මත්ද්‍රව්‍ය නිවාරණය සාමූහිකත්වයෙන් ජයග්‍රහණයට | දිනමිණ

මත්ද්‍රව්‍ය නිවාරණය සාමූහිකත්වයෙන් ජයග්‍රහණයට

ධම්මික සෙනෙවිරත්න

අදට යෙදෙන “මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය” තේමා කර ගනිමින් 2019.06‍.23 දින සිට 2019.07.01 දින දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාත්මක කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පිරිස 25% - 30% පමණ වේ. එනම්, අති බහුතරයක් ඒවා ප්‍රතික්ෂේප කරන අය වෙති. එකී බහුතරය එකට එක්වී නැඟී සිටීමට දැන් කාලය එළැඹ තිබේ. මත්ද්‍රව්‍ය භාවිතය අන්තරායක් ඇතිකර තිබෙන බව අවබෝධ කරගත යුතුය.

මතින් නිදහස් රටක් ගොඩනැඟීම අරමුණු කරමින් විශේෂයෙන්ම ආසන්න වසර කිහිපය තුළ වසරකට කිහිප අවස්ථාවක්ම මත්ද්‍රව්‍ය නිවාරණ සති හා වැඩසටහන් දියත් විය. ජුනි 23 - ජූලි 01 මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ද එවැන්නකි. අන්තර් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ දිනයට සමගාමීව එය පැවැත්වේ. මෙම කාල සීමාව තුළ දී පාසල් දරු දැරියන්, තරුණ තරුණියන් මෙන්ම පොදුවේ ජනතාව දැනුවත් කිරීම සිදුවේ. මත්ද්‍රව්‍ය භාවිත කළ නමුත් ඉන් ගැලවීමට අවශ්‍ය කරන අය එය නතර කිරීමෙන් තමන්ට යම් කරදරයක් අසනීපයක් වේද, නීතියෙන් දඬුවම් විඳීමට සිදුවේද වැනි කාරණා ගැන බියෙන් සිටින්නේ නම් විශේෂයෙන් ම ඔවුන් දැනුවත් කර පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා යොමුකිරීම මෙහිදී සිදුවන වැදගත් කාර්යයකි. එවැනි ඕනෑම අයකුට සෑම පළාතකම ආණ්ඩුකාරතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන්වලට සම්බන්ධ වී තමන්ගේ ජීවිත නිවැරදි මාර්ගයට ගැනීමට අවස්ථාව සැලසේ. එවැනි අය පළාත් කමිටු මඟින් ලියාපදිංචි කරන අතර අවශ්‍ය අය ආයතනගතකළ ද අනෙක් අය සමාජයේ සිටියදීම පුනරුත්ථාපනය කිරීමට පියවර ගැනේ.

ඉකුත් පෙබරවාරි මාසයේදීද මෙවැනි වැඩසටහනක් පැවැති අතර සිංහල අලුත් අවුරුද්ද ලබනවිට ම “බක් මහ දිවුරුම” ලෙස තවත් වැඩසටහනක් දියත් විය. සෑම ක්ෂේත්‍රයකම සිටින අය තම තමන්ගේ වගකීම ඉටුකළ යුතු බව පෙන්වාදීමද මෙහිදී සිදුවේ.

මත් ද්‍රව්‍ය නිවාරණ ඒකකය

මෙවැනි සියලු ක්‍රියාමාර්ග ඔස්සේ මේ වනවිට අපට රටක් ලෙස යම් සතුටුදායක මට්ටමකට ළඟාවීමට හැකියාව ලැබී ඇත්තේ වැටලීම් අංශයෙනි. ලංකාව මත්ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානයක් (Hub) බවට සැලැකිණි. එය බිඳදැමීම සඳහා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ මහාපරිමාණ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවිය. මත්ද්‍රව්‍ය වෙළෙන්ඳන් අත්අඩංගුවට ගැනීමට හැකිවිය. භාවිත කරන්නන්ටද එය අවම කරමින් වැට බැඳ ඇත. ඉතිහාසයේ කිසිදිනක මෙතරම් මහාපරිමාණ වශයෙන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් හෝ වැටලීම් සිදුනොවීය. නමුත් ජනාධිපතිතුමාගේ උපදෙස් මත ත්‍රිවිධ හමුදාව, පොලිසිය මහමුහුදේ, ගුවනේ පවා සිදුකළ මෙහෙයුම් මේ තත්ත්වයට ළඟාවීමට බලපෑ‍වේය. මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මඟින් ආරක්ෂක අංශවලට විශේෂ පුහුණුවක් ලබා දී ගම දක්වාම යොමුකර ඇත. කලක් තිස්සේ අප කළ ඉල්ලීමක් මල්ඵල ගැන්වෙමින් පුනරුත්ථාපන කටයුතු සඳහා වෙනම ඒකකයක් ලබාදීමටද ජනාධිපතිතුමාගේ අවධානය යොමුකර අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතී.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට (NDDCB) අනුව මත්ද්‍රව්‍ය භාවිත කරන ලක්ෂයක පමණ පිරිසක් සිටින බව හඳුනාගෙන ඇත. එවැනි පිරිසක් පුනරුත්ථාපනය කිරීමේ හැකියාව නොමැත. බන්ධනාගාර හා පුද්ගලික ආයතන 13ක් දැනට මෙම කාර්යයේ නියැළී සිටී. මීට විසැඳුමක් ලෙස උපදේශක සභාව මඟින් ජනාධිපතිතුමාට යෝජනා කළේ සෑම දිස්ත්‍රික්කයකම 200 බැගින් පුනරුත්ථාපනය කළ හැකි මධ්‍යස්ථාන ආරම්භ කිරීමටය. එක් කණ්ඩායමක් මාස 6 ක් බැගින් පමණ වනසේ පුනරුත්ථාපනය කළහොත් මෙම ලක්ෂයක පිරිස අවුරුදු 3ක් පමණ ගතවනවිට පුනරුත්ථාපනය කර අවසන් කිරීමට හැකියාව ලැබේ.

කනගාටුදායක තත්ත්වයක් නම්, හෙරොයින් භාවිතයට නැඹුරුවන පිරිස අඩුවෙමින් තිබුණද දුම්වැටි හා ගංජා වැනි දෑ සඳහා අහිංසක පාසල් දරුවන් ගොදුරු කරගැනීමේ ජාවාරම්කාරී බලවේග ක්‍රියාත්මක වෙමින් තිබීමය. ඒවා විවිධාකාරයෙන් ජනප්‍රිය කරමින් පවතී. ඉතාමත් කනගාටුදායක වන්නේ පුනරුත්ථාපනයේ දී ඉස්සර නම් හමුවන්නේ වයස අවුරුදු 20 – 22 දරුවන් වුවද දැන් අවුරුදු 16 – 17 දක්වා තරමට එම වයස් කාණ්ඩය පහළ බැස තිබීමය.

අයෝග්‍ය පරිසරය

මේ තත්ත්වය වළක්වා ගැනීම රජයට හෝ නීතියට පමණක් තනිව කළ නොහැකි ය. එය සාමුහික ප්‍රයත්නයකි. දරුවන් හා මව්පියන් ශක්තිමත් කළ හැකි නම් දිනුම් වුවද පවුල තුළ ආධ්‍යාත්මික බවක් ගොඩනඟා ගැනීමට එක්කෝ තාත්තා අකමැතිය. නැතිනම් මව හෝ මේ දෙදෙනාම අකමැතිය. නිවසේ බුද්ධ වන්දනාව පවුලේ සැවොම එක්වී කිරීම වෙනුවට අද මව්පියන් කරන්නේ දරුවන් පමණක් එහි යෙදවීමට වෑයම් කිරීමය. එවිට දරුවන් කල්පනා කරන්නේ ඇයි අපට විතරක් අම්මාට තාත්තාට මෙය අගුණද යනුවෙනි.

අනුගමනය කළ හැකි විවිධ උපක්‍රම දරුවන්ට ඉගැන්වුවද මව්පියන්ගේ සහයෝගය නැතිව ඒවා ක්‍රියාත්මක කළ නොහැකිය. දරුවන්ට ලබාදෙන උපදෙස් ක්‍රියාවට නැංවීමේදීද මව්පිය සහාය අවැසි වේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුවන්ගෙන් දැනගැනීමට ලැබෙන්නේ එම නිවෙස් තුළ ඇති අයෝග්‍ය පරිසරයද ඊට බලපා ඇති බවය. මෙය මව්පියන්ගේ අවධානයට ලක්විය යුතු තත්ත්වයකි.

මත්ද්‍රව්‍ය නිවාරණය යනුවෙන් විශාල ලෙස හඬනැඟීම හෝ කරන කටයුතු ද ඒවා දිරිගැන්වීමට බලපෑ හැකිය. එබැවින් කළ හැකි සරලම මෙන්ම සාර්ථකම වැඩපිළිවෙළ වන්නේ පවුල තුළ දරුවන් හා මව්පියන් සමීපව සාමුහිකව කටයුතු කිරීම ය. සියල්ලන් එක්ව බුද්ධ වන්දනාවේ යෙදීම, සියල්ලන් එක්ව ආහාර ගැනීම වැනි දෑ ප්‍රබල ක්‍රියාමාර්ගය. නිවෙස් තුළ ආධ්‍යාත්මික පරිසරය දියුණු කිරීම ප්‍රබල ක්‍රියාමාර්ගයකි. එය හොඳම නිවාරණයක් ද වේ.

පාසල නිමා වූ පසු දරුවන් නියමිත වේලාවට නිවසට ළඟා වන්නේ ද වැනි කාරණා ගැන මව්පියන් විමසිල්ලෙන් සිටීමද විය යුතුය. ස්මාර්ට් ෆෝන් වැනි උපකරණ දරුවන්ට රැගෙන දීමට ඉක්මන් නොවිය යුතුය. ඒවා නිසි භාවිතයට වඩා අනිසි භාවිතයේ යෙදෙන තත්ත්වයක් ඇති බැවිනි. සමාජ ජාල ඔස්සේ සංවිධාන කළ සාදවලදී මත්ද්‍රව්‍ය භාවිතයට ගත් අවස්ථා කිහිපයක්ම මෑතදී වාර්තා විය. ජාවාරම්කරුවන්ට දරුවන් බිලිබා ගැනීමට ඉඩ නොදිය යුතුය.

චීන දුම්වැටි මෙරටට ගෙන්වීමට ඉඩදීම ගැන වගකිවයුතු ඇමැතිවරයකුම කළ ප්‍රකාශ විනාශයට පාර කැපීමකි. සාරධර්ම විනාශයට රාජ්‍ය මට්ටමින්ම අනුග්‍රහ ලබාදිය යුතු නැත.

මත්පැන්වලින් ලැබෙන ආදායම රාජ්‍ය අය-වැයෙන් ඉවත් කළ යුතු බවට ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබීම අගය කළ යුතුය. ඊට ඉලක්කයක්ද තබාගෙන තිබේ. බාර් ලයිෂන් වැනි දේ නිකුත් කිරීමට සිදුවන්නේ මේ ආදායම නිසා බව එතුමා පැහැදිළි කර තිබිණි. “මතින් නිදහස් රටක්” බිහි කිරීමට නම් එවැනි ක්‍රියාමාර්ග ගත යුතුය. වචනවලට සීමා නොවෙමින් මේ ක්ෂේත්‍රයේ ප්‍රායෝගික පියවර ගනිමින් තිබීම සතුටකි. දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ මත්උවදුරට ගොදුරු වූවන් විශෝධනය හා පුනරුත්ථාපනය කිරීමෙන් අප ලැබූ අත්දැකීම් අනුව කිව යුත්තේ මේ අභියෝගය අප සාමුහිකව ජයගත යුතු බවය. රටක් වශයෙන් අප කාටත් එහිදී කාර්යභාරයක් පැවරී තිබේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පිරිස 25% - 30% පමණ වේ. එනම්, අති බහුතරයක් ඒවා ප්‍රතික්ෂේප කරන අය වෙති. එකී බහුතරය එකට එක්වී නැඟී සිටීමට දැන් කාලය එළැඹ තිබේ. මත්ද්‍රව්‍ය භාවිතය මහජාතියට අන්තරායක් ඇතිකර තිබෙන බව අවබෝධ කරගත යුතුය. එය අනාගත පරම්පරාව සම්බන්ධයෙන්ද බලපාන ගැටලුවක් වී තිබේ. ‍ෙවනත් පාර්ශ්වයක් විසින් මෙහෙයවන ජාවාරමක ගොදුරුබවට පත්විය යුතුද යන්න දැන්වත් සිතා බැලිය යුතුය. මත්ද්‍රව්‍යවලින් මිදීමට මේ එළැඹ ඇත්තේ හොඳම අවස්ථාවය. ඒ සඳහා ඒවාට යොමු නොවූ බහුතරය නැඟී සිටිය යුතුය. නිශ්ශබ්දව සිටින තාක්කල් ගොඩ ඒමක්ද නොමැත.

මේ වෙනුවෙන් ඉදිරියේදී වැඩපිළිවෙළක් ඇති කිරීමට අප සූදානම්ය. එය ක්‍රියාවට නැංවීමේදී දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්ම නියෝජනය වන පරිදි එම බල ප්‍රදේශයේ ඇති රාජ්‍ය නොවන සංවිධාන පෙරට ආ යුතුය. ප්‍රදේශයේ පන්සල්, පල්ලි, කෝවිල්වලට එම මඟපෙන්වීම් කළහැකිය. මළගෙදරක සැරසිලි ආදී කටයුතුවලට එකතුවන පිරිස අවසානයේ කරන්නේ බීමය. දන්සල් දෙන. ඇතැම් අයද දන්සල අවසානයේ කරන්නේ බීමය. තොරණ ඉදිකරන ඇතැම් අයගේ ක්‍රියාකලාපයද එබඳුය.

සෞඛ්‍යය පිරිහීම

ප්‍රදේශයේ ආගමික ස්ථාන, රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ කරගනිමින් ප්‍රාදේශීය ලේකම්වරයාට හෝ වරියට මෙහි නායකත්වය ගැනීමට පුළුවන. ප්‍රදේශයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචිව ඇති බැවින් ඒවා මීට සම්බන්ධ කරගත හැකිය. ක්‍රියාකාරී නොවන සංවිධානවල ලියාපදිංචි අවසන් කළ යුතු ය. පියවරු මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා නිවසේ සිටින මව්වරු සහ දරුවෝ දැඩිව පීඩා විඳිති. දරුවන්ට පාසලෙන් දෙන ගෙදර වැඩ කිරීමට වත් නිදහස් පරිසරයක් නිවසේ නොමැත, එක්කෝ තාත්තා එන්නේ බීමතිනි. නැතිනම් ගෙදර පාටිය. මේ හේතූන් නිසා දරුවන්ට සුවදායක නින්දක් පවා නොලැබේ. එය සෞඛ්‍ය පිරිහීමට හේතුවකි. ගෙදර වැඩ කරගෙන නොයන දරුවෝ පාසලේදී පීඩාවට ලක්වෙති. මේ දරුවන් මෝඩයන් නොවන බව ගුරුභවතුන් වටහාගත යුතුය.ඔවුන් සමඟ කතාබහ කර ගැටලුව හඳුනාගත යුතුය. අද මව්පියන්ටත් වඩා දරුවන්ට ප්‍රශ්න ඇති බව පිළිගැනීමට සිදුවේ. මේ ප්‍රශ්න ගැන කියන්නට, ඒවාට ඇහුම්කන් දෙන්නට කෙනෙක් නැතිවීමද බරපතළ ප්‍රශ්නයකි. පවුලේ වෛද්‍යවරයකු මෙන්ම උපදේශකයකුද සිටිය යුතුය. පවුල් 500කටවත් උපදේශකයකු නැත. පාසල්වලද උපදේශකයන්ගේ විශාල හිඟයක් තිබේ. සිටින අයටද තමන්ගේ කාර්යය කිරීමට නොලැබෙන තරම්ය. ඔවුන්ට කාලය ලැබෙන්නේ අනෙක් ගුරුවරු නොමැතිනම්ය. විදුහල්පතිවරුද මේ කාර්යය නිසිලෙස කරගෙනයාමට නොහැකිවන සේ බලපෑම් කරති.

මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව ගැන දැනටමත් කොතෙකුත් දැනුම්වත් කිරීම් සිදුවී ඇත. දැන් අවශ්‍යව ඇත්තේ ක්‍රියාත්මක වීමය. ටියුෂන් සංස්කෘතිය දහම්පාසල් පද්ධතියට ද බලපෑම් කර ඇත. දහම්පාසලට එන දරු‍වෝද 11.00 – 11.30 වනවිට ඉන් නික්මෙන්නේ ටියුෂන් යාමටය. බොහෝ ටියුෂන් පංතිවල විනය ගැන තැකීමක් නැත. ගුරුවරු වැරැදි දේ හමුවේ පවා නිහඬ වෙමින් ඊට අනුබල දෙන්නේ සිසුන් වැඩිකර ගැනීම වෙනුවෙනි.

සමස්ත සමාජයම මේ දේවල්වලට වගකිවයුතුය. එබැවින් ඊට එරෙහිව සමාජයම එකට එකතුවිය යුතුය. රටේ අනාගතය හා අනාගත පරපුර වෙනුවෙන් පෙරට එන්නැයි සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම රාජ්‍ය නොවන සංවිධාන සමිති සමාගම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෘත්තිකයන් , මේ පිළිබඳ හැඟීමක් ඇති තරුණ, තරුණියන් වගකීම්සහගත සමාජජාල ක්‍රියාකාරීන් ආදී විවිධ පිරිස් වෙතින් අප ඉල්ලීමක් කරමු. ඔබේ ප්‍රතිචාරය www.mithurumithuro.org හෝ [email protected] වෙත දැන්වීමට හැකිය.


නව අදහස දක්වන්න