ගේට්ටු ප්‍රශ්නය! | දිනමිණ

ගේට්ටු ප්‍රශ්නය!

 

දුම්රිය හරස් මාර්ග අනතුරු ඇති කරන ප්‍රචලිත ස්ථානයක් බවට පත් වී ඇත. කෙමෙන් එම අනතුරු ඉහළ ගොස් ඇති බවක් ද දකින්නට ලැබේ. පෙරේදා කිළිනොච්චියේ දී තවත් එබඳු අනතුරක් සිදු වූ අතර සිද්ධියෙන් හමුදා භටයෝ පස්දෙනෙක් මරණයට පත්වූහ. තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ගනිමින් සිටිති. ජලය ප්‍රවාහනය කළ හමුදා වාහනයක් හරස් මාර්ගයේ දී දුම්රියේ ගැටී අනතුර සිදු වී ඇත. මේ ස්ථානයේ ගේට්ටුවක් නැති බව ද ඒ වෙනුවට විදුලි සීනු සහිත ලයිට් පත්තුවන බව ද වාර්තා වෙයි. එහෙත් සිද්ධිය වූ අවස්ථාවේ අදාළ සංඥා පද්ධතිය ක්‍රියා විරහිතව තිබුණේ දැ’යි සැකයක් මතුවී ඇත. පොලිසිය එම සැකය මතු කරන්නේ අනතුරට සම්බන්ධ සාක්ෂි සටහන් නිරීක්ෂණය කරමින් ය.

දුම්රිය මාර්ගය හා සංඥා පද්ධති දිනපතා සෝදිසියට ලක්විය යුතු අතර දෙපාර්තමේන්තුව ඊට අදාළ සේවකයන් ද පත්කර තිබේ. දුම්රිය හරස් මාර්ග සඳහා ගේට්ටු මුරකරු යනුවෙන් සේවකයකු ද පත්කර සිටි අතර දැන් එම ‍සේවය නිසි අයුරින් ඉටුවන බවක් පෙනෙන්නට නැත. මුරකරුවන් ස්ථිර සේවයට අයත් නොවන අතර ඔවුන්ගේ දීමනා සම්බන්ධයෙන් විවිධ ගැටලු මතුවිය. මුරකරුවෝ වැඩ වර්ජන හා විරෝධතා පැවැත්වූහ. එහෙත් ගැටලුවට ස්ථාවර විසැඳුමක් ලැබී නැත. මේ අනුව ඇතැම් දුම්රිය ගේට්ටුවක් අසල මුරකරුවෙක් සිටී. තව ‍ගේට්ටුවක් අසල මුරකරුවෙක් නොසිටී. දුම්රිය හරස්මාර්ග සම්බන්ධයෙන් ස්ථාවර විසැඳුමක් නැතැ’යි කිව හැකි ය. මුරකරුවකු සිටියේ නම්; කිළිනොච්චියේ අනතුර සිදු නොවන්නට ඉඩ තිබිණි යැයි තර්කයක් ද මතු කළ හැකි ය.

දැනට ක්‍රියාත්මක දුම්රිය මාර්ග සංඥා පද්ධති ගැන ද දුම්රිය හරස්-මාර්ග සංඥා පද්ධති ගැන ද සියයට සියයක් විශ්වාසයක් තැබිය නො හැකිය. ගේට්ටු මුරකරුවන් රතු ලේන්සු හා කොළ ලේන්සු රැගෙන විකල්ප සේවාවක නිරත වන ආකාරය වරින්-වර දකින්නට ලැබේ. එහෙත් මුරකරුවකු නැති ගේට්ටුවක දී එවැන්නක් සිදුවීමට ඉඩක් නැත. මුරකරුවන් නැති දුම්රිය හරස් මාර්ග සැලකිය යුතු ප්‍රමාණයක් ඇති බව අපගේ වැටහීම ය. එබඳු ස්ථානවල සංඥා පද්ධතිය ක්‍රියා විරහිත වුවහොත් අනතුරු එකක් නොව; ගණනාවක් ම සිදුවිය හැකි ය. එහෙත් කිසිවකුගේ අවධානය එය කෙරෙහි යොමු වී නැත. අනතුරක් සිදු වූ පසු සංවාද ගොඩනැ‍ඟෙයි. තර්ක - විතර්ක මතුවෙයි. ටික දිනකින් සියල්ල අමතක වී යයි.

දුම්රිය ගේට්ටු සම්බන්ධ ගැටලුවට ප්‍රායෝගික විසැඳුමක් ලබාදුන් පාලකයා හැටියට සැලැකිය හැක්කේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ය. එම විසැඳුම ප්‍රචලිතව ඇත්තේ “උණ බම්බු ගේට්ටු” ලෙස ය. පාසල් දරුදැරියන් පිරිසක රැගත් බස් රථයක් දුම්රිය හරස් මාර්ගයක දී අනතුරට ලක්වීමෙන් පසු ප්‍රේමදාස මහතා “උණබම්බු ගේට්ටු” ක්‍රමය හඳුන්වා දුන්නේ ය. එය සාර්ථක ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වූවා පමණක් නොව; සැලකිය යුතු පිරිසකට ජීවනෝපාය මාර්ගය ද එයින් සැලැසිණි. විරෝධතා තිබුණේ නැත. වර්ජන පැවැතියේ නැත. ගෙවීම් පිළිබඳ ගැටලු මතු වූයේ ද නැත. කාලයක් යන තුරු “උණ බම්බු ගේට්ටු” ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක විය. පසුකාලීනව බලයට පත්වූ නායකයන් ඉහත ක්‍රමය නොසලකා හැරියේ යැයි කිව හැකි ය. ඒ හැර මෙතෙක් කිසිදු ආණ්ඩුවක් ගේට්ටු ප්‍රශ්නයට ස්ථාවර විසඳුමක් ලබා දී නැත. මෙය අවධානයෙන් ගිලිහී ගිය ප්‍රශ්නයක් ලෙස ද හැඳින්විය හැකි ය.

අද කාලයේ හැටියට “උණ බම්බු ගේට්ටු” ක්‍රමය නොගැළපෙනවා යැයි සිතන්නට පුළුවන. උණ බම්බු විසැඳුමක් අවශ්‍ය යැයි කිසිවකු ඉල්ලා සිටින්නේ ද නැත. කළ යුත්තේ ස්ථාවර හා ප්‍රායෝගික විසැඳුමක් ලබාදීම ය. හොඳම විසැඳුම සෑම දුම්රිය හරස් මාර්ගයක් සඳහාම ගුවන් පාලමක් ඉදිකිරීම ය. එහෙත් එවැන්නක් කිරීමට තරම් ආර්ථික ශක්තියක් රටට නැත. සිදුවන්නේ අත්‍යවශ්‍ය ම ස්ථාන සඳහා පමණක් ගුවන් පාලම් ඉදිකිරීම ය. මේ අනුව සිදුවිය යුත්තේ දුම්රිය ගේට්ටු සම්බන්ධයෙන් රටට ඔරොත්තු දෙන ප්‍රායෝගික විසැඳුමක් ලබාදීම ය. මේ ගැන ඇදහස් දක්වන විශේෂඥයන් විවිධ යෝජනා ඉදිරිපත් කර ඇත. කලකට පෙර පාසල් ශිෂ්‍යයෙක් ද එක්තරා විසැඳුමක් යෝජනා කර තිබිණි. එහෙත් දුම්රිය දෙපාර්තමේන්තුව මේ කිසිදු යෝජනාවක් ගැන සාර්ථක ප්‍රතිචාරයක් දක්වා නැති බව පෙනෙයි.

වාහනයක් දුම්රියක ගැටීමෙන් එම වාහනයට මෙන්ම එහි ගමන් කරන අයට ද බරපතළ හානි සිදුවිය හැකි ය. දුම්රියක් ධාවනය වෙමින් තිබිය දී එකවර තිරිංග තදකොට නවත්වා ගැනීම කළ නොහැකි ය. වේගයෙන් ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියක් නම්; තත්ත්වය වඩාත් අසීරු වෙයි. කිළිනොච්චියේ දී අනතුරට ලක් වූ හමුදා රථය ගැටී ඇත්තේ ද යාල් දේවී ශීඝ්‍රගාමී දුම්රියේ ය. එය කොළඹ සිට යාපනය දක්වා ධාවනය වන දුම්රියකි. දුම්රිය රියදුරාට මෙහි වරදක් පැටවිය නො හැකි ය. වරද ඇත්තේ එක්කෝ හරස් මාර්ගයෙහි සංඥාවල ය. නැතහොත් හමුදා වාහනයේ රියදුරාගේ ය. එය පරීක්ෂණවලින් අනතුරුව නිගමනය කළ යුතු කාරණයෙකි.

හරස් මාර්ගවලදී මෙතෙක් සිදුවී ඇති දුම්රිය හා රථවාහන ගැටීම් සම්බන්ධ අනතුරු නිරීක්ෂණය කරන විට පැහැදිලිවන ප්‍රධාන කාරණයක් වන්නේ රථවාහන රියදුරන්ගේ නොසැලකිල්ල අනතුරුවලට ප්‍රධාන හේතුවක් බව ය. අනතුරු සංඥා දැල්වෙද්දී හා සීනුව නාදවෙද්දී හරස් මාර්ගය පසුකර යන රියදුරෝ සිටිති. එම රියදුරන්ට ඇත්තේ පුදුම හදිස්සියකි. දුම්රිය හරස් මාර්ගවල ඇති ගේට්ටු කඩාගෙන රථය ඉදිරියට ධාවනය කරන රියදුරෝ ද සිටිති. මෙබඳු තත්ත්වයක් යටතේ අනතුරු සිදුවීම පුදුමයට කාරණයක් ද නො වේ. කිළිනොච්චියේ දී අනතුරට පත් හමුදාරථය පැදවූ සෙබළා නොසැලකිලිමත් ලෙස රිය පදවන්නට ඇතැ’යි විශ්වාස කළ නොහැකි ය. ඔහු හමුදා විනය යටතේ පාලනය වන රාජ්‍ය සේවකයකු බැවිනි. එසේ නම්; සොයා බැලිය යුත්තේ සංඥා පද්ධතිය ගැන ය.

යුද්ධයක් නැති කාලවකවානුවක රිය අනතුරකින් හමුදා සෙබළුන් පස් දෙනකු මරණයට පත් වීම කනගාටුවට කාරණයකි. මේ සිද්ධිය අපට කියා දෙන වැදගත් පාඩම වන්නේ දුම්රිය හරස් මාර්ග සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළයුතු බව ය. එය නොසලකා හරින්නේ නම්; තවත් මිනිස් ජීවිත හරස් මාර්ගවලට බිලිවිය හැකි ය.

 


නව අදහස දක්වන්න