ගලපිටගලට ප්‍රශ්න පිට ප්‍රශ්න | දිනමිණ

ගලපිටගලට ප්‍රශ්න පිට ප්‍රශ්න

ගේ දොර වතුපිටි හැර දමා ජීවිතය බේරා ගැනීමට ගිය පිරිසට නැවත පදිංචියට මෙතෙක් අවස්ථාවක් ලැබී නැත. දැනට පදිංචිව සිටින අයට වන අලින්ගේ සංක්‍රමණය නිසා ජීවිතය පිළිබඳ අවදානමින් ජිවත්වීමට සිදු වී ඇත. කුඹුරු වගා කරන කාලයට අලින් සහ මඩකළපුව ප්‍රදේශයේ ගොවීන් විසින් ආයාලේ යවන ගව පට්ටිද මොනරුන්, රිලවුන්, දඬුලේනුන් ද තමන්ගේ ඉඩම්වල භවභෝග විනාශ කර දමන බවද මෙම හානි කර සතුන් පලවා හැරීමට හෝ විනාශ කර දැමීමට ක්‍රමයක් සැලසිය යුතු බවද ඔවුහු පවසති.

ගල්ඔය ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් පසු සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු ජනවර්ගවල ජනපදිකයන් පදිංචි කරවනු ලැබුවේ දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් තෝරාගත් ඉඩම්ලාභීන් සාමය, සමගිය සහ සහජීවනය පවත්වාගෙන යාමේ අරමුණ පෙරදැරිකරගෙන ය. එමෙන්ම දිස්ත්‍රික්කය තුළ ජිවත් වූ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාවට සියලු පහසුකම් සමග ගොඩ මඩ ඉඩම් හිමි කර දෙනු ලැබීය. මෙම ගොවි ජනපදවල මායිම් වූයේ අක්කර දහස් ගණනක් කුඹුරු යායවල්ය.

අප කියන්නට යන කතාවට සම්බන්ධ ගම්මානය අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ගලපිටගලය. මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් පැමිණි ජනපදිකයින් ගල්ඔය ගොවිජනපද ව්‍යාපාරයේ මෙම තිස්දෙවන ගොවි ජනපදයේ පදිංචි කරවනු ලැබීය.

ගලපිටගල ඩබ්ලිව්/ 104/සී නැගෙනහිර ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ ගොනාගොල්ල, සින්නවත්ත මාර්ගයෙන් සහ නවගිරියාව ඔය දිස්ත්‍රික් සීමාව වෙයි. නවගිරියව, මඩකළපුව, අම්පාර දිස්ත්‍රික්කවල සීමාවයි. වර්ග ක්‍රි.මී.04ක් වන මෙම ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ ජීවත් වූ පවුල් ගණන 194 ක් වන අතර මුළු ජනගහනය 814 ක් විය. පවුල් 145 ක සාමාජිකයෝ හෙක්ටයාර් 639 ක වී ගොවිතැනේ නියැලී සිටියහ. වී පමණක් නොව කොස්, දෙල්, පොල් සහ අනෙකුත් ආහාරවලින් ද ඔවුහු ආදායම් ලැබුහ.

මෙම ගම්මානයේ කෙළවර මඩකළපුව දිස්ත්‍රික් සීමාවයි. අක්කර සිය ගණනක් කුඹුරුවලින් එම සිමාව වෙන් වේ. ද්‍රවිඩ සහ සිංහල ජනතාව සහයෝගයෙන් හා සමාදානයෙන් ජීවත් වූ නමුත් බෙදුම්වාදී ත්‍රස්තවාදයට වැඩි ඉඩකඩ සහ වැඩි විශ්වාසයක් උදාවීම නිසා 1983 වසරේ සිට මෙම ජාතීන් දෙක අතර තිබු සමගිය සමාදානය දෙදරා යන්නට විය .

ගම්මානයේ කෙළවර තිබුණ නිවාස 25ක පවුල්වල සාමාජිකයින් ජීවිතය බේරා ගැනීම සඳහා ගම අතහැර දමා යන්නේ 1983 සිට ආරම්භ වූ කොටි ත්‍රස්තවාදි පහරදීම් වලින් ජිවිතය බේරා ගැනීම සඳහාය. තමන්ගේ ගේ දොර වතුපිටි හැරදමා වසර දෙකක් අවතැන් කඳවුරුවල ජීවත් වූ ඔවුන්ගෙන් වැඩි දෙනා පසු කලෙක කඳවුරු ජීවිතයෙන් මිදී අසල්වැසි තම ඥාාතීන්ගේ නිවෙස්වල සහ වෙනත් ප්‍රදේශවලට ගොස් ජීවත් වුහ . ඔවුන්ගේ ගේ දොර ඉඩකඩම් හැර දමා ජීවිතය බේරා ගැනිමට ගිය නිසා ඔවුන්ට තිබුණ සියලු දේ අහිමි විය. ආදායම් අහිමිවීම නිසා ජීවත්වීම සඳහා නොයෙක් දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නහ.

1983 සිට 1990 දක්වාත් එතැන් සිට යුද්ධය නිමා වූ 2006 දක්වාත් ඔවුන් වැඩි දෙනකුගේ දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වීම නිසා කූලීකරුවන් වශයෙන් මුදල් උපයා ජීවත්වීමට ඔවුන්ට සිදු විය. යුද්ධය අවසානයේ සාමය උදා වී තිබුණ ද මේ වන විට ඔවුන් ජීවිත බේරා ගැනිමට අතහැර දමා ගිය නිවාස මේ වන විට ගරා වැටෙන්නට පටන් ගෙන ඇත.

1952 මෙම ගොවි පවුල් පදිංවිකරවන විට තිබුණ තත්වයටත් වඩා වල් බිහි වී ඇති ඉඩකඩම්වල නැවත පදිංචි වීමට ඔවුන්ට රජය හෝ වෙනත් කෙනෙක් හෝ අත දිය යුතු බව මෙම පිරිසගේ අදහසයි.

ගේ දොර වතුපිටි හැර දමා ජීවිතය බේරා ගැනීමට ගිය පිරිසට නැවත පදිංචියට මෙතෙක් අවස්ථාවක් ලැබී නැත. දැනට පදිංචිව සිටින අයට වන අලීන්ගේ සංක්‍රමණය නිසා ජීවිතය පිළිබඳ අවදානමින් ජිවත්වීමට සිදු වී ඇත. කුඹුරු වගා කරන කාලයට අලින් සහ මඩකළපුව ප්‍රදේශයේ ගොවීන් විසින් ආයාලේ යවන ගව පට්ටිද මොනරුන්, රිලවුන්, දඬුලේනුන් ද තමන්ගේ ඉඩම්වල භවභෝග විනාශ කර දමන බවද මෙම හානි කර සතුන් පලවා හැරීමට හෝ විනාශ කර දැමීමට ක්‍රමයක් සැලසිය යුතු බවද ඔවුහු පවසති.

අම්පාර සිට ගලපිටගල දක්වා ධාවනය වන බස් රථ ගලපිටගල මංසන්දිය දක්වා පැමිණෙන අතර එතැන් සිට කි.මී. 02 ට වැඩි දුරක් ඔවුන් පා ගමනින් හො වෙනත් කුලියට ගත් වාහනයක ගමන් කළ යුතුය. එම මාර්ග අවුරුදු ගණනකින් නඩත්තු නොකිරීම නිසා තැන් තැන් වලින් සෝදා ගෙන ගොස් අබලන් වී ඇත. කුඹුරුවලට වතුර ගෙනයන ඇළ මාර්ග සහ බෝක්කු බොහොමයක්ද අබලන්ව ඇත. අලින් මුණගැසීම කොයි මොහොතේ සිදු විය හැකි දැයි කිව නොහැකි නිසා දිවා රාත්‍රි හැමවිටම ගම්මානය තුළ නිදහසේ ඇවිදීමට නොහැකි වී ඇත. ගම්මානයේ කෙළවර ගණ වනාන්තර බවට පත්ව ඇත. එම වනාන්තර එළි පෙහෙළි කර දැමුවහොත් අලින්ගේ සංක්‍රමණය වළකිනු ඇතැයි ගම්වාසීහු කියති එහෙත් මෙම කටයුතු ගම්වාසීන්ට තනිවම කළ නොහැකි අතර ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර යොදා කිරීමට සිදු වී ඇති නිසා තමන්ගේ සහය ද ඒ සඳහා ලබාගෙන එම කටයුතු සිදු කළ යුතු බව ගම්වාසීන්ගේ යෝජනාවයි.

වසර 36ක් තිස්සේ අබලන් වී ඇති නිවාස නැවත අලුතින්ම ඉදි කිරීමට සිදුවන බවත් ඒ සඳහා රජයේ හෝ වෙනත් මුදල් හදල් ඇති ආයතනයක සහාය ලැබිය යුතු බවත්

රට පුරාම කරගෙන යන නිවාස ඉදිකිරීමේ කටයුතු මෙම ප්‍රදේශයට ද හඳුන්වාදීමෙන් එම ප්‍රශ්නයට පිළිතුරු සපයා ගත ඇති බවත් ගම්වාසීන්ගේ අදහසයි.

අසල්වාසී ද්‍රවිඩ ජාතික ගම්වාසින්ගේ පවා පවස නිවා ගැනීමට ජලය සැපයූ ගම කෙළවර තිබෙන ළිඳ මේ වන විට අබලන්ව ජලය මඩ පැහැ ගැන්වි ඇත. ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් මෙම ගොවිජනපදයේ ආරමභක නිවෙස්වලට පානීය ජලය බෙදා හැරීම සිදු කරන හෙයින් මෙම ගම්මානයේ කෙළවර දක්වා එම ජල නල මාර්ගය දීර්ඝ කරන ලෙසට ගම්මානයේ විදුලිය නොමැති නිසා නිවෙස්වලට විදුලිය ලබා දීම සිදු විය යුතුය. ඒ සඳහා තමන් ළඟ මුදල් නොමැකි හෙයින් රජය මගින් මූලික කටයුතු සිදු කළ යුතු යැයිද ගම්වාසීහු පවසති.

බෙදුම්වාදී යුද්ධය නිසා 1983 සිට අවතැන් වි සිටින ගලපිටගල නැගෙනහිර ඩබ්ලිව්/ 104/සී .ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ පවුල් 25 ක සාමාජිකයින් නැවත පදිංචිකිරීම සම්බන්ධයෙන් අම්පාර උහන සමනබැද්ද විහාරස්ථානයේ පිහිටුවා තිබෙන දිරියකාන්තා සංවර්ධන පදනම විසින් රජයේ අවධානය යොමු කිරීම පිණිස ව්‍යාපෘති වාර්තාවක් පිළියෙල කර අම්පාර මහ දිසාපතිවරයා දැනුවත් කිරිමේ හමුවක් පසුගිය මාර්තු 12 වනදා අම්පාර දිසාපති කාර්යාලයේ ඩී.එම්. ආරිය රත්න ශාලාවේ දී සංවිධානය කර තිබුණි . උහන සහකාර ප්‍රාදේශීය ලේකම් ශ්‍යාමලී කුලතුංග මහත්මිය සමඟ සංවර්ධන නිලධාරීන් ගම්වාසින් සහ දිරියකාන්ති පදනමේ සමාජිකාවන් ද සහභාගී වූ මෙම හමුවේ දී නැවත පදිචි කිරීම සඳහා රජයෙන් ඉටු විය යුතු කාර්ය භාරය වේගවත් කිරීමට එහි දී අවධානය විය.

ගලපිටගල පූර්වාරාම විහාරස්ථවාසී ගලපිටගල පඤ්ඤානන්ද හිමි මෙහිදී මේසේ පැවසූහ

“ 1950 දී ගල්ඔයට ගෙනවිත් දැමූ මෙම මිනිසුන්ගේ දරුවන් ගැන කිසිකෙනෙක් සොයා බැලුවේ නැහැ. යුද්ධය කාලයේ දී අවතැන් වූ අය වෙත ලබා දී ඇති ලියකියවිලි රැගෙන අවුරැදු 7-8 ක් ඔවුන් කාර්යාල ගාණේ ඇවිද්දා එම ලියකියවිලි ඔවුන්ගේ අතටම දියවී ගිය නමුත් විපතට පත්වූ අයට ලැබුණ දෙයක් නැහැ“.

යුද්ධය නිසා අවතැන් වී සිටින ගලපිටගල ජනතාව යළි නගා සිටුවීම පිණිස දිරිය කාන්තා සංවර්ධන පදනම විසින් කරගෙන යනු ලබන කාර්යයේදී පෙරමුණ ගෙන සිටින්නේ ඩබ්. ජී. ප්‍රේමදාස මහතා-මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා දිවා රාත්‍රී වෙහෙස වී එම ගම්මානයේ අස්සක් මුල්ලක් නෑර ගමන් කරමින් අවතැන් වූ පුද්ගලයන් හමුවෙමින් දිරිය කාන්තා සංවර්ධන පදනමේ සාමාජිකාවන්ට අවශ්‍ය තොරතුරු හා පුද්ගලයන් හඳුන්වාදෙමින් ඔහු කරන මෙහෙය විශාලය. දවසට කිහිපවරක් පමණක් ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස්රථයකින් ගලපිටගල හන්දියට පැමිණි විට කිලෝමීටර තුන හතරක් ගම තුළට යාමට ඔහුගේ යතුරුපැදිය සහ යුද්ධය නිසා අවතැන් වී පාදයක්ද අහිමිවී සිටින එම්. එච්. ගුණපාල මහතාගේ ත්‍රී රෝද රථයද ඉමහත් සේවාවක් ඉටුකරනු ලබයි.

ඩබ්. ජී. ප්‍රේමදාස මහතා - "1955 දී ගල්ඔයට පැමිණි පවුල් 150ක් ගලපිටගල පදිංචි කරනු ලැබුවා. අපේ ගම සහ මඩකළපුව දිස්ත්‍රික්කය වෙන්වන්නේ අක්කර දහස් ගණනක කුඹුරු යායකින්. සිංහල, දෙමළ භේදයක් අපි අතර තිබුණේ නෑ. බෙදුම්වාදී යුද්ධය 1986 දී අපේ ගමට පැමිණි දා සිට අපි දෙකොටස අතර අවිශ්වාසය ගොඩනැගුණා. නමුත් මෙවන විට පෙර පැවති සහෝදරකම නැවත ගොඩනැඟී තිබෙනවා. ගම කෙළවර පදිංචිව සිටි ගම්වාසීන්ට යුද්ධය නිසා ගේ දොර අතහැරීමට සිදු වුණා. ගමේ කෙළවරදී සිදු වූ සිද්ධීන්වලදී මියගිය සහ අතුරුදන් වූ අය නිසා ගම්මානය මළ ගෙයක් බවට පත්වුණා. ගම්වාසීන් සියලු දේ අතහැර තමන්ගේ ජීවිත බේරාගෙන ගමෙන් පිටවුණා.

දැන් නැවත අබලන් වී ඇති නිවාස ගොඩනඟාගෙන නැවත පදිංචිවීම ඔවුන්ගේ අරමුණයි. "

පී.ඒ. සෝමචන්ද්‍ර මහතා - යුද්ධය ඇවිලී යනවිට ගම කෙළවර ජීවත්වීමට නොහැකි තත්වයක් උදාවුණා. ගලපිටගල සින්නවත්ත ප්‍රදේශවල රජය විසින් ආරම්භ කරනු ලැබූ අනාථ කඳවුරුවල අවුරුදු දෙකක් පමණ ජීවත්වීමට ගමේ බොහෝ‍ දෙනාට සිදුවුණා.ඉන්පසුව මහඔය බෝගමුයායට ගෙනගොස් පදිංචිකරවනු ලැබුවා. එහිදීත් ත්‍රස්තවාදී ප්‍රහාර නිසා බෝගමුයාය අතහැර දමා නැවත පැමිණ ගලපිටගල ආසන්නයේ පදිංචිවුණා. යුද්ධයෙන් අවතැන් වූ අයට පුනරුත්ථාපන කාඩ්පත් ලබාදී තිබුණා. ඒ කාලයේදී ඇතැම් රජයේ නිලධාරීන් එම මුදල් අපට ලබානොදී වංචා කළා. අපේ වවුචර්වල අත්සන් කළත් අපට මුදල් ලැබුණේ නැහැ. මේ වන විටත් අපේ ප්‍රශ්න නැහැ. "

ඊ. එච්. අමරදාස මහතා - 1985 සිට අපට ගමන් බිමන් යාමට සිදුවුණේ විශේෂ කාර්ය බළකා භටයින් පැමිණ මාර්ග පරීක්ෂා කිරීමෙන් පසුවයි. කුඹුරු කපාගන්නත් එවැනි ආරක්ෂාවක් ලැබුණා. ඉන්පසුව ගමෙන් පිටවෙන්න සිදුවුණා. මේ වන විට යුද්ධය අවසන්. නමුත් අලි, රිළවු, වඳුරන්, මොනරුන් සහ දඬුලේනුන්ගෙන් හිරිහැරයට පත්වීමට ගම්වාසීන්ට සිදුවී තිබෙනවා.

ගමේ මුල් කොටසට අභ්‍යන්තර මාර්ග, පානීය ජලය සහ විදුලිය තිබුණත් ගම කෙළවර වන විට එම පහසුකම් නැහැ. විනාශ වු නිවාස තව තවත් විනාශ වෙනවා. අවතැන් පිටවු ගම්වැසියන්ට නිවාස ඉදිකරගැනීම සඳහා රජයේ සහයෝගය ලබාදිය යුතු බව අපගේ ඉල්ලීමයි. "

ධනපාල කොඩිතුවක්කු මහතා - "අම්මලා තාත්තලා එක්ක 1955 දී ගලපිටගලට එනකොට මගෙ වයස අවුරුදු 8 යි. මෙම ගම්මානයේ පදිංචිව සිටින්නේ හම්බන්තොට මාතර බෙලිඅත්ත ප්‍රදේශවලින් පැමිණි අයයි. යුද වාතාවරණය නිසා ගේදොර අතහැර දමා රාත්‍රීයේදී කැලයට ගොස් නිදාගැනීමට සිදුවූ කාලයක් තිබුණා. යුද්ධය පැවති කාලයේදී අනාථ කඳවුරක් පවත්වාගෙන යාමට මමත් මුල් වුණා. ඒ කාලාය් දී පැවති තත්වය නිසා ගම කෙළවර පදිංචිව සිටි අයට නොයෙක් පළාත්වලට විසිරයාමට සිදුවුණා. තවමත් ඒ ඉඩම් සහ නිවාස නටබුන් වී වල් බිහිවී තිබෙනවා.

ගලපිටගල ගම කෙළවරේ පොලිස් මුරපළ ආරම්භ කිරීමට දුන්නේ මම පදිංචිව සිටි නිවසයි. එම නිවෙස දැන් බොහෝ දුරට බිමට සමතලා වෙලා."

එම්.එච්. ගුණපාල මහතා - ගම කෙළවර පොලිස් මුරපළේ ග්‍රාමාරක්ෂකයකු ලෙස කටයුතු කරන කාලයේ වෙඩි වැදීමකින් මගේ කකුල අහිමිවුණා. මඩ කුඹුරුවලට බැහැලා වැඩ කරන්න අමාරුයි. මම ගොඩ ඉඩම්වල පැණි කොමඩු වට්ටක්කා, කවුපි, මුං ඇට වගාකර ආදායම් ලබනවා. මීටර් 300 දිග ජල නල සහ වතුර පොම්පයක් ලබාදෙනවා නම් මගේ වගාවන් සාර්ථක කරගත හැකිවෙනවා. "

පියසේන වතුදුර 
දිගාමඩුල්ල සංචාරක

නව අදහස දක්වන්න