ජනපතිගේ අවංක කැපවීම ඇතැමුන් 19 වැනි සංශෝධනය මගින් අවභාවිත කළා | දිනමිණ

ජනපතිගේ අවංක කැපවීම ඇතැමුන් 19 වැනි සංශෝධනය මගින් අවභාවිත කළා

ස්වර්ණා විජේකෝන්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව සඳහා නිශ්චිත බලතළ පැහැදිලිව සඳහන් කරමින් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. ‍

එහෙත් දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරිමේදී එලෙස කටයුතු කර නොමැති බවත් ඒ හේ‍තුවෙන් රාජ්‍ය පාලනයේදී අර්බුද රැසක් නිර්මාණය වී ඇති බවත් දයාසිරි ජයසේකර මහතා සඳහන් ක‍රයි‍.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ ප්‍රධාන ලියවිල්ල වන අතර එවැනි වූ ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී එකිනෙකාගේ අදහස් ඒ සඳහා ඇතුළත් කිරීම සිදු නොවිය යුතු බවත් දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.

එමෙන්ම ඒකාධිපති බලතළ ගණනා‍වකින් සමන්විත වූ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට සිය බලතළ පවා අඩුකරමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ජනාධිපතිවරයා මැදිහත් වූයේ සද් භාවයෙන් යුතුව වුවත් එම අවංක මැදිහත්වීම අවභාවිත කරන්නට ඇතැමුන් කටයුතු කර ඇති බවත් දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.

දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (26) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා,18, 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජනාධිපතිවරයා සිදුකරන ලද අදහස් දැක්වීම් පිළිබඳව අදහස් දක්වා තිබෙනවා. ඕනෑම රටක ව්‍යවස්ථාවක් සකස් කරන විට අවධානය යොමුකළ යුතු කරුණු රැසක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‍වක් හදන්නේ කවර අරමුණක් වෙනුවෙන්ද , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ව්‍යුහය පිළිබඳව දැක්ම, දේශපාලන සමාජයේ එකඟතා‍, දේශපාලන සමාජයේ ක්‍රියා පටිපාටිය, සිවිල් සමාජයේ දායකත්වය ආදි කරුණු රැසක් කෙරෙහි අවධානය යොමුකළ යුතුයි‍.

18 වැනි ව්‍යවස්ථා සංශෝධන සිදුකිරී‍‍මේදී එයට බරපතළ ලෙස විරුද්ධ වූ කෙනෙක් මම. මම ඒ කාලයේදී සිටියේ එක්සත් ජාතික පක්ෂයේයි‍. ඒ වෙනුවෙන් අපි පෙළපාලි පවා ගියා. ඒ වගේම 18 වන ව්‍යවස්ථා‍ සංශෝධනය තුළ ඒකාධිපති ස්වරූපයක් තිබුණා. ජනාධිපති ධුරය සඳහා දෙවරක් තේරිපත්වූ අයකු හට තවත් අවස්ථා වෙනුවෙන් ඉදිරිපත් වීමේ අවස්ථාව 18 ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ සිදුකළා‍. ඒ වගේම 18 වැනි සංශෝධනය යටතේ කොමිෂන් සභා ක්‍රියාත්මක වූනේ නැහැ. ඒ ආදි කරුණු නිසා තමයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 19 වන ව්‍යවස්ථා සංශෝධනය සිදුකිරිමට එකඟවුනේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපති බලතළ සීමා‍ කිරීමට පවා ජනාධිපතිවරයා එකඟ වුණා‍.

නමුත් ජනාධිපතිවරයා කියන්නේ නීති විශාරදයෙක් නෙවෙයි. එතුමා 19වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදුකිරීම වෙනුවෙන් යොදවපු පිරිසක් සිටියා‍. ඇත්ත‍‍ටම ඒ වෙනුවෙන් කටයුතු කළ පිරිස් කා වෙනුවෙන්ද, කවර අරමුණු වෙනුවෙන්ද වැඩකර තිබෙන්නේ කියන ගැටලුව තිබෙනවා.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පරිශීලනය කරන විට එහි දෝෂ සහගත තැන් විශාල ප්‍රමාණයක් හසුවෙනවා. එක් වගන්තියකින් ජනාධිපතිවරයාට බලතළ ලබාදී තවත් වගන්තියකින් ඒ බලතළ නිශේධනය කර තිබෙනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ අගය කළයුතු සාධනීය ලක්ෂණ තිබෙනවා. විශේෂයෙන්ම කොමිෂන් සභා ඇතිකිරීම යහපත් ප්‍රවණතාවක්. නමුත් අදවන විට එම කොමිෂන් සභා වලින් කීයක් ක්‍රියාත්මක යන ගැටලුව තිබෙනවා.

නව අදහස දක්වන්න