කැකිල්ලේ දෙවෙනි තීන්දුව | දිනමිණ

කැකිල්ලේ දෙවෙනි තීන්දුව

මේ රටට නැවත අයි එස් අයි එස්වරුන්ගේ ප්‍රහාරයක් එල්ල වන බවට සැක කරන ආරංචි ඇවිත් තියෙනවා. එම වැඩ ගැන දැනගන්නට ඉඩ ලැබෙන්නේ දියුණු රටවල් වල ආරක්ෂක වැඩසටහන් වලින්.

ඇත්තටම මේ වගේ ප්‍රහාර ඉහළ බලවත් සංවිධානවල ආධාර නැතිව මේ පොළවේ ඇති කළ නොහැකියි කියන විශ්වාසය වැඩි වෙලා.

‘සමහරු තවමත් හිතන්නේ මුස්ලිම්වරුන් මේ රට තුළම සංවිධාන කළ ප්‍රහාරවලින් පල්ලි කැඩුවා කියල තමයි. විදේශ සංවිධාන මොටද මේකට එන්නේ. මේක රට තුළම මුස්ලිම්වරු සංවිධානය කළ දෙයක්. ඔය අහුවෙලා ඉන්න අයත් මේරටේ අයනේ ' කියල කියනවා. මේක නම් කැකිල්ලේ නඩුව වගේ දෙයක්. එදා කැකිල්ලේ රජ්ජුරුවෝ හොරකමකට දඬුවම් දෙන්න සිංහල වෙළෙන්ඳෙක්ව අල්ල ගත්තාලු. ඔහුගේ හොරකම හොඳටම ඔප්පු වුණාලු. එතකොට ඔහුව එල්ලා මැරීමට තීන්දු වුනා. එදාත් අද වගේම හොරකම් වලට එල්ලා මැරීම තිබුණ බවයි කියවෙන්නේ. ඒ වෙලාවේ හොරකම් කළ වෙළෙන්ඳා කියල තියෙනවා තමන්ට නිදහසට කරුණක් කියන්න ඉඩ දෙන්න කියලා. රජ්ජුරුවෝ එයට ඉඩ දීල තියෙනවා. මේ වෙළෙන්ඳා කතා කරල කියල තියෙනවා, 'අනේ රජතුමනි, මං වරදකරු වුණත් මා කෙට්ටු නිසා මැරෙන්නේ නැතුව එල්ලිලා දිගට ඉන්න ඉඩ තියෙනවා. මෙයට හොඳම පිළියම, මගෙ කඩේට අල්ලපු කඩේ මුස්ලිම් මුදලාලි හොඳ තරබාරුව වැඩිල ඉන්නවා. ඔහුට මරණ දඩුවම දුන්නොත් එල්ලීම හොඳට ක්‍රියාත්මක වෙයි. හොඳට හිර වෙලා මැරෙයි. එවිට නියම උත්සවයක් ඇති කරගෙන මේ රාජ්‍ය ප්‍රතිපත්තිය නියම ලෙසට ක්‍රියාත්මක වෙයි.' මෙය පිළිගත් එදා රජු, ලොකු මහත මුදලාලි බිල්ලට ගත්ත වගේ සෙල්ලමක් මෙහෙදිත් මෙදා සිද්ධ වෙනවා. අදත් නිරපරාදේ මුස්ලිම් මිනිසාට වැරැද්ද පටවනවා, අයි එස් පහර ගැසීම ගැන. ඊළඟට එය කැකිල්ලේ නඩු තීන්දුවක් බවට පත් වෙනවා. අයි එස් අභිධර්මය තුළින් බිහිවුණ මාරයා නිකම්ම ලංකාවේ මුස්ලිම් ජනයාගේ වැරැද්දක් ලෙසට තීරණය කිරීම පරණ කැකිල්ලේ නඩු තීන්දුවටත් වඩා අපරාධයක් වෙනවා.

තව කෙනෙක් කියල තියෙනවා එදාම, මුස්ලිම් ආක්‍රමණ තුළින් බුදු දහම අනුව බිහිව තිබුණ නාලන්දාව පොළවට සමතලා කළා කියලා. මුලු ඉන්දියාවටම ඉස්ලාම් ආගම බෙදීමට බුදු දහම විනාශ කිරීමට පියවර ගත්තා, අදත් ඒ දෙයම සිදුවෙනවා කියල. ඒත් මේ අයට මතකයක් නෑ කතෝලික ආගම ප්‍රචාරය කිරීම සඳහා මුලු කෝට්ටේ රාජධානිය පුරාම කතෝලික පරංගි හමුදා ක්‍රියා කළ බව. ධර්මපාල කුමරු බලෙන් කතෝලික ලෙස බවුතීස්ම කරල බුදු දහම බිඳ දැම්මා. 'කෝට්ටේ කලාලේ - දත මැද ගනින් රාලේ' යන කවිය අනුව කෝට්ටේ විනාශය දැකල දන්ත ධාතුව නුවරට ගෙනියන්න රජ දරුවො ක්‍රියා කළා. එදා මුස්ලිම්වරුන්ට දැඩි පහර එල්ල වුණා. ඒ නිසා ඒ අය දලදාව ගෙන යන සටනේ කැරලිකරුවන් ලෙසට දහස් ගණනක් නුවර රාජධානියට ගෙනයන්න මුස්ලිම්වරු සහභාගී වුණා. නුවර බොදු රාජධානියට මුස්ලිම්වරු උදව් වුණා. නාලන්දාව ගැන ඉතිහාසයට කියන මේ ජාතිවාදීන්ට අවුරුදු තුන්හාරසීයකට පෙර මුස්ලිම්වරු දලදාව එහි ආරක්ෂාව වෙනුවෙන් නුවරට ගෙනියන්න උදව් කළ බව අමතක වෙනවා.

තමන්ට ගැලවෙන්න ජාතිවාදය අවුස්සන්න ඉතිහාසය විකෘති කරගෙන මලබෙර ගසන්න ක්‍රියා කරනවා. මිනිස් ඉතිහාසය බොරු ඉතිහාසයක් නොවෙයි. එය ඇත්ත සදාචාරයේ ඉතිහාසයයි. සදාචාරය එක ආගමකට දෙන බූදලයක් නොවෙයි. එය ගලාගෙන ආපු මහඟු මිනිස්කමේ උදානයක්. සෑම අර්බූධයකම දරුණු සාපරාධී වැඩ සිදුවුණත් ඊළඟට සදාචාරයේ පදනම හැටියට මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ෂාව ජය ගත්තා. බොරුව, කෝපය හා ලෝබ කම පරාජයට පත්වුණා.

ඉදිරියේ දී අපට යන්න තියෙන මාවත, සියලු ජනතාවගේ එකඟත්වයන් ඇතිවීම තුළින් දියත් විය යුතුයි. එය ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ මුල් ඇරඹීමයි. එය ට්‍රොට්ස්කි කී ලෙසටම සමාජවාදය කරා ගලා යා යුතුයි. එය මෙහෙම රුසියාවේ, නැතිනම් ලෝකයේ වෙනත් එක තැනකට සීමා වෙලා නෑ. මුලු ගෝලීය ධනවාදී ලෝකය තුළම ප්‍රජාතන්ත්‍රවාදී සදාචාරමය පෙරළියක් ලෙසට ගලාගෙන ගොස්, ලොවටම සමාජවාදය උදා කරන බවයි පෙනෙන්නට තිබෙන්නේ. වෙන ලෙසකට මෙය ගලාගෙන යන්න බෑ. මිනිසුකම හා සදාචාරය යනු සමාජවාදයේ ආරම්භක වෙඩිමුරය ලෙසට සළකන්න වෙනවා. මේ ලෝකය පුරාම ඇරඹුණ සදාචාර ගවේශනයක් හැටියට සළකන්න පුළුවන්. බිහිසුණු ගැටුම්වලින් සුපුරුදු ලෙසට මිනිස් ඉතිහාසය ගලාගෙන යනවා. එය ඇත්ත හා බොරුව අතර, නැතිනම් මිනිස්කම හා වලත්තකම අතර යුද්ධයක්. බිහිසුණු ආයුධ ගත් මිනිසාට තමා ජයගන්නවා ද?, විනාශ වෙනවා ද? කියා තීන්දු කරන්න වෙනවා.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

නව අදහස දක්වන්න