අවුරුදු 15දී ජාතික නෙට්බෝල් පිලට එක්වූ ගයනී | දිනමිණ

අවුරුදු 15දී ජාතික නෙට්බෝල් පිලට එක්වූ ගයනී

එංගලන්තයේ ලිවර් පූල් හිදී පැවැත්වෙන නෙට්බෝල් ලෝක ශූරතාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට උප නායකත්වය ලබා දෙන්නේ ගයනි දිසානායකය. කණ්ඩායමේ රකින්නිය (Goal Keeper) ලෙස ක්‍රීඩා කරන ඇය මුල් වරට ජාතික කණ්ඩායම නියෝජනය කළේ වයස අවුරුදු 15දීය. එවිට ඇය කොළඹ විශාඛා විදුහලේ අධ්‍යාපනය හදාරමින් සිටියාය. දැන් හැටන් නැෂනල් බැංකුවේ වැල්ලවත්ත ශාඛාවේ බැංකු නිලධාරිණියක ලෙස සේවය කරන්නීය.

ප්‍රශ්නය: ජාතික කණ්ඩායමේ සිටින ලාබාල ක්‍රීඩිකාව වගේම අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක්. වසර 9කට ආසන්න කාලයක් අඛණ්ඩව ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගැනීමේ රහස කුමක්ද?

පිළිතුර : 2011 වසර වෘත්තීයමය නෙට්බෝල් ජීවිතයට මට හොඳ පන්නරයක් වුණා. 2011 ලෝක ශූරතාවලිය සඳහා සහභාගී වන හොඳම ක්‍රීඩිකාවන් 12 දෙනා තීරණය කිරීමට පැවැත්වූ අවසාන තේරීම් තරඟයේදී මාව තේරුණේ නැහැ. ඒක මම ශක්තියක් කර ගත්තා. එදා අධිෂ්ඨානය කරගත්තා ජාතික කණ්ඩායමේ හොඳම 12 දෙනා අතර පළවන 7 දෙනා අතරට යනවා කියලා. ඒ වෙනුවෙන් අරමුණක් ඇතිව අඛණ්ඩව කැපවීමෙන් පුහුණුවීම් කටයුතු කළා. එතැන් පටන් අද දක්වා ජාත්‍යන්තර තරඟ 75කදී පමණ ශ්‍රී ලංකාව නියෝජනය කළා. ඒ සෑම ජාත්‍යන්තර තරඟයකදීම පළමු ක්‍රීඩිකාවන් 7 දෙනා අතර ක්‍රීඩා කළා.

ප්‍රශ්නය: ඔබ ජාතික කණ්ඩායමේ හිටපු නායිකාවක්. ඒ අත්දැකීම කොහොමද?

පිළිතුර : 2015 වර්ෂයේදී ආසියානු කනිෂ්ඨ ශූරතාවලියට ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායමට නායකත්වය දුන්නා. ඒ වසරේ ලෝක ශූරතාවයට සහභාගී වූ ජාතික කණ්ඩායමේ උප නායකත්වය දැරුවා. එම ලෝක ශූරතා තරඟාවලියේදී ලොව හොඳම ගෝල ආක්‍රමණිය කරන්නියන් (Goal Defense) සහ රකින්නියන් 10 දෙනා අතරට එන්න හැකි වුණා.

ප්‍රශ්නය: ඔබ දකින හැටියට ඔබට ඉහළ පෙ‍ළ රකින්නියක වීමට පිටිවහල් වුණ තීරණාත්මක දක්ෂතා මොනවාද?

පිළිතුර : සාර්ථක රකින්නියක් වන්නේ හොඳ ප්‍රතික්‍රියාවක් (reaction speed) ඇත්නම් විතරයි. වඩාත් සාර්ථක වන්න නම් ගෝල රකින්නිය සමඟ හොඳ සන්නිවේදනයක් පවත්වා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනි. රකින්නියක් විදියට විදින්නියව රකින අතර පන්දුව එන්නේ කොහොමද කොයි දිශාවටද කියන එක ගැන හොඳ අවබෝධයක් අවශ්‍යයි. එතකොට ගෝල කවය ඇතුළත සහ පිටත දෙකේදීම පන්දුව ඩැහැ ගන්න පුළුවන්.

ප්‍රශ්නය: ඔබ ජාතික තලයේ ක්‍රීඩිකාවක ලෙස යොවුන් ක්‍රීඩිකාවන්ට දෙන පණිවුඩය මොකක්ද?

පිළිතුර :දැන් තිබෙන තරඟකාරී අධ්‍යාපන රටාව එක්ක යොවුන් පරපුර ක්‍රීඩාවට දක්වන කැමැත්ත ගොඩක් අඩු‍ වෙලා. නමුත් ක්‍රීඩාව සහ අධ්‍යාපනය යන දෙකම සමබරව කරගෙන යනවා නම් දිග ගමනක් යන්න පුළුවන්. මා කොළඹ නෙමෙයි. ගම දන්තුරේ. ක්‍රීඩාවෙන් ඉහළටම එන්න ඕනම කෙනෙක්ට පුළුවන්. හොඳ අධිෂ්ඨානයක් කැපවීමක් ඊට අවශ්‍යයි. පවුලෙන් ලැබෙන සහයෝගයත් ඉතාම වැදගත්. මහන්සිවෙලා අධ්‍යාපන කටයුතුත් වගකීමෙන් ක්‍රීඩා කටයුතුත් කරන්න. බැහැයි කියලා දෙයක් නැහැ

සටහන - ධවිත්‍රා විතාරණ

නව අදහස දක්වන්න