අවශ්‍ය වන්නේ මහා මැතිවරණයක් මිස ජනාධිපතිවරණයක් නොවේ | දිනමිණ

අවශ්‍ය වන්නේ මහා මැතිවරණයක් මිස ජනාධිපතිවරණයක් නොවේ

අවශ්‍ය වන්නේ මහා මැතිවරණයක් මිස ජනාධිපතිවරණයක් නොවන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(03) කොළඹ 08, බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 76වන සංවත්සරයේ ප්‍රධාන දේශනය පවත්වමින්ය. එහිදි වැඩිදුරටත් කතා කළ ගුණසේකර මහතා මෙසේද කීය..1943 අදවගේ දිනයක තමයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පිහිටුවුණු ලැබුවේ. දොස්තර වික්‍රමසිංහ, උඩුකැන්දවල සරණංකර හාමුදුරුවෝ,පීටර් කෙනමන් , ඒම්.ජි.මෙන්ඩිස් සහෝදරවරු හා වෛද්‍යලිංඟම් මුල්ම ආරම්භක නායකවරු පස්දෙනා ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා.

අපේ පක්ෂය කළු ජූලියකට මුහුණ දුන්නා පමණක් නොව තහනමට ලක්වුණා. අපි තරුණ කැරලි දෙකකට මුහුණ දුන්නා. වසර විසිහයක යුද්ධයකට මුහුණ දුන්නා. ජාතිවාදි අරගලවලට මුහුණ දුන්නා. ජාතිත ප්‍රශ්නය වෙනුවෙන් පැවැති මුල්ම රැස්වීමෙදී අපේ පක්ෂයක් සමසමාජ පක්ෂයත් ගුටිකෑවා. ඒ කාලයේ මම පක්ෂයේ සිටියේ නැතත් ප්‍රේමලාල් කුමාරසිරි හා ස්ටැන්ලි තිලකරත්න යන අය ගුටිකාපු හැටි මම දැක්කා.රොබට් ගුණවර්ධන හා කොල්වින් සහෝදරවරුන් පොලිසියෙනුත් ගුටිකාගෙන ගල් ප්‍රහාරයන්ටත් ලක්වි ලේ පෙරාගෙනයන හැටි අපි දුටුවා. ඒ දෙමල ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන්ය. ඒ ප්‍රශ්න පසුපසට පැමිණිලා අවසානයේ යුද්ධයකට ගියා. අපි දැක්මක් ඇතිව ශ්‍රී ලංකික ජාතිය ගොඩනැගීමේ කාර්ය සිදුකළා නමුත් අපිට තනියම ඒ දේ කරන්න හැකිවුණේ නැහැ. අපි සුළුතරයක් නිසා අපේ හඬට වැඩිය කන්දුන්නේ නැහැ. ඒ කළ පාපයට ධනේශ්වරය මුහුණ දෙනවා ජනතාව දුක්විඳිනවා. ඒ අයට වසර හැත්තෑවකට පසුවයි ශ්‍රී ලංකික ජාතිය සිහිපත්වුණේ. දැන් ගෝලීය ත්‍රස්තවාදයක් ගැන කතා කරනවා. සෝවියට් දේශය කඳවුර බිඳ වැටුණත් සමගම අපේ ගමන අඩපණ වුණා. එහිදි යම් යම් පාවා දීම් සිදුකරමින් පක්ෂ මාරු කළා. නමුත් අපේ පක්ෂයේ එකම සහෝදරයෙක්වත් පක්ෂ මාරු කළේ නැහැ. ඇතැම් අය විපක්ෂයෙන් යනවා හොඳ තණබිම් සොයාගෙන යනවා. ගොවි කම්කරු ජනතාවට ලබාදුන් සුබසාධන දේවල් තමයි අදටත් භුක්ති විඳින්නේ. සමසමාජ පක්ෂයත් අපිත් තමයි මේ සටන් වල කටයුතු සිදුකළේ. එදා වගේම අපි අදත් එකට යනවා. මේ ජයග්‍රහණ ලබාගත්තේ වමේ පක්ෂ එකට සිටිය අවස්ථාවලයි. පිලිප් ගුණවර්ධන මහතා පළමු කැබිනට් මණ්ඬලය කැඳවන විට අපි පිටතින් සිට උදව් කළා. ජාතික ඉතිරිකිරීමේ බැංකුව නිර්මාණය කළේ ඇන්.ඇම්.පෙරේරා සහෝදරයායි. ලංකා බැංකුව නිර්මාණය කළේ පීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතායි. අපි එදා සංවර්ධන බැංකු තුනක් ඇති කළා. සේවක අර්ථසාධක අරමුදල ඇති කළා. අද ඒ අරමුදල තමයි බලයට එන සෑම ආණ්ඩුවක්ම සංවර්ධන කටයුතු සිදුකළේ. අපි මේක තවම රැකගෙන සිටිනවා. 1931කට කලින් සුද්දන්ට විතරයි විශ්‍රාම වැටුප් තිබුණේ. අපි එය වැඩකරන ජනතාවට ලබාදුන්නා. දොස්තර වික්‍රමසිංහ මොරවක මන්ත්‍රීවු විගස තමයි විශ්‍රාම වැටුපක් ඉල්ලා පාර්ලිමේන්තවට යෝජනාවක් ඉදිරිපත් කළේ. අපි කළ දේවල් ගැන වට්ටොරු ඉදිරිපත් කරන්නේ නැහැ නමුත් අද පරපුර මේවා ගැන දන්නේ නැති නිසා ටිකක් සිහිපත් කරනවා.

අද රාජ්‍ය ආදායම ප්‍රමාණවත් වන්නේ රාජ්‍ය සේවයකයින් පහළොස් ලක්ෂයකට වැටුප් ගෙවන්නත් පන්ලක්ෂයකට විශ්‍රාම වැටුප් ගෙවන්නත් පමණයි. අනෙක් සෑම දෙයකටම ණය ගන්නවෙලා. ණය ගෙවන්නත් ණය ගන්න වෙලා අද ණය උඩතමයි දුවන්නේ. මේවා නව ලිබරල්වාදය නිසා වූ දෙයක් ලෙසයි ආර්ථික විශේෂඥයින් පෙන්වන්නේ. මේ අපි ගිරව් වගේ කිව්වා අපේ ආණ්ඩුවලටත් කිව්වා තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැහැ. අද මේ අර්බුදය ඒකයි. කාල් මාක්ස් ගෙන් පස්සේ ප්‍රංශයේ ආර්ථික විශේෂඥයෙක් මේ ගැන පෙන්වා දී තියෙනවා. ආදායම්බදු අඩුකරන්න තමයි මේ සෑම දෙයක්ම කරන්නේ අපේ මේ ගැන කතිකාවක් නැහැ. අපේ ආර්ථික විශේෂඥයෝ ජනතාව ගැන හිතන්නේ නැහැ. කතා කරන්න සිටින්නේ අතලොස්සයි. අර්බුද ඇතිවන තුන්වෙනි කරුණ වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ඇන්.ඇම් .පෙරේරා සහෝදරයා මේ ගැන සිදුකළ විවේචනෙයන් අද කරුණු ඔප්පු කර තියෙනවා.

අනෙක් කරුණ මට තේරෙන්නේ බලයක් නැති ජනාධිපතිවරයකු පත් කරන්න රුපියල් මිලියන දහසක් පමණ වියදම් කරන්නේ ඇයි කියලා. මේක ව්‍යවස්ථාවේ අවශ්‍යතාවයක් මිල රටේ අවශ්‍යතාවයක් නොවේ. ඒ නිසා වෙනස් කළ යුත්තේ පාර්ලිමේන්තුවයි. පරමාධිපත්‍ය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි. මින්පසු ජනාධිපති පත්වෙන්අනෙත් පාර්ලිමේන්තුවෙන්ය. ඒ නිසා ජනාධිපතිවරණයක් අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ මහා මැතිවරණයක්ය.

අපි දැන් කල්පනා කළ යුත්තේ මින් ගැලවෙන්නේ කොහොමද කියලයි. ඊට නව වැඩපිළිවෙලක් අවශ්‍යයි. නැත්නම් ඉදිරියේදි කව්රු දින්නත් රට පාලනය කරන්න නොහැකි වෙනවා. ප්‍රශ්න හඳුනා ගැනීම වටහා ගෙන අවශ්‍ය විද්‍යාත්මක විසඳුම් ලබාදිය යුතුයි. ඒවා ප්‍රායෝගික විය යුතුයි.

අනුර ප්‍රේමලාල් සහ මැද කොළඹ සමූහ 
ඡායාරූපය- සුදම් ගුණසිංහ

නව අදහස දක්වන්න