කන්ද උඩරටින් රාජ්‍ය නායකත්වයට ලක්ෂ්මන් කිරිඇල්ලගේ නම යෝජනා කරනවා | දිනමිණ

කන්ද උඩරටින් රාජ්‍ය නායකත්වයට ලක්ෂ්මන් කිරිඇල්ලගේ නම යෝජනා කරනවා

උඩදේල්තොට අත්ථදස්සී හිමියෝ පවසති

එළඹෙන ජනාධිපතිවරණයේ දී කන්ද උඩරටින් රාජ්‍ය නායකත්වය බිහි කර ගැනීම සඳහා දැන් සුදුසුම කාලය එළඹ තිබෙන බැවින් රාජ්‍ය නායකත්වය ලබා ගැනීම සඳහා ඉහළම සුදුසුකම් සපුරා ඇති සභා නායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ නම තමන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය විසින් ඒ සඳහා යෝජනා කරන බවත්, අස්ගිරි මල්වතු මහා විහාර දෙකෙහි පූර්ණ ආශිර්වාදය ද මේ වන විට ඒ මහතාට හිමි වී ඇති බවත් උඩදෙල්තොට ජිනේන්ද්‍රාරාමාධිපති උඩදෙල්තොට අත්ථදස්සී හිමියෝ පවසති.

මෑත ඉතිහාසයේ ඩී. බී. විජේතුංග මහතාගෙන් පසුව කන්ද උඩරටට රාජ්‍ය නායකත්වය හිමි නොවීම හේතුවෙන් එම ප්‍රදේශවල සංවර්ධන කටයුතු ආගමික සිද්ධස්ථාන වැඩි දියුණු කිරීම ආදී බොහෝ කටයුතු පසුගිය කාලයේ බෙහෙවින් අඩාල වු බවද එසේ අඩාල වු සංවර්ධන කටයුතු විධිමත් අයුරින් සිදුකර හම්බන්තොට හා පොළොන්නරුව දියුණු වු අයුරින් උඩරට ප්‍රදේශය දියුණු කර ගැනීමට හැකි වනසේ කන්ද උඩරටට රාජ්‍ය නායකත්වය හිමි විය යුතු බවත් ඒ සඳහා සියලු ජාතීන්ගේ හා සියලු ආගමික ජන කොටස්වල සහාය නිරතුරුව හිමි වන ලක්‍ෂමන් කිරිඇල්ල මහතා වඩාත් උචිත බවට මහා සංඝරත්නය තුළ දැවැන්ත කතිකාවතක් මේ වන විට ඇති වී තිබෙන බවත් උන්වහන්සේ පවසති.

මිලියන 370ක වියදමින් නවීකරණය කෙරුණු හේවාහැට ආසනයේ ගලහ බෙල්වුඞ් ජනපදයේ උඩදෙල්තොට මාර්ගය ජනතා අයිතියට පැවැරීම සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා උඩරට උරුමයන් පිළිබඳ ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 29 පෙරවරුවේ සිදු කෙරුණු අතර එම අවස්ථාවේ විශේෂ අනුශාසනාවක් කරමින් අත්ථදස්සී හිමියෝ මේ බැව් පැවැසූහ.

උන්වහන්සේ වැඩිදුරටත් අනුශාසනාව කරමින් මෙසේද කීහ.

දැනටමත් මහනුවරට විශාල සංවර්ධන වැඩකොටසක් ඉටු කරමින් බෞද්ධාගමික වෙහෙර විහාරස්ථාන වැඩි දියුණු කිරීම සඳහා මූල්‍ය පහසුකම් සපයා දෙමින් කටයුතු කරන ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පිළිබඳව අප තුළ ඇත්තේ විශාල පැහැදීමක්. ඒ වගේම එතුමා හොඳ බෞද්ධයකු වශයෙන් කටයුතු කරමින් මේ රටේ අනෙකුත් අගමික ස්ථාන වැඩිදියුණු කරමින් එම ජාතීන්ටද එක හා සමානව සළකන ගුණ ගරුක දේශපාලන නායකයකු බව කිව යුතුයි.එතුමා දැනුම බුද්ධිය පරිණතභාවය අතින් මෙන්ම පාරම්පරික උරුමය අතින්ද රටේ නායකත්වයට පත්වීම සඳහා සුදුසුකම් සම්පූර්ණ කර තිබෙනවා.මේ සියලු තත්ත්වයන් සැළකිල්ලට ගෙන ඉදිරි ජනාධිපතිවරණයට ලක්‍ෂමන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කර ජයග්‍රහණය කරවීම සඳහා තමන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය පෙරමුණ ගන්නවා.

මෙහිදී උත්සව සභාව ඇමතූ සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා උඩරට උරුමයන් පිළිබඳ ඇමැති අධිනීතිඥ ලක්‍ෂමන් කිරිඇල්ල මහතා -

තව කෙටි කාලයකින් මේ රටේ අනාගත නායකයා තෝරන ජනාධිපතිවරණය පැවැත්වෙනවා. මෙවර පොදු අපේක්‍ෂකයෝ නැහැ. අපි පොදු අපේක්‍ෂකයෝ දාන්නේ නැහැ. එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා තමයි පොදු අපේක්‍ෂකයා.අපි දාන්නෙ සියලු දෙනාටම පිළිගන්න පුළුවන් දිනන්න පුළුවන් අපේක්‍ෂකයෙක්. අපි ඒ අපේක්‍ෂකයා තෝරන්නේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතියෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ කැමැත්ත මතයි.බය වෙන්න එපා අපි දැන්ම ආණ්ඩුව භාර දෙන්න සූදානම් නැහැ.

දැන් බලන්න පොහොට්ටු පක්‍ෂය ගත් විට ඒ පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා තෝරන්නේ මහින්ද රාජපක්‍ෂ ගෝඨාභය රාජපක්‍ෂ චමල් රාජපක්‍ෂ බැසිල් රාජපක්‍ෂ නාමල් රාජපක්‍ෂ එකතු වෙලා.රාජපක්‍ෂ පවුලෙන් පිට කෙනෙකුට කවදාවත් එන්න බැහැ.එක්සත් ජාතික පක්‍ෂ පවුල්වාදි පක්‍ෂයක් නොවෙයි.ඕනෑ කෙනෙකුට නායක්තවය දක්වා එන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයක්.

අද අපේ රට පැමිණ ඇත්තේ ඉතාමත් තීර්ණාත්මක යුගයකටයි. ජාතීන් භේද කරමින් ජාතිවාදය පතුරවමින් රට තුළ ප්‍රශ්න ඇතිකිරීම සඳහා අපගේ දේශපාලන විරුද්ධවාදින් කටයුතු කරමින් සිටිනවා.පත්තර රූපවාහිනි බලන ජනතාව මේ ගැන හොදින් දන්නවා.එක්සත් ජාතික පක්‍ෂය සියලු ජාතීන් සිටින පක්‍ෂයක්.අපේ පක්‍ෂය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කරනවා. බෞද්ධාමට ප්‍රමුඛස්ථානය ලබා දෙනවා මෙන්ම අනෙකුත් ජාතීන්ට ආගම්වලටද සමානව සළකනවා.එය එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තියයි.

ජාතිවාදය අවුස්සලා පොහොට්ටු කාරයෝ ජන්ද දිනන්න හදනවා.ඔවුන්ගේ ජාතිවාදය අපි එදා පාර්ලිමේන්තුවේදී හොදින්ම දුටුවා.පාර්ලිමේන්තුව මැදට ඇවිත් පුටු මයික්‍රොෆොන් කඩමින් වියරුවෙන් හැසිරුනු මේ අයගේ ඇගපුරා තියෙන්නනේ ත්‍රස්තවාදය බව ප්‍රදර්ශණය කළා.පාර්ලිමේන්තුවට ඇවිත් හැසිරෙන්නවත් දන්නේ නැති මේ පිරිස් තමයි පාර්ලිමේන්තුවෙන් පටන් ගත් ත්‍රස්තවාදය පිටට අරන් ගියේ.කුරුණෑගල මිනුවන්ගොඩ ප්‍රදේශවල ප්‍රශ්න ඇති කළේ මේ පිරිස් පොලිසීයට ගිහින් නීතිය අතට අරන් ප්‍රශ්න ඇති පොහොට්ටු කාරයෝ.මේ අයගේ උගුල්වලට අහු වෙන්න හොද නැහැ.

අදහස් 1ක් ඇත

POHOTTU PIPENNE SWABAWIKAWAMAYA?? KOHOMADA EWA THAHANAM KARANNE?

නව අදහස දක්වන්න