට පෙර සතියේ සිකුරාදා ගනුදෙනු අවසන් වනවිට ඒකක 5383 ක් ලෙස සටහන් විය. වසරකට පෙර එම දර්ශකය 6228 කි.

සතියේ දෛනික පිරිවැටුම රුපියල් මිලියන 890.7 කි. පෙර සතියේ රුපියල් මිලියන 423 කි. වසරකට පෙර මිලියන 593 කි.

ඉදිරි සතියේ පිරිවැටුම ඉහළ යෑමට ඉඩ තිබෙන බවට වාර්තා පළවේ. සඳුදා පිරිවැටුම රුපියල් බිලියන දෙක ඉක්මවීම විශේෂ සිද්ධියකි. අඟහරුවාදා ද පිරිවැටුම බිලියනය ඉක්මවීය.

සතියේ තේ වෙන්දේසිය සඳහා තේ කිලෝ දසලක්ෂ 7.8 ක් ඉදිරිපත් විය. දිගින් දිගටම ඉහළ මට්ටමේ තේ නිෂ්පාදනයක් දක්නට ලැබෙන බවත්, මේ තත්ත්වය ඉදිරියටත් පැවතිය හැකි බවටත් වාර්තා පළ වේ.

එහෙත් සේවක වැටුප් ප්‍රශ්න නැවත කරළියට පැමිණෙමින් තිබේ. ලොකුම ගැනුම්කරුවකු වන රුසියාවේ ග්‍රීස්ම සමය සමඟ එරට ඉල්ලුම පහත වැටීමක් සිදුවීම සෑම වසරකම දක්නට ලැබේ. ඉරාක සහ ලිබියාව සක්‍රිය දායකත්වය දැක්වූහ.

බටහිර, සබරගමුව සහ දකුණ කලාපයන්හි නිෂ්පාදන අඩුවක් සඳහා ඉඩකඩ තිබේ. සබරගමු වැසි ගැන තේ ගොවීනට අනතුරු ඇඟවීම්

පොල් මිල අඩුවේ

පොල් නිෂ්පාදනය 2019 ජනවාරි - අප්‍රේල් කාල පරාසය තුළ ගෙඩි දස 1036.70 දක්වා වර්ධනයව තිබේ. 2018 එම කාල‍ පරාසයේ නිෂ්පාදනය ගෙඩි දස ලක්ෂ 781 කි.

කොළඹ පිටකොටුවේ පොල් ගෙඩියක තොග මිල රුපියල් 31.80 කි. දඹුල්ල රුපියල් 30.00 වසරකට පෙර පොල් ගෙඩියක තොග මිල රුපියල් 65 - 77 අතර ය. ප්‍රාදේශීයව ද පොල් මිල සහ පොල්තෙල් මිල අඩුවෙමින් පවතී.

කරුණාරත්න අමරතුංග


නව අදහස දක්වන්න