පූජිත - හේමසිරි යළි රිමාන්ඩ් | දිනමිණ


 

පූජිත - හේමසිරි යළි රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය ජුලි 09 දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අනිවාර්ය නිවාඩු මත සිටින පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඊයේ(02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණේ ඔවුන් රෝහල්ගතව සිටියදිය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔවුන් දෙදෙනා මේ වන විට බන්ධනාගාර නිලධාරින් භාරයේ තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.

පාස්කු ඉරුදින එල්ල කළ ප්‍රහාරවලින් සිදු වූ මනුෂ්‍ය ඝාතන හා ප්‍රබල දේපල හානි සම්බන්ධයෙන් සාපරාධී වගකීමක් ඇති බවට විමර්ශනවලින් හෙළි වූ සාක්ෂි මත පොලිස්පති පූජිත් ජයසුන්දර සහ  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේය.

කෙසේවෙතත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඊයේ පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ හෘද විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් වූ අතර අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත්ව තිබුණි.

නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේම ජාතික රෝහලේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුවත්, නාරාහේන්පිට පොලිස් රෝහලේදී පොලිස්පති පූජිත් ජයසුන්දරවත් අත්අඩංගුවට ගනු ලැබුවේය.

 

නව අදහස දක්වන්න