ලෝක නෙට්බෝල් ශූරතාවලියට තව දින 8යි | දිනමිණ

ලෝක නෙට්බෝල් ශූරතාවලියට තව දින 8යි

ලකුණු පුවරුවට ශක්තියක් දෙන හසිතා

ලෝක නෙට්බෝල් ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා පිලේ ගෝල් ඇටෑක් ක්‍රීඩිකාව ලෙස හසිතා මෙන්ඩිස් ක්‍රීඩා කරයි. ඇය විටෙක ගෝල් ෂූටර් ලෙසද කණ්ඩායමට තම උපරිමය ලබාදුන් ක්‍රීඩිකාවකි. සෙන්ටිමීටර් 176ක් උස හසිතා මෙන්ඩිස් ශ්‍රී ලංකා නාවික හමුදා නෙට්බෝල් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකාවකි. ඇය ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම නෙට්බෝල් ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.

ගෝල් ඇටෑක් හා ගෝල් ගෝල් ෂූටර් යන භූමිකා දෙකම නෙට්බෝල් ක්‍රීඩාවේ ජයග්‍රහණ හඹා යෑමේදී ඉතාම වැදගත් වේ. ප්‍රතිවාදීන්ගේ ග්‍රහණයට හසු නොවී ගෝල් කණුව ආසන්නයට පැමිණෙන පන්දුව ලකුණු බවට පත් කිරීමේ කාර්යය ගෝල් ඇටෑක් හා ගෝල් ගෝල් ෂූටර් වෙත පැවරේ. එබැවින් හසිතා මෙන්ඩිස් ජාතික නෙට්බෝල් පිලග ආභරණයක්වී තිබේ.

“මේ වනවිට මා ජාතික නෙට්බෝල් කණ්ඩායමේ අන්තර් ජාතික තරග 35කට ක්‍රීඩා කොට තිබෙනවා. මගේ අමතක නොවන අත්දැකීම පසුගිය වසරේ ආසියානු නෙට්බෝල් ශූරතාව ජයග්‍රහණය කිරීමයි. ඒ ජයග්‍රහණය අප ඉතා හොඳින් සැලසුම් කළ එකක්. කණ්ඩායම් හැගීමෙන් අප ක්‍රීඩා කළා. පුහුණුකාරිණී තිලකා මෙනවිය එම තරගාවලියට අපව හොඳින් සූදානම් කළා. එම තරගාවලියට පෙර 2012දී ආසියානු නෙට්බෝල් ශූරතාවට හා 2014දී ආසියානු නෙට්බෝල් ශූරතාවට මා සහභාගී වුණා. ඒ නිසා අත්දැකීම් රාශියක් තියෙනවා. ඒ සියල්ල ඉතා හොඳින් මේ ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියේදී ලබාදීමට මා සූදානම්” හසිතා මෙන්ඩිස් සඳහන් කළාය.

“ලෝක කුසලාන තරගාවලිය ඉතාම තියුණු තරගකාරීත්වයක් ඇති එකක්. පසුගිය ලෝක කුසලානයට මා සහභාගී වුණා. එයින් විශාල අත්දැකීමක් ලැබුණා. ගොඩක් වේලාවට මා බලන්නේ ලකුණු ලබා ගැනීමයි. මා සමග ගෝල් ෂූටර් විදිහට ක්‍රීඩා කරන්නේ තර්ජනී. ඇය ලකුණු රැස් කිරීමේදී ගොඩක් අපට වාසි නිසා මට ලැබෙන පන්දු ඇය වෙත යොමු කිරීමට හැම වේලාවේම උත්සහා කරනවා. අප දෙදෙනා හොඳ සම්බන්ධතාවකින් කටයුතු කළොත් සාර්ථකව ඉදිරියට යෑමට හැකියි” හසිතා මෙන්ඩිස් පැවැසූවාය.


කැපවීම-අධිෂ්ඨානය තුළින් පෙරට ආ දුලංගා

2016 වසරේදී ප්‍රථම වරට ජාතික කණ්ඩායමට තේරී පත් වූ දුලංගා ධනංජී මෙවර නෙට්බෝල් ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ විදින්නියක (Goal Shooter) වශයෙනි. ශ්‍රී ලංකා ගුවන් හමුදා නෙට්බෝල් කණ්ඩායමේ සාමාජිකාවක වන දුලංගා ගෝල කණුවේ සිට තරමක් දුරින් සිට විදින්නියක් (long shots) ලෙස ප්‍රසිද්ධියක් උසුලන අතර තීව්‍ර තරගයකදී ඒකාග්‍රතාවය පවත්වා ගැනීමට ඇයට ඇති හැකියාව පිළිබඳ වාදයක් නොමැත.

ගම්පහ යශෝධරා බාලිකා විද්‍යාලයෙන් නෙට්බෝල් ක්‍රීඩාවට අවතීර්ණ වූ ඇය මම මලල ක්‍රීඩාවටද දක්ෂතා දැක්වූවාය. 2012 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නෙට්බෝල් ඒ කණ්ඩායමට සම්බන්ධ වුවද වසර 2ක් වැනි කාලයක් අතිරේක ක්‍රීඩිකාවක් වූවාය. 2014 දී මම ගුවන් හමුදා කණ්ඩායමේ පළමු ක්‍රීඩිකාවන් හත් දෙනා අතරට පැමිණියේ ඇයගේ දැඩි කැපවීම හේතුවෙනි. ඉන් පසු මට 2014 ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේදී 2015 විවෘත සමාජ නෙට්බෝල් තරඟාවලියේදී 2016 ආරක්ෂක සේවා තරගාවලියේ දී සහ 2016 විවෘත සමාජ නෙට්බෝල් තරගාවලියේදී නෙට්බෝල් රැජිණ බවට සම්මාන දිනාගත් අතර 2016 දී ආසියානු ශූරතාවලිය නියෝජනය කිරීමට වාසනාවන්ත වූවාය.

“ශ්‍රී ලංකාව සහභාගී වන 10 වන නෙට්බෝල් ලෝක ශූරතාවලියේදී ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට ලැබීම සතුටක්. මම බලාපොරොත්තු වෙනවා කණ්ඩායම වෙනුවෙන් 100% මගේ උපරිමය ලබා දෙන්නටත් උපරිම සාධාරණයක් ඉටු කිරීමටත්” දුලංගා ධනංජී පැවැසූවාය.

සටහන-ධවිත්‍රා විතාරණ

නව අදහස දක්වන්න