ඇඳුමේ ප්‍රශ්නය | දිනමිණ


 

ඇඳුමේ ප්‍රශ්නය

දුටුවන් මන බඳින ඇඳුමකින් සැරසී අවසන් ගමන් ගිය ද අප මෙලොවට බිහිවන්නේ ඇඳුම් නැතුව ය. හෙළුවෙන් ය. එය සියල්ලන්ට ම පොදු ධර්මතාවයකි. ආගම, ජාතිය හෝ පරපුර අනුව වෙනස් නොවන එක ම ඇඳුම, ලෝකයට අප නිරාවරණය වන දා ඇඳි, නිරුවත ය.

කොල්ලන් නිල් පාටින් ද කෙල්ලන් රෝස පාටින් ද සරසමින් පළමු භේදය ඇඳුම හරහා ඇති කරනු ලබන්නේ ය. දරුවකු ඉපදෙන විට ම නගන ප්‍රශ්නය නම් සරමක් ද කම්බායක් ද යන්න ය. සෙසු ජීවිත කාලය පුරා ඒ ලිංගිකත්වයට අදාළ ඇඳුම් පැළඳීමට අපට සිදු වන්නේ ය. ගැහැනියක් පිරිමියකු මෙන් සැරසීම ද ඊටත් වඩා පිරිමියකු ගැහැනියක මෙන් සැරසීම ද ගැරහිල්ලට ලක් වන්නේ ඒ අනුව ය. කරාබු පළඳින ,කොණ්ඩය වවා බඳින පිරිමින් දෙස උපහාසය එල්ල වන්නේ ඒ බෙදුම ඔවුන් විසින් නිශේධනය කරනු ලබන නිසා ය. ඒ අපේ පැරැන්නන් ද ඒ සියල්ල කළ අය වී තිබිය දී ය. ඉන්පසු වත්පොහොසත්කම් අනුව ද ජාතිය හා ආගම අනුව ද අප මිනිසුන් බෙදන්නේ මේ ඇඳුම ඉස්සරහට දාගෙන ය.

අපේ එම අනන්‍යතාව සංකේතවත් කිරීමට ඇඳුම කරන්නේ අනූපම සේවයකි. ඒ නිසා ම අප එකිනෙකාගෙන් වෙන් කිරීමට ද එය ඉවහල් වන්නේ ය.

එසේ වුව ද ඇඳුමේ කාර්යභාරය එය නොවේ. එය තිබෙන්නේ විලි වසා ගැනීමට ය. ඇත්තටම කිව්වොත් එය ද වැරදි ය. එය සැබෑ ලෙස භාවිතා වන්නේ ජුගුප්සා ජනක දේ සගවමින් මතුකරන්නට අවශ්‍ය දේ වඩාත් ආකර්ෂණිය ලෙස කුතුහලය ද දනවමින් ප්‍රදර්ශනය කිරීමට ය. එය සෞන්දර්යාත්මක හා කලාත්මක ප්‍රකාශනයක් ලෙස ද පවතින්නකි.

ඒ නිසා ඇඳුම නිතරම යොදා ගැනුණේ පැළඳුම් ද සහිතව ය. ඒ පැළඳුමවලට මාල කරාබු තෝඩු හිස් පළඳනා සහ ඇඳුම සරසන ආයිත්තම් ද අයත් විය. ඒ සෞන්දර්යය මතු කිරීමට ය. ඇතැම් තැනක එයට කඩු කස්ථාන පිත්තල බොත්තම් ද අයත් විය. ඒ ගාම්භීරත්වය පල කරනු පිණිස ය.

ඇඳුම සමාජ තරාතිරම ද කියා පෑවේ ය. විශේෂයෙන් අතීතයේ ඒ වෙනුවෙන් ම පැනවූ නීති තිබුණේ ය. ලංකාවේ නම් උඩුකය වැසිය හැකි වූයේ ඉහළ සමාජ ස්ථරවල පුද්ගලයන්ට පමණ ය. ඒ නිසා අඩු කුලයේ පිරිමි ද ගැහැනු ද වෙනසක් නැතිව උඩුකය නිරුවත් ඇඟට සුව දායක සුලං රැල්ලක සුවය විඳීමට භාග්‍යවත් වූවෝ ය.

ලෝකයේ සීත පෙදෙස්වල වාසය කළ ජනයාට ඊට අමතරව ඇඳුම සීතලෙන් ආරක්ෂා වීමේ පලිහක් ද වූයේ ය. ඊට ප්‍රතිපක්ෂව ඝර්ම කලාපීය රටවල හා සෙසු රටවල ග්‍රීස්ම කාලය තුළ ඇඳුම ශරීරයට අපහසුවක් ගෙන දුන්නේ ය. මේ නිසා දේශගුණය හා කාලගුණය අනුවත් ඇඳුම විවිධාකාර ය.

සාදාචාරය හා ඇඳුම

මේ සියල්ල කීවේ ඇඳුම හරිහැටි තේරුම් ගන්නට ය. මේ දිනවල වැඩියෙන් කතාබහට ලක් වූ එක් මාතෘකාවක් වූයේ ද මේ ඇඳුම නිසා ඒ පිළිබඳ මනා වැටහිමක් ලබා ගැනීම අපට වැදගත් ය. ඒ, මේ ව්‍යාකූලත්වය මැද්දේ ඇඳුම සම්බන්ධයෙන් වඩා බුද්ධිමත් අස්ථානයක් ගැනීමට ය. ඒ හරහා ඇඳුම අරබයා යුද්ධයක් ඇති වීම වැළැක්විමට ය.

ඇඳුම එක් අතකින් අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක් වන අතරේ තව අතකින් එය සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් ද වන්නේ ය.

කවදත් සදාචාරය රකින්නට සිදු වුණේ ගැහැනුන්ට ය. ඒ නිසා මෙය පිරිමින්ගේ නොව ගැහැනුන්ගේ සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් වූයේ ය. එසේ වීම පිටුපස ඇති කාරණය තේරුම් ගැනීමට අප පිරිමින් හා ගැහැනුන්ගේ වෙනස්කම් හා වුවමනාවන් විමසිය යුතු ය. මිනිසා නම් සත්වයා විමසිය යුතු ය.

දරුවන් ලොවට බිහිකරන්නේ ගැහැනිය ය. පිරිමියාගේ ඒ සම්බන්ධ දායකත්වය බිංදුවට ආසන්න ය. එසේ වුව ද ගැබිනි කාලයේ මවට ද පසු කලෙක බිහිකරන දරුවාට ද පිරිමියා පිහිට වන්නේ ය. වෙනත් සතුන්ගේ පැටවුන් මෙන් නොව ළදරුවකු ලොකු මහත් වී ජිවිතයට සූදානම් වීම සඳහා වැය කරන කාලය විශාල ය. ඒ නිසා දරුවකු නඩත්තු කිරීමේ කාර්යය මවට පමණක් දැරිය නොහැකි තරමට අපහසු ය. ඒ සඳහා පිරිමියකුගේ පිහිට ලැබිය යුතු ය. ජීව විද්‍යාවට අනුව ඒ පිහිට පූර්ණ කැපවිමකින් ලැබෙන්නේ දරුවා තමන්ගේම ජාන වල උරුමක්කාරයකු බව ඔහුට තහවුරු වූ විට ය.

ගැහැනියගේ සදාචාරය පිරිමියාට වැදගත් එකක් බවට පත්වීමට එය එක් හේතුවක් වන්නේ ය. ඒ නිසා සදාචාර තහංචිවල එල්ලය බවට පත් ව ඇත්තේ ගැහැනිය ය.

අනෙත් අතට පිරිමියාට අවශ්‍ය වන්නේ තමන්ගේ ජාන හැකි තාක් දුරට පතුරන්නට ය. ඒ සඳහා හැකි නම් එක් ගැහැනියකට වඩා සොයා යන්නට ය. පීතෘමූලික සමාජයක් ගැහැනියගේ මිස පිරිමියාගේ කන්‍යාභාවය නොසොයන්නේ ද ඒ නිසා ය.

මෙය සමාජය තුළ කොතරම් දරුණු විදිහට පැතිරී තිබුණේ ද යත් එක් කලෙක කාන්තාවන්ට ලිංගිකව හැසිරීමට නොහැකි ලෙස ඇයගේ ලිංගික අවයව වලට ඉබි යතුරු දමා තිබුණු බවට වාර්තා වන්නේ ය. ඒ සඳහා ඇතැම් රටවල විශේෂයෙන් සැකසුණු ඇඳුම් තිබුණු බවට ද වාර්ථා වී ඇත.

කාන්තාවන් ලිංගික ආකර්ෂණය තමන් වෙතට යොමු කරන ආකාරයේ ඇඳුම් ඇඳීමෙන් වැළකිය යුතු යැයි සමාජ මතයක් නිර්මාණය වී ඇත්තේ ද ඒ නිසා විය හැකි ය. එපමණක් නොවේ. ඒ සඳහා කාන්තාවන් යොමුකිරීම සමාජ වගකිමක් ලෙස හිතන මිනිසුන් ඇති වී ඇත්තේ ද ඒ නිසා විය හැකි ය.

එහෙත් කාන්තාවකට සමාජය තුළ යම් ආකර්ෂණයක් ඇතිකර ගැනීමට එක් මෙවලමක් වී ඇත්තේ ද ඇගේ සිරුර ය. ඒ නිසා ම කාන්තාවක් ඒ සඳහා අමතර වෙහෙසක් දැරීම ස්වභාවික යැයි ද සැලකේ. පිරිමියා විසින් එතරම් තැකිමක් නොකරන රන් භාණ්ඩ කාන්තාවගේ කැමැත්ත දිනා ගන්නේ මේ නිසා ය. ඒවා මිලට ගෙන තම බිරිඳ උන්මාදයට පත් කිරීම තම යුතුකම ලෙස බොහෝ පිරිමින් විසින් සළකන්නේ ද ඒ නිසා විය හැකි ය. තම බිරිඳ ලබන සමාජ ආකර්ෂණය ස්වාමිපුරුෂයෙකුට වුව සතුටක් ඇති කරන්නේ තමන් ජය ගෙන ඇත්තේ ලෙහෙසි පහසු කෙනෙකු නොවන බව ලෝකයට පෙන්වන්නටත් එක්ක ය. පාරේ එක්කර ගෙන යා හැකි ගැහැනියකු පිරිමියෙකු හොයන්නේ ද මේ නිසා ය.

ලෝක දෙකකට මැදි ව

මේ නිසා පිතෘ මූලික සමාජයක් තුළ කාන්තාවට ලෝක දෙකකට මැදි වන්නට සිදු ව තිබේ. එක් අතකින් සැරසෙන්නට ය. අනිත් අතට ඒ සැරසිල්ල ලිංගික ආකර්ෂණයට හේතු පාදක නොවන සීමාව තුළ රඳවා ගැනීමට ය. මේ කාරණයේ දී තීරණාත්මක වන්නේ ඇඳුම ය.

ගැහැනියගේ ඇඳුම ගැහැනියගේ තීරණයකට එහා යන්නේ ඒ අනුව ය. කොන්ත නෝනාගේ හැට්ටය කොන්ත නෝනාට ඕනෑ හැටියට නොව සමාජයට ඕනෑ හැටියට මැසිය යුතුව ඇතැයි ඇතැමුන් සිතන්නේ ඒ නිසා ය.

මුස්ලිම් ආගමේ ඇතැම් නිකායන් විසින් මේ සඳහා පනවා ඇති සීමාවන් සියළු මානුෂික ඉම් පැන යන්නේ ඔවුන් ගැහැනුන් ප්‍රසිද්ධියේ සිය රුව ප්‍රදර්ශනය කිරීමට, සැරසෙනවාට, අකමැත්ත පල කරන නිසා ය. ඒ නිකායන්ට අනුව ගැහැනිය සැරසිය යුත්තේ තම ස්වාමිපුරුෂයාගේ අවධානය දිනා ගනු පිණිස නිවස තුළ පමණ ය. ඒ නිසා ඔවුන් ඇඳිය යුත්තේ ගෝනියක් මෙන් පේන ඇඳුමක් ය. ඒ තුළ හැඩ තල කිසිවක් ප්‍රදර්ශනය නොවිය යුතු ය. කොණ්ඩය වසා දැමිය යුතු ය. මුහුණ ද වසා දැමිය යුතු ය. ඇස් දෙක විවෘත කළ යුත්තේ එසේ නො කළහොත් අවට නොපෙනෙන නිසා ය. එය ද ඇතැම් නිකායක දැලකින් වසා සැඟවිය යුතු ය. මෙසේ සියල්ල ආවරණය කර ඇති කෙනකුට පහසුවෙන් හුස්ම ගැනීමට, කතා කිරිමට, කෑම ගැනීමට ද අපහසු ය. එහෙත් ඒ සියල්ල සදාචාරයේ හා සදාචාරය රකින ආගමේ නාමයෙන් ඉවසිය යුතු ය.

ප්‍රශ්නය ඇත්තේ කුඩා කල සිට එක්තරා ආකාරයක ඇඳුමකට පුරුදු වූ පසු වෙනත් ආකාරයකට ඇඳීම අපහසු වීමට ඉඩකඩක් බිහි වීම ය. මුස්ලිම් කාන්තාවන්ට විමුක්තිය ලබා දිම සඳහා බලාහත්කාරයෙන් ඇඳුම් ගලවන්නට හදන අය අමතක කරන්නේ ඒ කාරණය ය. මෑතක දී සරසවි ශිෂ්‍යයකු සිය දිවි නසා ගත්තේ ඔහුට දුන් නවක වදය තුළ අනෙක් ශිෂ්‍යාවන් ඉදිරියේ නිරුවත් වීමට බල කරනු ලැබූ නිසා ය.

ඇඳුම ඇ‍ෙඟ් ම කොටසක් හෝ එය ආසන්නයේ ම කොටසක් ලෙස පවතින්නකි. පච්ච කෙටීම හරහා එය ඇඟටම යා කර ගත හැකි ය. ඒ නිසා සංකේත සහිත ඇඳුම් භාවිතයේ දී සැළකිලිමත් විය යුතු ය. පච්ච කොටා ගැනීමේ දී පරිස්සම් විය යුතු ය.

මෑතක දී කාන්තාවකට හිරේ යන්නට සිදු වුණේ නැවක සුක්කානමක් ඇඳුමේ සටහන් ව තිබූ නිසා ය. ඊට අමතරව ස්වාමීන් වහන්සේලා ද පොලීසිය ද අධිකරණය ද එය සුක්කානමක් ලෙස අඳුනා ගැනීමට අපොහොසත් ව එය ධර්ම චක්‍රයක් ලෙස අර්ථ නිරූපනය කළ නිසා ය. සෙරෙප්පුවක සුක්කානමක් තිබි සාප්පුවක හිමි නමක් යකා නැටුවේ ද ඒ නිසා ය. ඒ ද වැරදියට හඳුනා ගැනීම නිසා ය. මේ අවස්ථා දෙකේ දිම දඩුවම් ලැබීමට හේතුව වූයේ ආගමික සංකේතයක් ඇඳුමට යොදා ගනිමින් ආගමට අපහාස කළේ යැයි කියන කාරණය ය. ඊටත් කලින් බුද්ධ රූපයක් ඇඟේ පච්ච කොටා ගත් කාන්තාවකට

රටින් පිටුවහල් වීමට සිදු වූයේ ද ඒ අනුව ය. ඒ ද ආගමට අපහාස කිරීමේ චෝදනාව යටතේ ය.

ප්‍රශ්නය සුක්කානම ධර්ම චක්‍රය ලෙස වැරදියට හඳුනා ගැනීම ම නොවේ. ආගමික සංකේතයක් ඇඳුමකට පැළදීම හෝ ශරීරයට එකතු කර ගැනීම ආගමකට එරෙහි ප්‍රකෝපකාරිත්වයක් ලෙස වර නැගෙන්නේ ඇයි ද යන්න ය.

ආගමික සංකේත

කුරුසිය ආගමික සංකේතයකි. එය පළඳනාවක් ලෙස ද යොදා ගැනේ. එයින් අදහස් කරන්නේ ක්‍රිස්තියානි ආගමිකයන් එවැන්නක් වැරැද්දක් ලෙස නොගත්ත ද බෞද්ධයන්ට එයින් රිදිය හැකි බව ද?

එය ද විය නොහැකි ය. පොලිස් නිල ඇඳුමේ ධර්ම චක්‍රය තිබේ. පොලීසියට අවසර ලැබීමටත් සෙසු අයට එයට ම අවසරයක් නොලැබීමටත් හේතුව විය හැක්කේ කුමක් ද? අප අනාථ කරවන ප්‍රශ්නය එය ය.

එවැනි අවිනිශ්චිතතාවයක දී අපට සිදුවන්නේ උපකල්පනයන් කිරිමට ය. පළමුව මේ දඩුවම් ලැබූ අවස්ථා දෙකට ම සම්බන්ධ ව සිටියේ කාන්තාවන් ය. ඇතැම් විට කාන්තාව සමහර සමාජයන්හි සැලකෙන්නේ මසකට වරක් කිලි අහුවන ශරීර පරාණයක් ලෙස ය. සිරිමා බෝ මළුව ද දළදා මාලිගාවේ ඇතැම් ස්ථානයන් ද ඇයට අකැප වන්නේ ඒ නිසා බව කියවෙන්නේ ය. එසේ නම් මේ විරෝධය පිටුපස මේ අතිශය අසාධාරණ කාරණය ද සැඟවී ඇද්ද? එහෙත් නැවතත් අප අනාථ කරවනු ලබන්නේ කාන්තා පොලිස් නිලධාරීන්ගේ ඇඳුමේ ද ධර්ම චක්‍රය ඇතුළත් ව තිබේය යන කාරණය ය. එසේ නම් එය ද විය නොහැකි ය.

මේ නම් තමන් බෞද්ධ ආගමේ ආරක්ෂකයින් බව පෙන්වන්නට, ඒ හරහා පුහු වීරයන් වෙන්නට, තතනන මිනිසුන්ගේ අවිචාරවත් ක්‍රියාවක් ද? එසේ ද සැලකිය නොහැක්කේ පොලීසිය ද ඇතැම් අධිකරණ ශාලා ද ඒ ක්‍රියාව අවිචාරවත් ලෙස නොසලකා ඇති නිසා ය.

සමහරු කියන්නේ මේ සියල්ල මෑත කාලයක ගොඩ නගා ගත් පවිත්‍රතාවන් බව ය. පෙර එවැනි දේ නොතිබුණු බව ය. එහි ද ඇත්තක් තිබේ. දළදා වහන්සේ ලංකාවට වැඩම කළේ හේමමාලි කුමරිය විසින් සිය කෙස් කළඹේ සඟවාගෙන ය. ඇයට අපහාස නඩුවක් වැටුණේ නැත. දැනට කාන්තාවන්ට අකැප යැයි කියා තහංචි පනවා ඇති අනෙක් සිද්ධස්ථානය වූ ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කළේ සංඝමිත්තා තෙරණියගේ දෝතිනි. ඇයට ද අපහාස කිරිමේ චෝදනාවකට මුහුණ දෙන්නට සිදු වූයේ නැත.

ඇඳුම මරණීය කාරණයක් බවට අද වන විට පත්ව ඇත්තේ අප මේ ශිෂ්ටාචාරය තුළ ආ දිගු ගමන තුළ එකතු කර ගත් එක් එක් ආකාරයේ මතවාදයන් නිසා බව මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ය.

මේ පෙරහැරට මෑත දී එක් ව තිබුණේ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛයකි. තරයේ පිලිපදින ලෙස අණකොට නිකුත් තිබූ ඒ චක්‍ර ලේඛයට අනුව කාර්යාල වේලාවන් තුළ කාර්යාල පරිශ්‍රයට පැමිණෙන පිරිමි නිලධාරීන් කමිසය හා කලිසම හෝ ජාතික ඇඳුමෙන් ද කාන්තා නිලධාරීන් සාරිය හා ඔසරියෙන් ද සැරසී පැමිණිය යුතු ය. ව්‍යාතිරේඛයන් සපයා තිබුනේ ගැබිනි කාන්තාවන්ට හා නිශ්චිත නිල ඇඳුමක් සහිත නිලධාරීන්ට ය. ඊට අමතරව ආගමික අනන්‍යතාව තහවුරු කිරිමට අවශ්‍ය අයට මේ ඇඳුමට උඩින් යමක් භාවිතා කිරීමේ ඉඩකඩ ද සලසා තිබුණේ ය. බැලූ බැල්මට “අහිංසක“ යැයි පෙනෙන මේ චක්‍ර ලේඛය නිකුත් කර තිබුනේ ජාතික ආරක්ෂාවේ නාමයෙනි.

හදිසි නීතිය යටතේ රජය විසින් කෙනකු හඳුනාගැනීමට හැකි වන සේ මුහුණ නිරාවරණය කළ යුතු බවට නීති පනවා තිබුණේ ය. එසේ තිබිය දී නිකුත් කරන ලද මේ චක්‍ර ලේඛය ඊට එහා ගොස් යම් නිශ්චිත ඇඳුම් කීපයක් පමණක් සමාජගත කිරීමට ගත් උත්සාහයක් ලෙස පෙනෙන්නේ ය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය දඩමීමා කර ගෙන බොර දියේ මාළු බාන සංස්කෘතික “පොලීසිය“ක උත්සහයක් ලෙස පෙනෙන්නේ ය. මෙය සිංහල බෞද්ධ රටක් ලෙස සමාජ ගත කිරීමේ යටි අරමුණක් ඇතුව කරන ලද්දක් ලෙස පෙනෙන්නේ ය.

බොරදියේ මාළු බෑම

ගවුමක්, සායක්, හැට්ටයක් හෝ කලිසමක් කාන්තා නිලධාරිනියකට නො ගැලපෙන්නේ මන් ද යන්නත් ඒ සියල්ල සාරියකින් හෝ ඔසරියකින් විස්ථාපනය කළ යුත්තේ මන්ද යන්නටත් පැහැදිලි උත්තරයක් මේ වන තෙක් ලැබි නැති තත්වයක් යටතේ අපට එවැනි උපකල්පනයක් කිරිමට සිදු වන්නේ ය.

ඉංජිනේරුවන්, කාර්මික නිලධාරීන්, වැනි ක්ෂේත්‍රයේ හා කාර්මික පරිසරයන්හි වැඩ කිරීමට සිදු ව ඇති කාන්තා නිලධාරීන්ට සාරිය හිරිහැරයකි. අනතුරුවලට අත වනන්නකි. සාරියක් ඇඳ සිටින කෙනකුට හදිසියක දී දුවන්නටවත් බැරි ය. ඒ නිසා ද මේ නිර්දේශය ප්‍රශ්නයකි.

වෙනත් ඇඳුමක් නැතිව සාරිය නිල ඇඳුම ලෙස ප්‍රකාශයට පත් කළේ කුමක් නිසා ද යන්නට අමතරව ඒ සම්බන්ධයෙන් පමණක් විකල්ප දෙකක් ලබා දුන්නේ (සාරිය හෝ ඔසරිය) කුමක් නිසා ද යන්න පැහැදිලි නැත. එයින් අනියමින් කියවෙන්නේ පහතරට උඩරට අනන්‍යතාවය පවත්වා ගෙන යෑමට, වෙනත් අනන්‍යතාවයන් බිලි දෙන්නන් වුව, කැමැත්තෙන් ඉන්නා බව ද?

කිසි දා සාරියක් නොඇන්ද කාන්තාවන් ඉන්නා බවවත් මේ චක්‍ර ලේඛය නිකුත් කිරිමේ දී සැලකිල්ලට ගෙන නැත. එවැනි කෙනකුට මේ වෙනස් වීම සඳහා කිසියම් කාලයක් ගත වන අමතර මුදලක් වැය වන කටයුත්තක් බව මෙහි දී සලකා බලාවත් නැත. මේ පිළිබඳ අදහස් විමසිමක් කළේ නම් මේ කරුණු මතු වීමට ඉඩ තිබුණේ ය. මේ හදිසිය, ලැබූ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට බව සිතෙන්නේ ඒ නිසා ය.

සැවොම එක් නිල ඇඳුමක් ඇඳීම මෙයින් අපේක්ෂා වූ බව කියතත් කමිසය හා කලිසම හෝ ජාතික ඇඳුම යන විකල්ප දෙකක් පිරිමින්ට ද සැලසීමෙන් අපේක්ෂාව ඊට වෙනස් බව පෙනෙන්නේ ය. කාන්තාවන් සම්බන්ධයෙන් සාරි හා ඔසරි ඇඳීම හරහා ජාතික සංස්කෘතිය පවත්වාගෙන යන අතරේ පිරිමින් සම්බන්ධයෙන් ජාතික ඇඳුමට අමතරව පහසු විකල්පයක් දීමෙන් පෙන්නුම් කරන්නේ, පහසුව වැදගත් කොට සලකා ඇත්තේ පිරිමින් සම්බන්ධයෙන් පමණක් බව ය. සංස්කෘතික ධජය ගෙන යා යුත්තේ කාන්තාවන් බව ය. කාන්තාවන්ගේ ශරීරය සංස්කෘතිය අරගලයේ යුද බිම ලෙස දිගටම සැලකෙන බව ය. ඒ සඳහා ඔවුන් පරිත්‍යාගයන් කළ යුතු බව ය.

සංස්කෘතිය හා සදාචාරය එක ළග හිට ගන්නා සංකල්පයන් ය. එකක් අනෙකෙන් පෝෂණය වන ඒවා ය. ඒ නිසා කාන්තාව සංස්කෘතියේ හා සදාචාරයේ බර ද දරා ගෙන සිටිය යුතු යැයි උපකල්පනය කරන අයට මග හැරෙන එක් කරුණක් වෙයි. ඒ සාරිය සංස්කෘතික වුව ද හොඳින් බලන්නේ නම් සෙසු කාන්තා ඇඳුම්වලට වඩා එය සෙක්සි බව ය. කාමය අවුස්සන සුළු බව ය. එය ගෝනියක් ලෙස ගැහැනුන් ඔතා ගන්නේ නැත. එය කාන්තා සිසුරේ සියළු හැඩ තල උලුප්පා පෙන්විය හැකි අගනා ඇඳුමකි. ඒ නිසා ම මේ සංස්කෘතික පොලිස්කාරයන් දෙවැනි අදියරේ මෙයට පිරිවිතර සපයන්නට ඉදිරිපත් නොවුනොත් පුදුම ය.

ඇඳුම පහසු විය යුතු ය. අනතුරු අඩු කරන්නක් විය යුතු ය. තම අනන්‍යතාවයන් ප්‍රකාශනයට ඉඩක් ඒ තුළ තිබිය යුතු ය. ඒ තුළ විවිධත්වයට ද ආත්ම ප්‍රකාශනයට ද ඉඩක් තිබිය යුතු ය. එය කලාත්මක ප්‍රකාශනයක් විය යුතු ය. එහෙත් එය කිසිදා එය අඳින්නන් පීඩනයට පත් කරන්නක් නම් නොවිය යුතු ය. විශේෂයෙන් කාන්තාවන් විෂයෙහි ආධිපත්‍ය පැතිරවීමට යොදා ගත හැකි අවියක් නොවිය යුතු ය. කොන්ත නෝනාගේ හැට්ටය කොන්ත නෝනාට කැමති පරිදි විය යුතු ය. ඇඳුමත් සමග ජෝගි නටනවාට වඩා වැදගත් තීරණාත්මක ප්‍රශ්නයන් කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු ය.

නව අදහස දක්වන්න