රට වෙනුවෙන් එකට සිටිමු මොණරාගල සිවුවැනි දිනය අති සාර්ථකයි | දිනමිණ

රට වෙනුවෙන් එකට සිටිමු මොණරාගල සිවුවැනි දිනය අති සාර්ථකයි

ජනාධිපති කාර්යාලය මගින් සංවිධාන කරන රට වෙනුවෙන් එකට සිටිමු, මොණරාගල දිස්ත්‍රික් වැඩසටහන හතරවන දිනටත් ඊයේ (4) සාර්ථකව පැවැත්විණි.

දුෂ්කර පළාත්වල ජීවත්වන ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ගැටලු හඳුනාගෙන එම ගැටලු විසදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතාගේ මඟපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය දීපව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබෙන ‘රට වෙනුවෙන් එකට සිටිමු‘ ජාතික වැඩසටහනේ පස්වැන්න පසුගිය පළමුවැනි දා මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරිණි.

මොණරාගල දිස්ත්‍රික්කයට අයත් මොණරාගල, තණමල්විල, මඩුල්ල, කතරගම, බුත්තල, බඩල්කුඹුර, වැල්ලවාය, මැදගම, සියඹලාණ්ඩුව, බිබිල, සෙවණගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11කට අයත් ග්‍රාම නිලධාරි වසම් 319ක් ආවරණය කරමින් මෙම වැඩසටහන ජූලි 6 දා දක්වා සතියක් පුරා ක්‍රියාත්මක වේ. මෙහි ඉලක්කගත ප්‍රතිලාභීන් සංඛ්‍යාව 479,000කි.

ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ප්‍රධාන ජාතික වැඩසටහන් වන ජාතික වකගඩු රෝග නිවාරණය, ග්‍රාමශක්ති, ජාතික පරිසර සංරක්ෂණය, දරුවන් සුරකිමු, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණය, විශේෂ අවශ්‍යතා සහිත සහ වැඩිහිටි ප්‍රජාව සවිබල ගැන්වීම, ස්මාර්ට් ශ්‍රී ලංකා, ජාතික ආහාර නිෂ්පාදන ආදි වැඩසටහන්වලට අයත් ක්‍රියාකාරකම් රැසක් මෙම සතිය පුරා දිස්ත්‍රික්කයේ දී ක්‍රියාත්මක කෙරේ. ඊට අමතරව දිස්ත්‍රික්කයේ ජනතාවට ඝෘජුවම බලපාන කෘෂිකර්ම, නිවාස හා ඉඩම්, වෘත්තීය හා සෞඛ්‍ය ගැටලු විසඳීම හා එම ක්ෂේත්‍රයන්හි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් දියත් කර තිබේ.

තව ද ජනතාවගේ ගැටලු ඝෘජුව ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ හැකි ජනපතිට කියන්න වැඩසටහන ද මෙම සතිය පුරා දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක දී ක්‍රියාත්මක වෙයි.

වැඩසටහනේ සිව්වන දිනය වන අද දින ද විශේෂ වැඩසටහන් රැසක් දිස්ත්‍රික්කය පුරා සාර්ථකව ක්‍රියාත්මක වු අතර, ජනතාව විශාල පිරිසක් එම අවස්ථාවන්ට එක්ව සිටියහ.

වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් විශේෂ උපදේශක වැඩසටහනක් මොරණාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ක්‍රියාත්මක වූ අතර ඊට සමඟාමීව පාසල් දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයක් ද සිදු කෙරිණි.

වතුර මෝටර් සහ පැළ බෙදාදීමක් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු විය. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් හා පා ගමනක් බිබිල, වෙල්ලස්ස මධ්‍ය මහා විද්‍යාලයේ දී පාසල් දරුවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

ලංකාවේ වකුගඩු රෝග අවදානම් දිස්ත්‍රික්ක 11 අතරින් මොණරාගල දිස්ත්‍රික්කය සුවිශේෂී වෙයි. දිස්ත්‍රික්කයෙන් මේ වනවිට වාර්තා වී ඇති වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව 1459 කට අධික අතර, සියඹලාණ්ඩුව, වැල්ලවාය, තණමල්විල සහ බුත්තල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.

රුපියල් මිලියන 23ක් වැය කරමින් පවුල් 47500කට පමණ දිනකට ජල ලීටර් 190,000ක් පමණ පිරිවැය කිරීමට හැකියාව ඇති ප්‍රති ආශ්‍රැතකරණ ජල පද්ධති 19ක් ස්ථාපිත කිරීම ද මෙම වැඩසටහනට සමඟාමීව සිදු කෙරෙණි.

වකුගඩු රෝගී අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් වස විසෙන් තොර දේශීය සහල් ලබාදීම, දරුවන්ට අධ්‍යාපනික ශිෂ්‍යත්ව ලබාදීම, වකුගඩු රෝගීන් පෙර හඳුනා ගැනීමේ සායන පැවැත්වීම ඇතුළු වැඩසටහන් ද ක්‍රියාත්මක විය.

නව අදහස දක්වන්න