තවත් ලක්ෂ 2කට අගෝස්තුවේ සමෘද්ධිය | දිනමිණ

තවත් ලක්ෂ 2කට අගෝස්තුවේ සමෘද්ධිය

සිතාරා සේනානි

තවත් ලක්ෂ දෙකකට ලබන අගෝස්තු මාසයේ සමෘද්ධිය ලබා දීමට පියවර ගන්නා බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජේ.සී. අලවතුවල මහතා පවසයි.

මෙහි පළමු අදියර ලෙස ලක්ෂ 6කට සමෘද්ධිය ලබා දීම මේ මස 20 වැනිදා සිදු වූ බවත්, එහි දෙවැනි අදියර ලෙස මෙසේ ලක්ෂ 2කට අලුතින් සමෘද්ධිය ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ඒ මහතා සඳහන් කරයි.

ඒ අනුව ලක්ෂ 6කට අලුතින් සමෘද්ධිය ලබා දීමේ වැඩසටහන යටතේ තමන්ට සාධාරණයක් සිදුවී නැති බව විශ්වාස කරන අයට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කළ හැකි බවද, එම අභියාචනා සලකා බලා සුදුසුකම් ඇති අය සිටී නම් ලබන අගෝස්තු මාසයේ ඔවුන්ට ද දේශපාලන බේදයකින් තොරව සමෘද්ධි හිමිකම ලබා දීමට පියවර ගන්නා බවද රාජ්‍ය ඇමැති ජේ.සී.අලවතුවල මහතා පවසයි.

ලක්ෂ 6කට අලුතින් සමෘද්ධිය ලබා දීමේ වැඩසහටන ක්‍රියාත්මක කෙළේ සුදුසුකම් සපුරා ඇතත් වසර 25ක පමණ කාලයක් පුරා සමෘද්ධි ප්‍රතිලාභය නොලැබී අසාධාරණයට ලක්වූ පිරිසකට බවත්, එහිදි පක්ෂ පාට බේද කිසිවක් සලකා නොබැලූ බවද ඒ මහතා සඳහන් කරයි.

රාජ්‍ය ඇමැති ජේ.සී.අලවතුවල මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවේදී ය.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසිය.

සමෘද්ධි හිමිකම ලබා ගැනීමට නියමිතව තිබූ විශාල පරිසක් සිටියා. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක කළ සමීක්ෂණයේ දී මේ සඳහා ලක්ෂ 8ක පමණ ඉල්ලීම් ලැබී තිබුණා. එයට හේතුව දේශපාලනයට ලක් කර අවුරුදු 25ක් මේ කණ්ඩායම අසාධාරණයට ලක් කර තිබීමයි. ඒ නිසා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය අයවැයේදී මේ රටේ ජනතාවට පොරොන්දුවක් දුන්නා දීර්ඝ කාලයක සිට අසාධාරණයට ලක්ව සිටින පුද්ගයන්ට කිසිදු දේශපාලන පක්ෂපාතීත්වයකින් තොරව සහන ලබා දෙන්න. ඒ අනුව ලක්ෂ 6කට පසුගිය 20 වැනිදා සමෘද්ධිය ලබා දෙන්න අපට හැකියාව ලැබුණා. අපි බලාපොරොත්තු වෙනවා මේ ලක්ෂ 6 තුළත් තමන්ට සමෘද්ධිය නොලැබුණු අය සිටිනවා නම් සාධාරණව ඒ අය ගැනත් පරීක්ෂණයක් කරලා ඔවුන්ටත් ඒ සහනාධාරය ලබා දෙන්න.

නව අදහස දක්වන්න