සත්කාරකයන් දණ ගස්වා කැන්ගරුවෝ පෙරමුණ ගනිති | දිනමිණ

සත්කාරකයන් දණ ගස්වා කැන්ගරුවෝ පෙරමුණ ගනිති

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකයන්ට තෙවැනි පරාජය උරුම කරදුන් ඔස්ට්‍රේලියානුවෝ ඊයේ ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති 32වැනි තරගයෙන් ලකුණු 64ක ජයක් අත්කර ගත්හ.

ඊයේ සිය 6 වැනි ජයග්‍රහණය වාර්තා කළ ඔස්ට්‍රේලියාව මේ සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වූ අතර එංගලන්තය සිවුවැනි ස්ථානයේම පසුවෙයි.

තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් ඔස්ට්‍රේලියාව ලබාදුන් ලකුණු 286ක ඉලක්කය හඹාගිය එංගලන්තයට ඕවර 44.4කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 221ක් පමණි.

පිළිතුරු ඉනිම ඇරැඹු එංගලන්ත ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් පෙර දෙවැනි පන්දුවෙන් ජෙම්ස් වින්ස් යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වූ ජේසන් බෙරන්ඩ්‍රොෆ් සිය ජාත්‍යන්තර එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කරමින් එංගලන්ත පිතිකරුවන් 5 දෙනකු යළි ක්‍රීඩාගාරයට හරවා යමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ඔහු ඊයේ සහභාගිවූයේ 8 වැනි එක්දින තරගයටයි. බෙරන්ඩ්‍රොෆ්ට අනගි සහයක් ලබාදුන් මිචෙල් ස්ටාක් කඩුලු 4ක් බිඳ දැමීය.

ලකුණු 26කට කඩුලු 3ක් අහිමිව තිබියදී පිටියට පිවිස හුදෙකලා සටනක නිරතවූ බෙන් ස්ටොක්ස් ඉනිමෙ 6 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 177ක් විය.

පන්දු 115කට මුහුණදුන් ස්ටොක්ස් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 89ක් රැස් කළේය. 18 වැනි එක්දින අර්ධ ශතකය රැස්කරමින් මිචෙල් ස්ටාක්ගේ තෙවැනි කඩුල්ල ලෙස ස්ටොක්ස් දැවී යෑමට පෙර ජොස් බට්ලර් සමගින් 5 වැනි කඩුල්ලට ලකුණු 71ක් සහ ක්‍රිස් වෝක්ස් සමගින් 6 වැනි කඩුල්ලට ලකුණු 53ක් එක්කර තිබිණි. ඉන් පෙර ජෝ රූට් (8) සහ නායක ඔයින් මෝගන් (4) ස්ටාක්ට ගොදුරු වූහ. ලකුණු 25ක් රැස්කළ බට්ලර් 5 වැනි කඩුල්ල ලෙස මාක්ස් ස්ටොයිනිස් හමුවේ දැවී ගියේය.

ඉන් අනතුරුව ලකුණු 21ක් තුළ කඩුලු 3ක් බිඳ දැමීමට ජේසන් බෙරන්ඩ්‍රොෆ් සමත්වූයේ සිය තරග දිවියේ හොඳම පන්දු යැවීම ලකුණු 44කට කඩුලු 5ක් ලෙස සටහන් කර ගනිමිනි. මුයීන් අලි (6), ක්‍රිස් වෝක්ස් (26) සහ ජොෆ්රා ආචර් (1) බෙරන්ඩ්‍රොෆ්ට හමුවේ දැවී ගියහ. අවසන් කඩුල්ලට ගොඩනැගුණු ලකුණු 10ක සබඳතාව 45 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවෙන් නිමාකළ ස්ටාක් ඔස්ට්‍රේලියාවට ලකුණු 64ක ජය අත්කර දුන්නේය.

ආරොන් ෆින්ච්ගේ නායකත්වයෙන් ඉනිම හේතුවෙන් එංගලන්තයේ ඇරැයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 285ක් රැස් කිරීමට සමත් විය.

ෆින්ච් සමගින් ඉනිම ඇරැඹීමට පිටියට පිවිසීමේදී ප්‍රේක්ෂයන්ගෙන් වෝනර්ට අයහපත් ප්‍රතිචාරයක් හිමිවූවත් ඊට අර්ධ ශතකයකින් ප්‍රතිචාර දැක්වීමට ඔහු සමත් විය. පන්දු 128කින් පළමු කඩුල්ලට ලකුණු 123ක් එක්කළ ෆින්ච්-වෝනර් සබඳතාව බිඳ වැටුණේ මුයීන් අලි හමුවේ වෝනර් දැවී යෑමෙනි. පන්දු 61කට මුහුණදුන් ඔහු හතරේ පහරක් සමගින් ලකුණු 53ක් රැස්කළේ 20 වැනි එක්දින අර්ධ ශතකය මෙන්ම මෙවර තරගාවලියේ තෙවැනි අර්ධ ශතකය ලෙසිනි.

පෙරේදා ඇෆ්ගනිස්තානය සමග තරගයේදී යළිත් පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් (476) සමත්වුවත් ඊයේ වෝනර් (500), ශකීබ් අබිබවමින් තවත් ලකුණු 24ක් රැස් කිරීමට සමත් විය.

වෝනර් දැවී යෑමෙන් අනතුරුව උස්මාන් කවාජා සමගින් දෙවැනි කඩුල්ලට ලකුණු 50ක් එක්කළ ෆින්ච් ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ මුළු ලකුණු 185දීය. ඉන් ලකුණු 12කට පෙර කවාජා ලකුණු 23කට පිටියෙන් ඉවත් විය. පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 11කින් සහ හයේ පහර 2කින් ඉනිම වර්ණවත් කරගත් ෆින්ච් ඊයේ වාර්තා කළේ 15 වැනි ශතකයයි. මෙවර තරගාවලියේ දෙවැනි ශතකය වූ එය පන්දු 115කින් වාර්තාවූ අතර ජොෆ්රා ආචර් යැවූ ඊළඟ පන්දුවෙන් ෆින්ච්ගේ ඉනිම නිමාවූයේ වෝනර් ට වඩා ලකුණු 4ක් (496) පසුපසින් සිටිමින් තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණුලාභියා ලෙසිනි. ෆින්ච්ගේ දැවී යෑමත් සමග සෙසු පිතිකරුවන්ට සාර්ථක සබඳතාවක් පිහිටුවීමට එංගලන්ත පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබිණි.

ප්‍රවේගකාරී පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් පන්දු 8කින් ලකුණු 12ක් ලබා සිටියදී මාක් වුඩ් ගේ පන්දුවකින් දැවී ගිය අතර ස්ටීවන් ස්මිත්ගේ ඉනිම පන්දු 34කදී ලකුණු 38කට සීමා කිරීමට ක්‍රිස් වෝක්ස් සමත් විය. ඉනිම නිමාවනවිට හතරේ පහර 5ක් සමගින් පන්දු 27කින් නොදැවී ලකුණු 38ක් රැස් කිරීමට සමත්වූ ඇලෙක්ස් කෙරී, මිචෙල් ස්ටාක් සමගින් 8 වැනි කඩුල්ලට පන්දු 17කින් ලකුණු 26ක් එක් කළේය.

ඔස්ට්‍රේලියා සහභාගීවන 8 වැනි තරගය 29 වැනිදා නවසීලන්තය සමගින් පැවැත්වේ.

නව අදහස දක්වන්න