ඉතිහාසයේ කිසිදු රාජ්‍ය නායකයකු ඉටුනොකළ සේවාවක් කිරීමට සූදානම් | දිනමිණ

ඉතිහාසයේ කිසිදු රාජ්‍ය නායකයකු ඉටුනොකළ සේවාවක් කිරීමට සූදානම්

තමන්ගේ දර්ශනය විශ්වාස කර රටේ ජනතාව එයට ශක්තිය ලබාදෙනවා නම් ඉතිහාසයේ කිසිදු රාජ්‍ය නායකයකු ඉටුනොකළ සේවාවක් මෙරට ජනතාව වෙනුවෙන් ඉටුකිරීමට තමන් සූදානම් බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ජනතා ගැටලුවලට විසඳුම් ලබාදී ඔවුන්ට ශක්තිමත් ජන ජීවිතයක් උදාකරදීම තමන්ගේ ‘දිව්‍ය ලෝකය’ ලෙස සළකන බවත්, ජනතා කර මතින් බලයට පත්ව වංචා දූෂණ සිදුකර රාජ්‍ය දේපළ විනාශ කිරීම ‘අපාය’ ලෙස සළකන බවත් පෙන්වා දුන් ඇමැතිවරයා, අපාය හා දිව්‍ය ලෝකය කුමක්දැයි නිසිලෙස අවබෝධ කරගන්නා ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.

කුඹුරු ඉඩම් සඳහා ඔප්පු ලබාගැනීමේදී එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂයක්ද, ගොඩ ඉඩම් සඳහා ඔප්පු ලබාගැනීමේදී එක් අයෙකුගෙන් රුපියල් 10,000/= ක් ද පසුගිය පාලකයින් අයකර ගත් බවත්, වත්මන් රජය කුඹුරු ඉඩම් හා ගොඩ ඉඩම් සඳහා ඔප්පු ලබාදීමේදී රුපියල් 250/= ක් පමණක් නාමිකව අය කරන බවත් ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව, වැදිවැව ප්‍රදේශයේ ඉදිකළ “සඳහසගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (04) දින සහභාගි වෙමිනි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 212 වන ආදර්ශ ගම්මානය මෙය වේ.

“සඳහසගම” උදා ගම්මානය නිවාස 24 කින් සමන්විත වන අතර එය අංගසම්පූර්ණ ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 214 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් මෙම උදා ගම්මානය සමන්විතයි.

ගම්මානය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 24 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ 72 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 24 ක හිමිකම් නොමිලේ ලබාදීම, පවුල් 600 කට මහවැලි සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 50 කට රුපියල් ලක්ෂ 100 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 26 ක් සඳහා රුපියල් ලක්ෂ 52 ක් වටිනා ‘සොඳුරුපියස නිවාස ණය’, පවුල් 12 ක් සඳහා රුපියල් ලක්ෂ 60 ක් වටිනා ‘ග්‍රාම ශක්ති’ නිවාස ආධාර, ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන් 55 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 27 ක් වටිනා ප්‍රතිලාභ, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 108 දෙනෙකුට නොමිලේ ඇස් කණ්ණාඩි, ස්වයං රැකියා ණය ප්‍රදානය සහ ගම්මානයේ නිවාස සමිතියට පුටු ප්‍රදානය කිරීමද ඇමැතිවරයා අතින් මෙහිදී සිදුකෙරුණි. වකුගඩු රෝගී සායනයක් සහ දේශීය වෛද්‍ය සායනයක්ද මෙහිදී පැවැත්විණි.

නව අදහස දක්වන්න