නවසීලන්තයේ අපරාජිත බව නිමා කළ පාකිස්තානුවෝ බලාපොරොත්තු ඉහළ දමා ගනිති | දිනමිණ

නවසීලන්තයේ අපරාජිත බව නිමා කළ පාකිස්තානුවෝ බලාපොරොත්තු ඉහළ දමා ගනිති

අවසන් කණ්ඩායම් 4 ට සුදුසුකම් ලබා ගැනීමේ නවසීලන්ත ගමන පමා කළ පාකිස්තානුවෝ ඊයේ බර්මින්හැම්හිදී පැවැති ලෝක කුසලාන තරගාවලියේ 33 වැනි තරගයෙන් කඩුලු 6ක ජයක් අත්කර ගත්තේය.

මෙතෙක් පැවැති තරග අතුරින් අපරාජිතව සිටි කණ්ඩායම් දෙකෙන් එකක්වූ නවසීලන්තයට හිමිවූ පළමු පරාජය මෙය වූ අතර මේ ජයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ සිට 6වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට පාකිස්තානයට හැකිවිය. නවසීලන්තය දෙවැනි ස්ථානයේම පසුවෙයි.

නවසීලන්තය පළමු පන්දුවට පහරදෙමින් ලකුණු 237ක් රැස්කළ අතර පාකිස්තානය එම ඉලක්කය පසුකළේ පන්දු 5ක් ඉතිරිව තිබියදී කඩුලු 4ක් පමණක් අහිමිකර ගනිමිනි.

මේ ජයග්‍රහණය පාකිස්තානයට සුවිශේෂි එකක් වන්නේ ඔවුන් ලෝක කුසලානය දිනාගත් 1992 වසරේදීත් මෙවැනි තත්ත්වයකට මුහුණ දී සිටි බැවිනි.

එවරද කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් තරගාවලිය පැවැති අතර සෑම කණ්ඩායමක් අනෙක් කණ්ඩායම් 9 සමගින් තරග වැදිණි. ඉන් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවූ කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුමක් ලැබීය.

ඊයේ තරගය ආරම්භ වනවිට නවසීලන්තය තරග 6කදී අපරාජිතව සිටි අතර පාකිස්තානය තරග හයෙන් 2ක් ජයගෙන පරාජය 3ක් සහ වැස්සෙන් සේදී ගිය තරගයක් සමගින් 7 වැනි තරගයට එක්විය.

1992 දීත්, මෙලෙසින්ම පාකිස්තානය තරග 6කට ක්‍රීඩා කර තිබූ අතර 7 වැනි තරගය ජය ගනිමින් ලෝක ශූරයන් ලෙස තරගාවලිය නිමා කළේය. 1992 මෙන්ම මෙවරත් පළමු තරගය පරාජයවූ පාකිස්තානය දෙවැනි තරගය ජය ගත්තේය. තෙවැනි තරගය වැස්සට සේදුණු අතර සිවුවැනි සහ පස්වැනි තරගය පරාජයට පත්විය. 6 වැනි තරගය ජයගත් ඔවුන් නවසීලන්තය හමුවේ 7 වැනි තරගයෙන්ද ජය හිමිකර ගත්තේය.

ලකුණු 238ක ඉලක්කය හඹායෑම ඇරැඹු පාකිස්තාන ඉනිමේ ආරම්භක පිතිකරු යුගලය ලකුණු 44ක් තුළ පිටියෙන් ඉවත් කිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වුවත් අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි බාබර් අසාම් පන්දු 127කින් නොදැවී ලකුණු 101ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

හතරේ පහර 11කින් ඉනිම වර්ණවත් කරගත් අසාම් ඊයේ වාර්තා කළේ 10 වැනි ශතකයයි. ඔහුට අනගි සහයක් ලබාදුන් හාරිස් සෙහේල් 12 වැනි එක්දින අර්ධ ශතකය ලෙස ලකුණු 68ක් රැස් කළේ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 76කිනි. දෙදෙනා අතර සිවුවැනි කඩුල්ලට පන්දු 141කින් ගොඩනැගු සබඳතාව ලකුණු 126කි.

මොහම්මඩ් හෆීස් සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 66ක් එක් කිරීමටද හෆීස් සමත් විය. ලකුණු 32ක් රැස්කළ හෆීස්, කේන් විලියම්සන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ මුළු ලකුණු 110දීය.

ලකුණු 83කට කඩුලු 5ක් අහිමි කරගනිමින් තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය අසීරු තත්ත්වයකට පත්ව තිබියදී පිටියේ එක්වූ ජෙම්ස් නීෂම් සහ කොලින් ඩි ග්‍රැන්ඩෝම් 6 වැනි කඩුල්ලට පන්දු 128කින් ලකුණු 132 සබඳතාවක් ගොඩනගනමින් ලකුණු පුවරුව 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යෑමට සමත් වූහ.

අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිස ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැදි සිටි නීෂම් මංගල එක්දින ශතකය පෙනි පෙනී තිබියදී ඉනිම නිමාකර ගත්තේ ලකුණු 97කටය. මිනිත්තු 158කදී පන්දු 112ක් වැයවූ ඔහුගේ ඉනිම හතරේ පහර 5කින් සහ හයේ පහර 3කින් වර්ණවත් විය. නීෂම් ඊයේ වාර්තා කළේ 6 වැනි එක්දින අර්ධ ශතකයයි.

ඉනිමේ 48 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවෙන් නීෂම්-ග්‍රැන්ඩෝම් සබඳතාව බිඳ වැටුණේ ග්‍රැන්ඩෝම් දුවද්දි දැවී යෑමට හසුවීමෙනි. තෙවැනි එක්දින අර්ධ ශතකය රැස්කළ ග්‍රැන්ඩෝම් දැවී යනවිට පන්දු 71කින් ලකුණු 64ක් ලබා සිටියේ හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමගිනි.

ඉන් පෙර නීෂම් සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 37ක් එක් කරමින් සිටියදී නායක කේන් විලියම්සන්ගේ ඉනිම නිමා කිරීමට ෂදාබ් ඛාන්ට හැකිවිය. ලකුණු 46කට කඩුලු 4ක් දැවී තිබියදී ඉනිම ගොඩනැගීමට උත්සහ කළ විලියම්සන් පන්දු 69කින් ලකුණු 41ක් රැස් කළේ හතරේ පහර 4ක් සමගිනි.

මාටින් ගප්ටිල් (5) ඉනිමේ පළමු කඩුල්ල ලෙස මොහොමඩ් අමීර් හමුවේ දැවී ගිය අතර කොලින් මුන්රෝ (12), රොස් ටේලර් (3) සහ ටොම් ලේතම් (1) දවා ගනිමින් නවසීලන්ත ඉනිමේ මුල් පෙළ බිඳ දැමීමට ශාහීන් අෆ්රිඩි සමත් විය. දක්ෂ පන්දු යැවීමක නිරතවූ ඔහු ඕවර 10කදී කඩුලු 3ක් දවා ගත්තේ නිලකුණු ඕවර 3ක් ද සමගින් ලකුණු 28ක් පමණක් ලබා දෙමිනි.

පාකිස්තානය සහභාගීවන මීළඟ තරගය 29 වැනිදා ඇෆ්ගනිස්තානය සමගින් පැවැත්වේ.


නව අදහස දක්වන්න