ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ තෙවැනි දිනය අද ජනපති ප්‍රධානත්වයෙන් | දිනමිණ

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ තෙවැනි දිනය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ තෙවැනි දිනය වන අද(26) විශේෂ වැඩසටහන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළොන්නාව රජ මහා විහාරයේ දී පැවැත්වේ. මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ හා රජයේ නිලධාරීන් ,විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සියලු සමාජ කොට්ඨාසයන් නියෝජනය වන පරිදි සංවිධාන කරන මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ පාගමන වැල්ලම්පිටිය, ඔබේසේකරපුර, ගොතටුව, බණ්ඩාරනායකපුර හා මුල්ලේරි‍යාව යන ස්ථානයන්ගෙන් ආරම්භ වී කොළොන්නාව රජමහා විහාරයට පැමිණීමට නියමිතය.

මේ අවස්ථාවට බස්නාහිර ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන් අබේසිංහ මහත්වරුන්ද සහභාගි වෙති.

මතින් නිදහස් රටක් ගොඩනැඟීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක කැර ඇති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් ජූනි 23 වැනි දා සිට ජූලි 1 වැනි දා දක්වා සතිය ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස නම් කැර තිබේ.

එහි දෙවැනි දිනය වන ඊයේ (25) ප්‍රජා සංවිධාන මූලික කරගත් විශේෂ වැඩසටහන් දීප ව්‍යාප්තව සංවිධානය කැර තිබූ අතර එම වැඩසටහන් සඳහා රාජ්‍ය සේවකයින්, පාසල් දරුවන් මෙන් ම පොදු ජනතාවගේ ද පුළුල් සහභාගිත්වයක් දක්නට ලැබිණි.

ප්‍රධාන වැඩසටහන කිළිනොච්චිය සමූපකාර ශාලාවේ දී පැවැත්වුණු අතර මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන, ඉදිරිපත් කිරීම් ඇතුළු අංග රැසකින් එය සමන්විත විය.

යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව දිස්ත්‍රික්වලට සිට රථ පෙළපාලිවලින් පැමිණි පිරිස මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට එක් විය.

උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, කාදර් මස්තාන් යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන්, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු එම අවස්ථාවට එක්ව සිටියහ.

,මම මත්ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරමි, තේමාව යටතේ දැවැන්ත රථ පෙළපාලියක් අද උදෑසන වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසළින් ආරම්භ කැර කිළිනොච්චිය සමූපකාර ශාලාව වෙත පැමිණි අතර ඉන් අනතුරුව එහි පැමිණි පිරිස දැනුවත් කිරීමේ වැඩසටහනට එක් විය.

මේ අතර වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසළින් ද මත්ද්‍රව්‍ය විරෝධි රථ පෙළපාළියක් අද උදෑසන ආරම්භ කෙරුණු අතර වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය එක්ව එය සංවිධානය කැර තිබිණි.

මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව හා එයින් සිදුවන පුද්ගල මෙන්ම සමාජ හානිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පොස්ටර්, කටවුට් ප්‍රදර්ශනය කරමින් ගමන් ගත් රථ පෙළපාළිය කිළිනොචිචිය සමූපකාර ශාලාව වෙත පැමිණියේය.

ඌව පළාත් සභාව සංවිධානය කැර තිබූ විශේෂ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් ඌව පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ඌව පළාත් ආණ්ඩුකාර ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් ඊට එක්ව සිටියහ.

මේ අතර පාසල් ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්ද අත්තනගල්ල, රන්පොකුණගම මහා විද්‍යාලයේ දී පැවැත්වුණු අතර බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එය සංවිධානය කැර තිබිණි.ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ තෙවන දිනය වන හෙට රාජ්‍ය ආයතන සඳහා වූ විශේෂ වැඩසටහන් දීප ව්‍යාප්තව සංවිධානය කැර තිබේ.

නව අදහස දක්වන්න