වෛද්‍ය සාෆිගෙන් අයිතිවාසිකම් පෙත්සමක් | දිනමිණ

වෛද්‍ය සාෆිගෙන් අයිතිවාසිකම් පෙත්සමක්

නෙල්කා මැදගෙදර

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ‍රෝහලේ වෛද්‍ය සෙයිගු ෂිහාබ්ඩීන් මොහොමඩ් සාෆි රඳවා ගැනීමේ නියෝගය අත්හිටුවන ‍නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් මෙම පෙත්සම ගොනුකර ඇත්තේ නීතිඥ රෂිඩ් හබීබ් මඟිනි.

කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පලාල්, එම පොලිස් ස්ථානාධිපතිවරයා, නියෝජ්‍ය පොලිස්පති කිස්තිරි ජයලත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ශානි අබේසේකර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ශාන්ත කෝට්ටේගොඩ, නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවෝ වෙති. පෙත්සම්කරුගේ සේවාදායකයා වන මොහොමඩ් සාෆි ෂිහාබ්ඩීන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ බව පෙත්සමෙහි දැක්වේ. ඒ අතරම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන මෙන්ම ව්‍යාපාර පවත්වාගෙන ගිය බව ද පෙත්සමෙහි දැක්වේ.

විවිධ ව්‍යාපාරවලින් උපයාගත් මුදල් හා දේපළ වෛද්‍ය සාෆි රැස්කරගෙන සිටි බව ද එම වත්කම් සියල්ල නීත්‍යානුකූලව උපයාගත් බව ද පෙත්සමෙහි දැක්වේ. ඉකුත් පාස්කු දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව වෛද්‍ය සාෆිගේ නිවස පොලිසිය විසින් පරීක්ෂා කළ බව පෙත්සමෙහි දැක්වේ.

අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝග ලබාගෙන දිගින් දිගටම රඳවාගෙන සිටින බවත් පෙත්සමෙහි සඳහන් වේ.

කුරුණෑගල රෝහලෙන් ප්‍රතිකාර ගත් සිංහල කාන්තාවන්ට වඳ සැත්කම් කළ බවට වෛද්‍ය සාෆි හට චෝදනා එල්ල වුවද ඒවා පදනම් විරහිත, අසත්‍ය චෝදනා බව පෙත්සමෙහි දැක්වේ. වෛද්‍ය සා‍ෆි කුරුණෑගල රෝහලෙහි සේවය කළේ නාරි හා ප්‍රසව රෝග විශේෂඥ වෛද්‍යවරුන් නමදෙනකුගේ අධීක්ෂණය යටතේ බව ද මෙලෙස එල්ල වන චෝදනා කිසිවක් සම්බන්ධයෙන් මීට පෙර ප්‍රශ්න උද්ගතව නැතැයි ද පෙත්සමෙහි දැක්වේ.


නව අදහස දක්වන්න