මාදුරුඔය යුද හමුදා විශේෂ බළකා පරිශ්‍රයට වෛද්‍ය මධ්‍යස්ථානයක් | දිනමිණ

මාදුරුඔය යුද හමුදා විශේෂ බළකා පරිශ්‍රයට වෛද්‍ය මධ්‍යස්ථානයක්

මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ විසිර යෑමේ පෙළපාළිය යුද්ධ හමුදාධිපති මෙන්ම විශේෂ බළකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (22) දින පැවැත්වූ අතර එම විසිර යෑමේ පෙළපාළිය සඳහා පැමිණි යුද්ධ හමුදාපතිතුමන් මෙම විශේෂ බළකා පුහුණූ පාසලේ නවතමයෙන් ඉදිකළ වෛද්‍ය මධ්‍යස්ථානය විවෘත කළේය.

කොළඹ යුද්ධ හමුදා රෝහලේ වෛද්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාපති ලබා දුන් මාර්ගෝපදේශ අනුව ඉංජිනේරු සේවා බළකායේ භටපිරිස් එහි ඉදිකිරීම් කටයුතු අවසන් කළහ.

චාරිත්‍රානුකූලව පීත්ත පටිය කැපීමෙන් අනතුරුව මෙම විශේෂ බළකා පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් කාංචන වීරසේකරගේ ආරාධනයකට අනුව වැඩම කළ භික්‍ෂූන් වහන්සේලා ආගමික වතාවත් සිදු කළහ. එසේම, දානපති සේනක රොද්‍රිගෝ මහතා සහ සිය පවුලේ සාමාජිකයන් විශේෂ බළකා භටපිරිස් කළ මේ වටිනා කාර්යභාරය සලකා බැලීමෙන් අනතුරුව නව වෛද්‍ය මධ්‍යස්ථානයට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කෙරිණි.

පසුව උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පරිත්‍යාගශීලීන් එක්ව නව වාට්ටුව, විශ්‍රාම ශාලාව සහ අනෙකුත් ඒකකයන් සමීප පරීක්‍ෂාවකට ලක් කළ අතර එහි අනාගත ව්‍යාපෘතී පිළිබඳ සොයා බැලීය. පසුව, යුද්ධ හමුදාපතිතුමන් යුද්ධ හමුදා විශේෂ බළකා සාමාජිකයන්ට වඩා හොඳ වෛද්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් එම පරිශ්‍රයේ තවත් අංශයක් ඉදිකිරීම සඳහා ද මුල්ගල් තබනු ලැබිය. ඉන් අනතුරුව එතුමන් ඉංජිනේරු සේවා බළකා භටපිරිස් සමඟ සාකච්ඡා කරමින් නව ඉදිකිරීම් අවශ්‍යතාවන් පිළිබඳ සොයා බැලීය. උත්සවය අවසන්වීමට ප්‍රථම යුද්ධ හමුදාපතිතුමන් රෝහලේ උපකරණ සඳහා අනුග්‍රහකත්වය දැක්වූ දානපතියා වූ සේනක රොද්‍රිගෝ මහතා ඇගයීමකට ලක්කරමින් එම අවස්ථාවේ දී සිහිවටනයක් ද පිරිනැමීය.

නව අදහස දක්වන්න