මතට එරෙහි තවත් සතියක් ! | දිනමිණ

මතට එරෙහි තවත් සතියක් !

රූපවාහිනී වැඩසටහනකට දුරකථනය ඔස්සේ සම්බන්ධ වූ ප්‍රේක්ෂිකාවක් තම සහෝදරයා මත් රකුසාගෙන් බේරා දෙන ලෙස ඉල්ලා සිටියා ය. එම වැඩසටහන, රූපවාහිනිය ඔස්සේ ලග්න පලාපල විස්තර කරයි. මේ සිද්ධියෙන් කරුණු කිහිපයක් සනාථ වෙයි. එක් කරුණක් වන්නේ මතට එරෙහිව කොතරම් වැඩසටහන් ක්‍රියාත්මක වුව තවම විශාල පිරිසක එයින් පීඩාවට පත් වී ඇති බව ය. තව කරුණක් වන්නේ මත්ද්‍රව්‍ය භාවිත කරන අය පවුලට හා ප්‍රදේශයට බලවත් හිසරදයක් වී ඇති බව ය. තවත් කරුණක් වන්නේ මතින් නිදහස් වීම සඳහා සමාජය ඕනෑම සාධකයක් සමඟ සම්බන්ධ වීමට කැමැති බව ය. අනාගතය ගැන පේන කියන අයට මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්විය හැකි යැයි අප කියන්නේ නැත. එහෙත් ඒ සඳහා නව ක්‍රමවේද අවශ්‍ය බව අපට කිව හැකි ය.

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ තවත් ජාතික සතියක් පෙරේදා ආරම්භ විය. එහිලා ප්‍රමුඛ තැන ලබාදී ඇත්තේ පාසල්වලට හා රජයේ කාර්යාලවලට ය. මත්ද්‍රව්‍යවල ස්වාභාවය, එය භාවිත කිරීමෙන් ඇතිවන ව්‍යසනය හා එයින් වැළකී අර්ථවත් ජීවිතයක් ගත කරන ආකාරය මීට අදාළ වැඩසටහන්වලින් විවරණය කෙරේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ විදුහල්පතිවරයෙක් කියා සිටියේ මතට එරෙහි වැඩසටහන් ආරම්භ කළ යුතු හොඳම ස්ථානය පාසල බව ය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශිෂ්‍ය නායකයෙක් කියා සිටියේ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා සතියක් ප්‍රමාණවත් නොවන බව ය. ඔහුගේ මතය වන්නේ සෑම දිනකම මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ ක්‍රියාකාරකමක් පාසල තුළ සිදුවිය යුතු බව ය.

දිවයිනේ බොහෝ පාසල්වල මත්ද්‍රව්‍ය නිවාරණ සතිය උත්සවාකාරයෙන් ආරම්භ විය. දවස පුරාම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන ආකාරයක් දක්නට ලැබිණි. පොලිස් නිලධාරීන්, වෛද්‍යවරුන්, සමාජ ක්‍රියාධරයන් දේශකයන් ලෙස කැඳවා තිබිණි. ඇතැම් පාසල්වල මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනෙහි ප්‍රධාන දේශනය පවත්වා ඇත්තේ ආගමික නායකයෙකි. භික්ෂූන් වහන්සේ හා අන්‍යාගමික පූජකතුමන්ලා ඒ අතර වූහ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පැවැති වැඩසටහනේ දී මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ දිවුරුමක් සිදුකරනු දක්නට ලැබිණි. මේ සියල්ලට වඩා වටිනා ක්‍රියාකාරකමක් වූයේ මීට අදාළ ප්‍රචාරක වැඩසටහනක් ද ක්‍රියාත්මක වීම ය. රාජ්‍ය නිලධාරීන් අත්පත්‍රිකා බෙදමින් මත්ද්‍රව්‍ය නිවාරණයට හවුල්වන ආකාරය පෙනිණි.

මත්ද්‍රව්‍ය ජාවාරමට බාහිර සමාජයෙන් ලැබෙන විවිධාකාර සහයෝග තිබේ. ත්‍රි-රෝද රථ නැවතුම් පොළවල් කුඩු වෙළෙන්දන් භාවිතයට ගනු ලබන ප්‍රචලිත ස්ථානයකි. මෙබඳු ස්ථානවලදී තරුණ පරපුර මතට ඇබ්බැහි කරගැනීම පහසුය. ඇතැම් ත්‍රී-රෝද රථ රියැදුරන් මුදලට ඇති ගිජුකම නිසා මීට සහයෝගය දෙන අවස්ථා ද තිබේ. කුඩු ප්‍රවාහනය සඳහා ද ත්‍රි-රෝද රථය යොදාගනී. ඇතැම් විට රියදුරා නොදන්නවා වුව රථයෙන් කුඩු ප්‍රවාහනය සිදුවේ. ත්‍රි-රෝද රථ රියදුරන්ගේ මාර්ගයෙන් පාසල් දරුවන් කුඩු ජාවාරමට සම්බන්ධ කරගනු ලබන අවස්ථා ද ඇත. රාජ්‍ය නිලධාරීන් ත්‍රි-රෝද රථ නැවතුම් පොළවලට ගොස් ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කරන ආකාරය පෙරේදා දක්නට ලැබිණි. එය සාධනීය ක්‍රියාවකි.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතයට යම් ඉතිහාසයක් තිබේ. එය නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ මුල් යුගය තුළ අබිං හා කංසා වැනි මත්ද්‍රව්‍ය භාවිතයට සුළු පිරිසක යොමු වී සිටි බව ය. එහි ද විශේෂත්වය වන්නේ වයස අවුරුදු පනහ ඉක්ම වූ වැඩිහිටියන් මිස තරුණ පරපුර මත්ද්‍රව්‍ය සඳහා යොමු වී නැති බව ය. එහෙත් 1980 ගණන් වන විට ලොව ප්‍රචලිත විවිධ මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට කඩා වදින්නටත්, තරුණ පරම්පරාව ඊට ශීඝ්‍රයෙන් ගොදුරු වන්නටත් පටන් ගත්තේ ය. 1990 ගණන් වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙන් ම මත්ද්‍රව්‍ය භාවිතය අංක එකේ ජාතික ප්‍රශ්නයක් බවට පත් වී තිබිණි. මේ අනුව වැටලීම් වැඩි විය. 1996 දෙසැම්බරයේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ වැටලීමක් සිදුකොට රුපියල් කෝටි දෙකක හෂීස් සොයාගන්නා ලදී.

අද වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම කෙතරම් ව්‍යාප්ත වී තිබේ ද, ඊට කෙතරම් පිරිසක ගොදුරු වී තිබේදයත්; වැටලීම්වලදී හසුවන්නේ රුපියල් කෝටි සියය ඉක්මවූ මත්ද්‍රව්‍ය තොග ය. 2000 ගණන්වල සිට ශ්‍රී ලංකාව භාවිත වී ඇත්තේ මත්ද්‍රව්‍ය ගෙන්වා ප්‍රති අපනයනය කරන කේන්ද්‍රයක් හැටියටය. ඒ අනුව ලෝකයේ ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගණයට වැටෙන ජාවාරම්කරුවෝ ශ්‍රී ලංකාවෙන් බිහි වී සිටිති. එහි තවත් විශේෂයක් වන්නේ පාතාලයේ ප්‍රධානීන් බවට ද මේ ජාවාරම්කරුවන් පත් වී සිටීම ය. ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තත්ත්වය ‘මධූෂ්’ වැනි අපරාධකාරයකුගෙන් හොඳහැටි වටහාගත හැකි ය. ඔවුන් සතු බලය හා ශක්තිය කෙතරම් ද යත්; ඇතැම් රාජ්‍යයන්ට බලපෑම් කළ හැකි තත්ත්වයක් ද ජාවාරම්කරුවන් සතුවේ.

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීම සඳහා ගනු ලැබූ බොහෝ පියවර අසාර්ථක වූයේ; ජාවාරම්කරුවන් හා දේශපාලකයන් අතර පවත්නා සම්බන්ධතා නිසා යැයි ප්‍රබල මතයක් පැවැතිණි. එය අසත්‍යයක් නොවන බව ඇතැම් සිදුවීම්වලින් මනාව පැහැදිලි වෙයි. මධූෂ් නම් කුඩු ජාවාරම්කාරයා දේශපාලකයන්ට උපකාර කළ හැටි වමාරමින් සිටින බව දැනගන්නට ලැබේ. දේශපාලක‍යන් පමණක් නොව; රජයේ උසස් නිලධාරීන් පවා කුඩු වෙළෙඳුන්ගේ ගොදුරු බවට පත් වී සිටි බව නොරහසකි. වත්මන් ජනාධිපතිවරයා කුඩු ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක කළ වැදගත් ම කාර්යයක් වූයේ ඉහත සම්බන්ධය කඩා දැමීමට පියවර ගැනීමය. දේශපාලකයන් මත්ද්‍රව්‍ය ජාවාරමට උපකාර නොකරන බවට දිවුරුමක් ද පසුගියදා සිදු විය.

මත්ද්‍රව්‍ය වැරැදි සඳහා එකොළොස් දහසක් බන්ධනාගාර ගතවී ඇති බව වාර්තා වී ඇත. වැටලීම් දිගටම සිදුවන අතර තවත් පිරිසක් දිනපතා නීතියේ රැහැනට හසුවෙති. මෙයින් සැලැකිය යුතු පිරිසකට මරණ දඬුවම ලබාදීම වැදගත් බව සමහරුන්ගේ මතය වී තිබේ. එය කුමක් වුව මුළුමහත් ජාතියම මත්ද්‍රව්‍ය නිවාරණයට එකතුවී සිටීම යහපත් ය.

 

අදහස් 1ක් ඇත

Thanks

නව අදහස දක්වන්න