'සංචාරක උදාව' සංචාරක සහචාරිකා ප්‍රදර්ශනය ඇරඹේ | දිනමිණ

'සංචාරක උදාව' සංචාරක සහචාරිකා ප්‍රදර්ශනය ඇරඹේ

ශ්‍රී ලංකාවේ එකම සංචාරක සහ චාරිකා වෙළඳ ප්‍රදර්ශනයවන 'සංචාරක උදාව' ප්‍රදර්ශනය 2019 ජුනි මස 21 සහ 22 යන දෙදින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යතර සම්මන්ත්‍රනණ ශාලාවේදී (BMICH) හිදී නමවන වරටත් පැවැත්විණි. චාරිකා සහ සංචාරක ක්ෂේත්‍රයේ නිලධාරීන් මෙන්ම සංචාරක කර්මාන්තයේ මෙහෙයුම්කරුවෝ විශාල පිරිසක් ද ඊට සහභාගී වූහ. ශ්‍රී ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය (SLAITO) විසින් සංවිධාන කරනු ලබන මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහක ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) අත්වැල් බැඳ ගත්තේය. ප්‍රදර්ශනයේ සමාරම්භය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහභාගී වූයේය. ඊට අමතරව, ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස්, ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ජොආනා ජයරත්න, ශ්‍රි ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති හරිත් පෙරේරා, සංචාරක උදාව 2019 ප්‍රදර්ශනයේ සභාපති නිශාද් විජේතුංග සහ සංචාරක උදාව ප්‍රදර්ශනයේ සංවිධායක CDC Events & Travels සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඉම්රාන් හසන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ චාරිකා සහ සංචාරක කර්මාන්තය මුහුණදී සිටින දැවැන්ත ම අභියෝගවලට විසඳුම් ලබාදීම සඳහා මගපාදා ගැනීම කෙරෙහි මෙවර ප්‍රදර්ශනයේ අවධානය යොමු විය. රාජ්‍ය ආයතන සමග සම්බන්ධ වෙමින් ප්‍රලාභ හිමිකර ගැනීමට හැකිවීම නිසා B2B සහ B2C යන අංශ දෙකට ම මෙම ප්‍රදර්ශනය අතිශය වැදගත් වේදිකාවක් බවට පත්ව ඇත.

සංචාරක කර්මාන්තයේ ප්‍රවීණයන් සහ තවත් කීර්තිමත් ව්‍යවසායකයන්ගේ සහභාගිත්වයෙන් හමුවක් ද, විශිෂ්ටත ම ප්‍රදර්ශන කුටිය සඳහා සම්මාන ප්‍රදානෝත්සවයක් ද ප්‍රදර්ශනය අවසානයේදී සංවිධාන කර තිබිණ.

සංචාරක කර්මාන්තයට සම්බන්ධ රාජ්‍ය ආයතන සහ කර්මාන්තය අතර සබඳතාවක් ගොඩනැගීමේ අරමුණින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සංචාරක පොලිසිය, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ වෙනත් එවැනි ආයතනවලට මෙහිදී නොමිලයේ ම ප්‍රදර්ශන කුටි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව හිමිකර දී තිබිණ. සංචාරක වෙළෙඳාමට සම්බන්ධ නිලධාරීන් සමග කටයුතු කිරීමේ අවස්ථාව මෙරට විශ්වවිද්‍යාල සිසුන් හට ලබාදීමේ අරමුණින් යුතුව කොළඹ, ඌව වෙල්ලස්ස, කැලණිය, සබරගමුව සහ රජරට ආදී විශ්වවිද්‍යාල කිහිපයකට ද නොමිලයේ ප්‍රදර්ශන කුටි ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව හිමි වීම ද මෙහිදී දැකගත හැකිවූ තවත් සුවිශේෂී සිදුවීමකි.

සංචාරක උදාව ප්රිදර්ශනයේ සංවිධායක මණ්ඩලයේ සභාපති නිශාඩ් විජේතුංග මහතා සඳහන් කළේ, මෑතකදී රට තුළ ඇතිවූ අහිතකර සිදුවීම්වල බලපෑම අවම කිරීමටත්, කර්මාන්තය තුළ ධනාත්මක හැඟීමක් ඇති කිරීමටත් කටයුතු කරන මහා පරිමාණ, මධ්‍යම පරිමාණ සහ කුඩා පරිමාණ ව්‍යවසායකයන් ඇගයුමට ලක් කිරීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණක්වන බවය.

නව අදහස දක්වන්න