ලෝක නෙට්බෝල් ශූරතාවලියට තව දින 11යි | දිනමිණ

ලෝක නෙට්බෝල් ශූරතාවලියට තව දින 11යි

දශකයක් පුරා ජය කෙහෙළි නංවන දර්ශිකා

එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා පිලේ පළපුරුදු ක්‍රීඩිකා දර්ශිකා අබේවික්‍රම පිළිබඳ හැදින්වීමක් මේ..

සෙන්ටිමීටර 188ක පමණ උසකින් යුතු ඇය 2009 වසරේ සිට ජාත්‍යන්තර තරග 54කදී පමණ ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර 2018 ආසියානු ශූරතාව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායිකාව වූවාය. ඇය ශ්‍රී ලංකාව සතු ද්විත්ව ආසියානු නෙට්බෝල් ශූරියකි.

ප්‍රශ්නය: ජාතික කණ්ඩායමට ශක්තියක් වෙන ඔබේ කුසලතා මොනවාද?

පිළිතුර: මම කණ්ඩායමට දායක ‍වෙන්නේ රකින්නිය (Goal Keeper) සහ විදින්නිය (Goal Shooter) ලෙස. තරගයකදී රකින්නිය තමයි විදින්නියගේ ප්‍රතිවාදියා වෙන්නේ. ඒ ස්ථාන දෙකේම ක්‍රීඩා කරන නිසා මම දන්නවා‍ ගෝල රකින්නිය කොහොමද ක්‍රීඩා කරන්නේ කියලා. ‍ඒක ලොකු වාසියක් විදින්නිය වශයෙන් ක්‍රීඩා කරන කොට ඒ වගේම තමා විදින්නියකගේ ක්‍රීඩා විලාසය ගැනත් හොඳ අවබෝධයක් මට තිබෙනවා. ඒ අවබෝධය උදව් වෙනවා විදින්නියගේ ක්‍රීඩා ඉරියව් පූර්ව අපේක්ෂා කරන්නටත් ඇයව හොඳින් රකින්නටත්. ඒ ඒ අවස්ථාවේ දී කණ්ඩායමට රැකීමේදී හෝ ආක්‍රමණය කිරීමේදී දායකත්වය දෙන්න මට හැකියාව තිබෙනවා

ප්‍රශ්නය: ඔබ ජාතික සංචිතයේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක්. ඔබ දකින හැටියට සාර්ථක ක්‍රීඩිකාවක් වීමේ රහස කුමක්ද?

පිළිතුර: සාර්ථක ක්‍රීඩිකාවක් වෙන්න නම් කායික, මානසික, අධ්‍යාත්මික සහ සාමාජයීය වශයෙන් සමබර වෙන්න ඕනි. ක්‍රීඩා කෞෂල්‍යය විතරක්ම තිබුණට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපිට සාර්ථක වෙන්න හොඳ පුහුණුවක් අත්‍යවශ්‍යයි. ක්‍රීඩාව කියන්නේ යහපත් සමාජ සබඳතා ගොඩනඟන තැනක්. හුදෙකලාව ඒ ගමන යනවට වඩා හොඳ සමාජ සබඳතා තියෙනවා නම් ඒක වටිනවා. ඇත්තටම ක්‍රීඩිකාවක් වශයෙන් ක්‍රීඩා පිටිය තුළදී සාර්ථක වෙන්න වගේම සාමාන්‍ය පුද්ගලයෙක් වශයෙන් එදිනෙදා ජීවිතය සාර්ථක කරගන්නත් මේ සාධක අත්‍යවශ්‍යයි.

ප්‍රශ්නය: වෘත්තීයමය ක්‍රීඩිකාවක් වශයෙන් ඔබ සාර්ථකව මුහුණ දුන් ලොකුම අභියෝගය කුමක්ද?

පිළිතුර: 2012 දී මම ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවක්. ලෝක ශූරතාවලියට සතියක් තියෙද්දී ආබාධයක් ඇතිවෙනවා. හරියට සුව වෙන්න මාස 12ක් වත් ගත වෙනවා. මට මගේ පළවෙනි ලෝක ශූරතාවලිය මඟ හැරුණා. ප්‍රබල අධිෂ්ඨානයක් ඇති කරගත්තා මම ආපහු ඉක්මණින්ම ක්‍රීඩාවට එනවා කියලා. අවුරුද්දක් ඇතුළත මා ආපසු සාර්ථක ලෙස නෙට්බෝල් වලට අවතීර්ණ වුණා. එතැන් පටන් මේ වෙන කල් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරනවා.

ප්‍රශ්නය: ඔබ ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර තරඟ පිළිබඳ මතක් කරනවා නම්?

පිළිතුර: මම මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ 2009 ආසියානු ශූරතාවයට. අපි එම වර්ෂයේ ශූරතාවය දිනා ගත්තා. ඒක මට හොඳ අඩිතාලමක් වුණා. 2011 ආබාධයට ලක් වුණාට පසුව මට පුළුවන් වුණා නැවත සාර්ථක නෙට්බෝල් වලට අවතීර් වුණා. ඊට පස්සේ මම මුලින්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළේ 2013 දී Nation Cup ශූරතාවලියට. එතැන් පටන් හොඳ ස්ථාවරයක් ගොඩනගා ගන්න පුළුවන් වුණා. 2014 වර්ෂයේදී Tri Nation තරඟාවලියේදී ජාතික කණ්ඩායමට උප නායිකාව විදියට දායක වුණා. 2015 ලෝක කුසලානයේදී 2016 ආසියානු ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළා. 2016 දී නැවතත් උප නායිකාව වශයෙන් කණ්ඩායමට සහය වෙන්න හැකි වුණා. මේ සියලු අත්දැකීම් සමඟ 2018 දී ආසියානු ශූරතාවලිය සඳහා සහභාගී වූ කණ්ඩායමට තේරී පත් වුණා.


හැකියාවෙන් උසට අභියෝග කළ තිළිණි

තිළිණි ශ්‍රී ලංකා කණ්ඩායම සතු ප්‍රබල ආක්‍රමණික ක්‍රීඩිකාවකි. ශ්‍රී ලංකා ගුවන් හමුදා නෙට්බෝල් කණ්ඩායමේ ද ප්‍රබල ක්‍රීඩිකාවක් වන ඇයගේ උස සෙන්ටිමීටර 161කි. ඇය කණ්ඩායමේ සිටින උසින් අඩු ක්‍රීඩිකාවන්ගෙන් එක් අයෙක් වන අතර අධිෂ්ඨානයෙන් සහ හැකියාවෙන් කිසිවෙකුටත් දෙවැනි නොවන්නීය. මලල ක්‍රීඩාවේ සිට ඉහළ පෙළ වෘත්තීයමය නෙට්බෝල් ක්‍රීඩිකාවක බවට තිළිණි පරිවර්ථනය වන්නේ ඉතා කෙටි කාලයකදීය. 2014 සහ 2016 ආසියානු ශූරතාවලින් දෙකකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇය 2018 වසරේදී ආසියානු ශූරතාවලිය ජයග්‍රහණය කළ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකවක වූවාය.

ප්‍රශ්නය: කොහොමද තිළිණි නෙට්බෝල් වලට ආගමනය වෙන්නේ?

පිළිතුර : 2010 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නෙට්බෝල් කණ්ඩායමට බඳවාගන්න සම්මුඛ පරීක්ෂණ තිබුණා. ඒ වන විට මම උසස්පෙළ අවසන් කළා විතරයි. මම පාසලේ දී නෙට්බෝල් ක්‍රීඩා කරලා තිබුණේ නැහැ. සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් කරන්න තිබුණේ මළල ක්‍රීඩා සහතික විතරයි. කොහොම හරි ගුවන් හමුදා නෙට්බෝල් කණ්ඩායමට මාව තෝරාගත්තා. ඉන් පසුව 2011 වසරේදී මම ලෝක ශූරතාවලිය සඳහා පුහුණු කළ ජාතික සංචිතයේ අවසාන ක්‍රීඩිකාවන් 21අතරට ආවා.

ප්‍රශ්නය: ඔබ අවසාන ක්‍රීඩිකාවන් 21දෙනා අතරින් ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 අතරට ආවේ කොහොමද?

පිළිතුර : 2011දී මට හොඳම ක්‍රීඩිකාවන් 12 අතරට එන්න හැකි වුණේ නැහැ. නමුත් මා ඒක අවස්ථාවක් කරගත්තා ගොඩක් දේවල් ඉගෙන ගන්න. හොඳ අත්දැකීමක් වුණා මට. මා දැනගත්තා මහන්සි වුණොත් අනිවාර්යයෙන්ම මුල් 12 අතරට යන්න පුළුවන් කියන එක. කැපවීමෙන් සහ මහන්සියෙන් පුහුණු වීම් කටයුතු කළා. ඊට පසුව එම වසරේම දකුණු ආසියානු වෙරළ නෙට්බෝල් ශූරතාවලිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ 12 දෙනා අතරට තේරීමට හැකි වුණා. 2013දී සිංගප්පූරුවේ දී පැවැති Nation Cup ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළා

ප්‍රශ්නය: සාමාන්‍යයෙන් නෙට්බෝල් ක්‍රීඩිකාවන් උසයි. ඔබ සෙන්ටිමීටර 161 පමණ උසකින් යුතුව කොහොමද සාර්ථකව ක්‍රීඩා කිරීමේ රහස මොකක්ද?

පිළිතුර : ඇත්තටම උස ලොකු අභියෝගයක්. පළමු වැනි 12 දෙනා අතරට එන්න හොඳ තරඟයක් තියෙනවා. මම නෙට්බෝල් සාර්ථකව ක්‍රීඩා කරන්න අවශ්‍ය දක්ෂතා අරමුණු කරගෙන පුහුණු වීම් කරනවා. මට උසින් ලොකු වාසියක් නැති වුණත් මගේ ශක්තීන් තියෙනවා. ඒක නිසා ක්‍රීඩා කිරීමේදී ප්‍රතිවාදී ක්‍රීඩිකාවට වඩා ඉක්මණින් ස්ථානගත වෙන්න පුළුවන්. එතකොට උස ගැටලුවක් වෙන්නේ නැහැ.

ප්‍රශ්නය: කොහොමද ලෝක ශූරතාවයට ඔබේ සූදානම?

පිළිතුර : ආසියානු ශූරතාවලියට කණ්ඩායමක් වශයෙන් ගොඩක් මහන්සි වෙලා පුහුණු වුණා වගේම ලෝක ශූරතාවලියටත් පැහැදිලි අරමුණක් තියෙනවා. තිලකා මිස් (ජාතික පුහුණුකාරිණිය) අපිට නිරන්තරයෙන්ම නිවැරදි දිශාවට යන්න මඟ පෙන්වනවා. අපේ පුහුණුවීම්වලදී හැම ක්‍රීඩිකාවක්ම තමන්ගේ කාර්යය වගකීමෙන් ඉටු කළ යුතු ආකාරය අවබෝධ කරගෙන ඉන්නවා

ප්‍රශ්නය: ඔබේ සාර්ථකත්වය පසුපස ඇති රහස කුමක්ද?

පිළිතුර : මා නෙට්බෝල් ක්‍රීඩාවට ගොඩක් ආදරෙයි. ක්‍රීඩාවක් කරන්න අවශ්‍යය නම් ඇත්තටම ඒ ක්‍රීඩාවට ආදරයක් තියෙන්න ඕනි. මම හොඳ අරමුණක් ඇතිව මහන්සියෙන් කැපවීමෙන් පුහුණුවීම් කටයුතු කරනවා. මේ ගමනේදී උස් පහත් තැන් තියෙනවා. සාමාන්‍ය ජීවිතයේත් එහෙමනේ. ඒත් ධනාත්මක පැත්ත ගැනම හිතන්න ඕනි. ක්‍රීඩාවට විතරක් නෙමෙයි සාමාන්‍ය ජීවිතය සාර්ථක කරගන්නත් මේක උදව් වෙනවා.

සටහන-ධවිත්‍රා විතාරණ

නව අදහස දක්වන්න