රටේ යහපාලනයටත් ආණ්ඩුවේ ස්ථාවරත්වයටත් මාස හතරකින් හෝ පහකින් පැවැත්වෙන ජනපතිවරණයට පෙර හෝ ඉන් පසුව තේරී පත්වන ජනපතිවරයා කවරෙක් වුවත් ඉටු කළ යුතු ප්රමුඛ මෙන්ම ප්‍රධානම කාර්යය වන්නේ 18 වැනි මෙන්ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අහෝසි කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26 වැනිදා) පෙරවරුවේ ජනාධිපති නිල මැදුරේ පැවැති මාධ්‍ය ආයතන ප්‍රධානීන් පුවත්පත් කතුවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් හමුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ය.
පසුගිය සතියේ තමන් විසින් ප්‍රකාශ කළ 18 සහ 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් මගින් මේ රට විනාශ කළා යන්නට මාධ්‍ය හරහා විවිධ විවේචන එල්ල වී තිබුණද තමන් අදත් පැහැදිලිවම කියා සිටින්නේ 18 වැනි ව්‍යවස්ථාව රාජාණ්ඩු ක්‍රමයක් වූ අතර 19 වැනි ව්‍යවස්ථාව යහපාලනයකට මුල් කරගත් සංකල්පය මත පදනම්ව සැකසුමක් කීවද එය රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් බිහි කළ ක්‍රමයක් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.
2015 වසරේ ආණ්ඩු වෙනසකට බලපෑ 18 වැනි ව්‍යවස්ථාව අහෝසි කර 19 වැනි ව්‍යවස්ථාව බලාත්මක කරන අපේක්ෂාවෙන් යහපාලනය මත පදනම්ව ආණ්ඩුව පිහිටවූ බවත් එම ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225 දෙනාගෙන් 215 ක් ම ඡන්දය ලබාදෙමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ලබාගැනීමට තමන් මහත් කැපවීමක් කළ බවත් එක්සත් ජාතික පක්ෂය, මහින්ද රාජපක්ෂ මෙන්ම විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සියලු දෙනාම ඡන්දය දුන් බවත් පෙන්වා දුන්නේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් මම අත ඉස්සුවා. 19 වැනි ව්‍යවස්ථාව වෙනුවෙන් විශාල කැපවීමක් කළා. එහෙත් ඉන් ඇති වුණේ දේශපාලන අස්ථාවරයක්. එම ව්‍යවස්ථාව කෙටුම්පත් කර ඇත්තේ ජනාධිපතිවරයාට බලතල කොටසකුත් පාර්ලිමේන්තුවට බලතල කොටසකුත් බාරදෙන ලෙසටයි. එහෙත් එහි යම් යම් ගැටලු නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට සිදු වුණා. එහිදී බොහෝ කරුණු ප්‍රතික්ෂේප වුණා. ඒ අනුව ව්‍යවස්ථාව කෙටුම්පත් කළ අය බලාපොරොත්තු වූ දේවල් අසාර්ථක වුණා. රටට ශාපයක් වූ මේ ව්‍යවස්ථාව කෙටුම්පත් කර ඇත්තේ කිසිවක් නොදන්නා එන්.ජී.ඕ. පිරිසක්. ඒ නිසා රනිල්, මහින්ද, ජ.වි.පෙ. සම්බන්ධන් මහත්වරු එක්ව මේ 19 ව්‍යවස්ථාව අහෝසි කරන්න ක්‍රියා කළොත් 2020 දී රටට හොඳ කාලයක් උදාවේවි. නැතිනම් රට වැටෙනවා.
මාධ්‍යවල තමන් ජනමත විචාරණයක් පැවැත්වීමට යන බවට විශාල ප්‍රචාරයක් දී තිබූ බවත් එවැන්නක් තමන් කිසිම දිනක කිසිම අවස්ථාවක ප්‍රකාශ කර නැති සම්පූර්ණ අසත්‍යයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
මාධ්‍ය හරහා තවත් විශාල ප්‍රචාරයක් තමන්ගේ විදේශ සංචාර සම්බන්ධව ලබා දී ඇතැයි පැවසූ ජනාධිපතිවරයා එම ප්‍රචාර හරහා තමන්ගේ සංචාර සඳහා විශාල වශයෙන් පිරිස් සහභාගි කර ගන්නේ යැයි පෙන්වා දී ඇතැයිද එහෙත් තමන් සිය සංචාරයන් සඳහා සහභාගී කර ගත්තේ උපරිම වශයෙන් දස දෙනකුගේ පිරිසක් යැයිද පසුගිය තජිකිස්ථාන සංචාරය සඳහා සහභාගි කර ගන්නේ ආණ්ඩුකාරවරුන් දෙදෙනකු සහා මන්ත්‍රීවරයකු පමණක් යැයි එසේ තමන් සහභාගී වූ සෑම සංචාරයකින්ම රටට යමක් ලබා ගත්තේ යැයි ද අවධාරණය කළේ ය.
නව අදහස දක්වන්න