එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන් මඟ | දිනමිණ

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන් මඟ

ප්‍රසන්න ශමල් සෙන­රත් එක්සත් ජාතික පක්ෂ මූල­ස්ථා­නයේ ප්‍රධාන විධා­යක නිල­ධාරි

එක්සත් ජාතික පක්ෂයේ දිගු කාලීන කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ප්‍රසන්න ශමල් සෙනරත් මහතා පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරිවරයාය. වයඹ පළාත් සභාවේ 1993 වසරේ සිට මේ දක්වා තුන් වරක්ම විපක්ෂනායකවරයා වන ඒ මහතා දඹදෙණිය ආසන‍යේ එජාප සංවිධායක හා කුරුණෑගල ආසනයේ එජාප සංවිධායක ලෙස (2013) කටයුතු කර ඇත. කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු ‍වන ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍යයෙකි. මේ ඔහු සමඟ කළ සංවාදයකි.

* මේ වන විට රට හමුවේ දේශපාලන කරළියේ පැන නැඟී ඇති උණුසුම්කාරී විවිධ ගැටලුසහගත තත්ත්වයන් තුළ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ සහ රජයේ ඉදිරි ගමන් මඟ පිළිබඳ පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරි වශයෙන් ඔබට කිව හැක්කේ කුමක්ද?

2015 ජනවාරි 8වැනි දා පැවැති ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක වශයෙන් වත්මන් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ අප පෙරමුණ විසින් ලබා දුන් බහුතර බලයෙන් තෝරා පත්කර ගැනීමෙන් ඉක්බිතිව යහපාලන රජය බිහිවී අග්‍රාමාත්‍ය ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමෙන් පසු දින 100 සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරමින් ජනතාවට සහන රැසක්ම ලබා දුන්නා. ඒ වන විට ලෝකය හමුවේ අපේ රට ගැන පැන නැඟී තිබූ දුර්මත රාශියක් විසඳාගෙන ලෝක නායකයන්ගේ විශ්වාසය හා හොඳ හිත දිනාගෙන විශාල වශයෙන් ආධාර උපකාර ලබමින් යෝධ සංවර්ධන වැඩපිළිවෙළක් අග්‍රාමාත්‍යවරයා ක්‍රියාත්මක කළා.

මෙසේ රටත් සමඟ ඉදිරියට යමින් සිටිය දී පසුගිය වසරේ ඔක්තෝබර් 26 දා යහපාලන රජයේ එකඟතාවන් මුලිනුපුටා දමා ව්‍යවස්ථා විරෝධීව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබා දී ආණ්ඩු පෙරළියක් සිදුකොට දින 52ක් ගතවීමෙන් පසු අධිකරණයෙන් ලද සාධාරණ තීන්දුව ප්‍රකාර රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට නැවතත් පත්වී එක්සත් ජාතික පක්ෂ පෙරමුණ රජයක් ලෙස මේ දක්වා කටයුතු කරගෙන යනවා.

* අප්‍රේල් 21වැනිදා පාස්කු ඉරිදා දින අයි. එස්. අයි. එස්. (ISIS) ත්‍රස්ත ප්‍රහාරය තවත් දේශපාලන කැළඹීමකට හේතු වී තිබෙන අයුරු පෙනී යනවා. විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ගැටුමකට වඩා දේශපාලනීකරණය වූ ගැටුම්කාරී තත්ත්වයක් තුළ ලබන දෙසැම්බරයට පෙර ජනාධිපතිවරණය, මහ මැතිවරණය හෝ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට තිබිය දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ පෙරමුණ මේවාට සාර්ථකව මුහුණදීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙළ ගැන ජනතාවට කිව හැක්කේ කුමක්ද?

එක්සත් ජාතික පක්ෂය වසර හැත්තෑ එකක් (71) පුරා විරුද්ධ පක්ෂවල ප්‍රධාන ඉලක්කය කරා ගෙන තිබෙන බව කවුරුත් දන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ සහ සෙසු සුළු පක්ෂ හා සංවිධාන එක්සත් ජාතික පක්ෂය දරුණු ලෙස විවේචනයට ලක් කළත් ආණ්ඩු බලයෙන් වැඩිම කාලයක් රට පාලනය කිරීමේ වගකීම බුද්ධිමත් ජනතාව එක්සත් ජාතික පක්ෂයට ලබා දී ඇති අන්දම අප සිහිපත් කළ යුතුයි. මේ අනුව අපගේ ඉදිරි සැලසුම් සහ ප්‍රවර්ධන කටයුතු ඉතා සාර්ථකව ක්‍රියාත්මක කර ගෙන යනවා.

2020 ඉදිරි මැතිවරණවලට විජයග්‍රාහීව මුහුණදීමට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් සියලු දේශපාලන පක්ෂවල ප්‍රගතිශීලී කණ්ඩායම් එක්කර ගෙන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණක් වශයෙන් තරග කිරීමට බලාපොරොත්තු වෙනවා. සිරිකොත ගමට වැඩසටහන පසුගිය මාර්තු මස 10වැනිදා කළුතරින් ආරම්භ කළා. එහි දී විශාල සාමාජික පිරිසක් පක්ෂයට එක්කර ගැනීමට අපට හැකි වුණා. එසේම සෑම ග්‍රාම නිලධාරි වසමකටම රටේ ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කරපු යුගය මේ වර්තමාන යුගයයි. එසේ කරන්නේත් මහින්ද ආණ්ඩුව ශ්‍රී ලංකාවට ලොකුම ණය බර දායාද කරපු මොහොතක, එජාප ප්‍රවර්ධන හා සංවර්ධන වැඩසටහන දීප ව්‍යාප්තව දිස්ත්‍රික් මට්ටමින් පවත්වා ඉතා ඉක්මනින් අවසන් කරන අතර, බහුතර ඡන්ද දායකයන් පිරිසක් මේ පෙරමුණ වටා ඒකරාශී කර ගැනීම අපේක්ෂාවයි. පක්ෂයේ මහලේකම් අධ්‍යාපන ඇමැති නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් පළාත් හා දිස්ත්‍රික් මට්ටමේ සංවිධාන හා බලමුළු ශක්තිමත් කරමින් එම කටයුතු කෙරීගෙන යනවා.

විශේෂයෙන්ම පන්ලක්ෂයකටත් වැඩි ආධුනික ඡන්ද දායක දායිකාවන් අප පක්ෂය වටා ඒකරාශී කර ගැනීමේ පුළුල් වැඩසටහනක් ද මේ වැඩසටහනට ඇතුළත්වීම විශේෂත්වයකි. මේ සියල්ල මේ ආකාරයෙන් සාර්ථකව සිදුවන විට අපගේ මූලික ඉලක්කය වන්නේ 2020 දී නියත වශයෙන්ම රාජ්‍ය නායකත්වය සහිත එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ආණ්ඩුවක් පිහිටුවීමයි.

ශ්‍රී ලංකා දේශපාලනය තුළ එක්සත් ජාතික පක්ෂය තරම් අභියෝගවලට මුහුණ දුන් සහ ඒවා සාර්ථකව ජය ගත් තවත් දේශපාලන පක්ෂයක් ඇතැයි අපට විශ්වාස කළ නොහැක.

*ඔය කියන දේශපාලන අභියෝග කිහිපයක් මතක් කර දිය හැකිද?

ඔව්. එක්සත් ජාතික පක්ෂය බිහි වුණේ 1947 වර්ෂයේ. නිර්මාතෘවරයා මහමාන්‍ය ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන්, ඉනික්බිතිව බිහි වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවලට විශාල ගැටලුවලට මුහුණපෑමට සිදු වූයේ 1977න් පසුවයි. බලයට පත් වූ වහාම 1978 නොවැම්බර් 23 වැනිදා මඩකළපුව හරහා හමාගිය සුළි සුළඟින් දිස්ත්‍රික්ක ගණනාවක් විනාශ වුණා. ඒ සියල්ල යථා තත්ත්වයට ගෙන පත් කරන්නට අප රජයට හැකි වුණා. ජනාධිපති අරමුදල ගොඩනැ‍ඟුණේ මෙන්න මේ කාරණය නිසයි.

1986 අප්‍රේල් 20 වැනි දා කන්තලේ වැව් බැම්ම කඩාගෙන යෑමෙන් නිවාස 1600ක් විනාශ වී ජීවිත 176ක් පමණ නැති වුණා. අපි ඊටත් මුහුණ දුන්නා. 6/5ක ජනවරමකින් බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ රජය පෙරළා දැමීමට 1980 මහා වැඩවර්ජනයක් විපක්ෂය දියත් කළා. අපි ඉන් සැලුණේ නැහැ. අපි එය විජයග්‍රහණය කළා.

ඉන් පසු විපක්ෂය කළු ජූලිය ආරම්භ කළා. මහජන දේපළ විනාශ කළා. මිනිස් ජීවිත විනාශ කළා. මැලිබන් කිරිපිටි කම්හල ගිනි තබා විනාශ කළා. අද අපේ රජයට විශ්වාසභංග යෝජනා ගෙනෙන ජනතා විමුක්ති පෙරමුණට දැන් මේවා මතක ද දන්නේ නැහැ.

* 1987, 1988 සහ 1989 යුගයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කළ විනාශකාරී ක්‍රියාවන් කිසිවිටෙකත් අමතක කළ නොහැක. එක්සත් ජාතික පක්ෂයේ නායකකාරකාදීන් රැසක් ජීවිතක්ෂයට පත් කළ ත්‍රස්තවාදය කොපමණ බරපතළ අභියෝගයක් වුණාද?

මෙවන් භීෂණකාරී දේශපාලන පසුබිමක් තුළ 1987 ජනාධිපතිවරණයෙන් අපේ පක්ෂයේ ආර්. ප්‍රේමදාස මහතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා. ඉන් පසු දේශපාලනික මතභේදයක් නිසා ලලිත් ඇතුලත්මුදලි මහතා සහ ගාමිණී දිසානායක මහතා පක්ෂය හැර ගොස් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවාගෙන රාජාලියා ලකුණෙන් මැතිවරණවලට ඉදිරිපත් වුණා. එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ ලක්ෂ 10ක පමණ ඡන්දදායකයන් අපට අහිමි වුණා. එහෙත් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව ජයග්‍රාහීව ඉදිරියටම ගියා.

වර්තමාන රජය ද බලයට පත් වූ වහාම අරණායක නාය ගියා. (මහින්දලා ගොඩනඟපු) මීතොටමුල්ල කුණු කන්ද නාය ගියා. සාලාව හමුදා කඳවුරක් කිසි දිනක නගරාසන්නව ඉදි කරන්නේ නැහැ. සාලාව යුද හමුදා කඳවුර පිපිරී ගියා. ගංවතුරෙන් විනාශයන් වුණා. නියඟයෙන් විනාශයන් වුණා‍‍. මීරියබැද්ද කඳුයාය නාය ගියා. හමුදා කඳවුරු ඉදි කිරීමට ඒ සඳහා පවතින සම්ප්‍රදායක් තියෙනවා. ජනාකීර්ණ ප්‍රදේශයේ ඉදි කරන්නේ නැහැ. නමුත් ගෝඨාභය රාජපක්ෂ අවි ගබඩාවක් නගරාසන්නව ජනාකීර්ණ ප්‍රදේශයක හිතුවක්කාර ලෙස ඉදිකරපු එකේ ප්‍රතිවිපාක භුක්ති විඳිනවා. මේ සියල්ලටම වන්දි ගෙවුවා. ‍එකක්වත් මඟහැරියේ නැහැ. ඒ අභියෝග සියල්ල ජය ගත්තා. අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ද අපි හරියට මුහුණ දුන්නා.

අපේ රටේ ජේ. වී. පී. ත්‍රස්තවාදය වසර 3ක්, 3 1/2 ක් ගෙවී ගියා, රටම ආර්ථික වශයෙන් ස්ථාවර කළා. සරසවි වසර 2ක් වසා දැම්මා. එජා පාක්ෂිකයන් යූ. එන්. පී. වූ නිසාම මරණයට පත් වුණා. අපි ඒ අභියෝගයටත් මුහුණ දුන්නා.

කොටි ත්‍රස්තවාදයත් වසර 30ක් ගත කළා. ඒ නමුත් පාස්කු ඉරිදා ජාත්‍යන්තර සංවිධානයක් මඟින් ලොව පුරා ත්‍රස්තවාදීන් මෙහෙයවන කණ්ඩායමක් විසින් අහිංසක මිනිසුන් මරා දැම්මා. අගමැතිවරයා පොලිසියට හා හමුදාවට නිසි උපදෙස් ලබා දී ඉතා අඩු කාලයකින් එනම් මාසයකින් ප්‍රශ්නය නිරාකරණය කළා.

නැති බැරි අය ඇති හැකි අය කළ වැඩසටහන යටතේ මහා ජන සේනාවක් තමා වටා රොද බැඳගත් ජනනායක ආර්. ප්‍රේමදාස මහතා ජාතියට අහිමි වූයේ 1993 මැයි 01 දාය. ඉන් පසු ජනාධිපතිවරණයක් නොපවත්වා ඩී. බී. විජේතුංග ජනාධිපතිවරයා මහ මැතිවරණය කැඳවා ඒ වන විට බස්නාහිර මහ ඇමැතිනිය ලෙස සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට අග්‍රාමාත්‍යවරියවීමට ඉඩ සලසා තිබුණා.

1994 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ගාමිණී දිසානායක මහතා ඇතුළු එජාපයේ නායකයන් 17ක් තොටලඟ රැලියේ දී එල්. ටී. ටී. ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වුණා. මේ අවාසනාවන්ත සිදුවීමෙන් එජාප මහ ලේකම් වෛද්‍ය ගාමිණී විජේසේකර, ජී. එම්. ප්‍රේමචන්ද්‍ර, වීරසිංහ මල්ලිමාරච්චි වැනි ජ්‍යෙෂ්ඨතම නායකයන් අපට අහිමිවීම පක්ෂයට බරපතළ පාඩුවක්ම වුණා.

පාර්ලිමේන්තුවේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමාට තමන්ගේ බුද්ධි අංශයෙන් ආරක්ෂක අංශයෙන් ලැබුණ යැයි කියපු ආරංචියක් මඟින් රටේ පාසල්වල දරුවන්ගේ ජීවිත නැති කරන්න සූදානමක් තිබෙනවා යැයි ප්‍රකාශ කිරීමෙන් පාසල් යන දරුවන්ගේ මවුපියන් එදින දරුවන් පාසල් යැවීමෙන් වැළකුණා. එය ආණ්ඩු පක්ෂය හා අග්‍රාමාත්‍යවරයාගේ හා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා එය ශ්‍රී ලංකාවේ පාසල්වල අධ්‍යාපනය කඩාකප්පල්කාරී ලෙස අඩපණ කරන ප්‍රකාශයක් බව සඳහන් කළා. ඒ කඩාකප්පල්කාරී වැඩසටහන් රජයේ කාර්යාල මඟින් ක්‍රියාත්මක කරන්නට ප්‍රවාහන සේවාවල ක්‍රියාත්මක කරන්නටත් විපක්ෂයේ දේශපාලකයන් ඉතා පහත් උත්සාහයක යෙදුණත් හරියට මාසයක් යන්නටත් මත්තෙන් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කළා. අභියෝග ජය ගත්තා.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී දැන් රටේ වැඩි දෙනාගේ කතාබහට ලක්වී ඇත්තේ 2020 ජනාධිපතිවරණයයි. යළිත් රාජපක්ෂ පවුල ඉදිරිපත් වී සිටින අතර, ඔවුන්ගේ අපේක්ෂකයා ද ප්‍රකාශයට පත්කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රාජපක්ෂ පවුලේ පක්ෂයයි. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සහ පක්ෂ නායකයා තෝරා ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයටයි.

ලබන දෙසැම්බරයට පෙර පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට ‘සිරිකොත වැඩ අරඹයි‘ යන තේමාව යටතේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය බලගැන්වීම මේ සතියේ සිට ආරම්භ කර ඇත. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් සිරිකොත පක්ෂ මූලස්ථානය ‘සිරිකොත වැඩ අරඹයි‘ වැඩසටහන මුළුමනින්ම ක්‍රියාත්මක කරයි. පක්ෂයේ ප්‍රබලයන් බොහෝ පිරිසක් සම්බන්ධ වී වැඩ කරනු ඇත. 2020 ජනවාරි මාසය උදාවන විට ජනාධිපති පුටුවේ එක්සත් ජාතික පෙරමුණේ නායකයකු සිටින අතර, එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල රජයක් රටේ පාලනයේ යෙදෙන බව ඉර හඳ මෙන් විශ්වාසයි.

සංවාද සටහන
චන්ද්‍රසිරි වැලිගමගේ

නව අදහස දක්වන්න