මානවිල වෙඩි තැබීම! | දිනමිණ

මානවිල වෙඩි තැබීම!

අක්මීමන - මානවිල උපනන්ද විදුහලේ සිදු වූ වෙඩි තැබීම මේ වන විට සමාජයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී ඇත. සිද්ධියෙන් පියෙක් මියගොස් ඇත. වෙඩි තැබූ හමුදා සෙබළා හා ගිනිඅවිය අත්අඩංගුවට ගෙන තිබේ. පුවත්පත් වාර්තාවල සඳහන් වන අන්දමට ඉහත සිද්ධියෙන් මියගිය පියා පාසල් ගේට්ටුවෙන් බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දරා ඇත. ඒ අතර ආරක්ෂක භටයා සමඟ බහින්-බස්වීමක් ද ඇතිකරගෙන ඇත. හමුදා සෙබළාගේ කටඋත්තරයට අනුව පියා ආරක්ෂක භටයාගේ ගිනිඅවිය උදුරා ගැනීමට ද උත්සාහ දරා තිබේ. වෙඩි තැබීම සිදුවන්නේ ඉන් පසුව බව ද කියති. පාසල්වල ආරක්ෂාවට ගිනිඅවි සහිත සෙබළුන් යෙදවීම සම්බන්ධයෙන් ගැටලුවක් ද මෙහිදී මතු වෙයි.

මේ සිද්ධිය පසුපස අනුවේදනීය කතාවක් ද තිබේ. ‍එම කතාවට අනුව මියගිය පියාගේ දියණියකට පාසලේ දී අසනීප තත්ත්වයක් මතු වී ඇතැ’යි දුරකථන ඇමැතුමක් ලැබී ඇත. පියා වහාම පාසල් පරිශ්‍රයට පැමිණ පන්ති කාමරය වෙත යෑමට උත්සාහ දරා ඇත. තම දරුවකුගේ අසනීපයක් ගැන සොයා බැලීම හා වහාම ප්‍රතිකාර ලබාදීම පියකුගේ යුතුකම ය. දරුවකු අසනීප වූ කල පියකුට දැනෙන වේදනාව දන්නේ පියකුම පමණි. ඒ අනුව මේ පියා ද ක්‍රියාත්මක වී ඇත. මෙබඳු පසුබිමක දී තත්ත්වය නිරීක්ෂණය කොට පියාට පාසලට ඇතුළුවීමට ඉඩ දිය යුතුව තිබිණි. එහෙත් හමුදා සෙබළා එවැන්නක් සිදු කර නැති බව පෙනෙයි.

ඉහත වෙඩි තැබීම සාධාරණ නැතැ’යි කෙනකු තර්ක කරන්නට පුළුවන. හමුදා සෙබළා තමන්ගේ ආරක්ෂාවට හෝ ප්‍රතිමල්ලවයා මර්දනය කිරීමට හෝ වෙඩි තැබීම සිදු කළේ නම්; මියගිය පුද්ගලයාගේ දණින් පහළට වෙඩි තැබිය යුතුව තිබේ. නැතහොත් අහසට වෙඩි තබා ප්‍රතිමල්ලවයා බියට පත් කළ යුතුව තිබේ. එහෙත් වෙඩි තබා ඇත්තේ පුද්ගලයාගේ උදර ප්‍රදේශයට ය. එබැවින් ඔහු මරණයට පත් වී ඇත. සිද්ධිය පිළිබඳ තවදුරටත් කරුණු ගවේෂණය කරන විට පෙනී යන්නේ මියගිය පියා ද කලක් නාවික හමුදාවේ සේවය කළ අයකු බව ය. ඒ අනුව ඔහු හමුදා සෙබළාගේ අණ නොසලකා හරින්නට ඇතැ’යි සිතන්නට පුළුවන. සමස්ත සිද්ධිය නිරීක්ෂණය කරන විට පෙනීයන්නේ දෙදෙනා අතර උග්‍ර මත ගැටුමක් සිදු වී ඇති බව ය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සියලු ම පාසල්වලට පොලිසියේ හා යුද හමුදාවේ ආරක්ෂාව ලබා දී ඇත්තේ දරුවන්ගේ ද, පාසල්වල ද ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ය. එය මාපියන්ගේ ද ඉල්ලීමක් විය. පොලිසිය හා හමුදාව සිය රාජකාරිය හොඳින් ඉටුකරන බවක් ද පෙනෙන්නට තිබේ. ඒ අනුව පාසල් කාලය තුළ පිටස්තරයන්ට අදාළ පරිශ්‍රයට ඇතුළුවීම පමණක් නො ව; එම පරිශ්‍රය ආශ්‍රිතව වාහන නැවැත්වීම ද තහනම් ය. මෙබඳු තත්ත්වයක් තුළ කෙනකු පාසලට ඇතුළු වන්නේ නම්; විදුහල්පතිවරයාගේ අවසරයක් ලබාගත යුතු ය. අක්මීමන දී මියගිය පියා විදුහල්පතිවරයාගෙන් එබඳු අවසරයක් ලබාගත් බවක් ‍වාර්තා වී නැත. පෙනීයන්නේ ඔහු බලහත්කාරයෙන් ම පාසලට ඇතුළු වීමට උත්සාහ දරා ඇති බව ය.

වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සාක්ෂි හා කටඋත්තර එකිනෙකට පරස්පර බව පෙනී ගොස් තිබේ. මියගිය පුද්ගලයාගේ දියණියගේ සාක්ෂියෙහි සටහන් වන්නේ පියා පන්තියට පැමිණ දියණිය කැඳවාගෙන ගොස්; නැවතත් පාසලට ඇතුළුවීමට උත්සාහ දරද්දී වෙඩි තැබීම සිදු වූ බව ය. හමුදා සෙබළාගේ කටඋත්තරයට අනුව මියගිය පියා භටයාගේ ගිනිඅවිය උදුරාගැනීම සඳහා පොරබදා ඇත. මෙහි ඇත්ත - නැත්ත සොයා බැලීම සඳහා විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු ව තිබේ. පාසල් කාලය තුළ බලහත්කාරයෙන් ඊට ඇතුළු වීමට කිසිවකුට අවසර නැත. එලෙස ම පාසලකට ඇතුළු වීමට එන පුද්ගලයකු වෙඩි තබා මරා දැමීමට ද ආරක්ෂක අංශවලට අයිතියක් නැත. දෙපාර්ශ්වය ම තම - තමන්ගේ වගවීම් අනුව ක්‍රියාකර නැති බවක් පෙනෙන්නට තිබේ.

සිද්ධියෙන් පසු මුළු පාසලම ගාලගෝට්ටියක් බවට පෙරැළී ඇත. මාපියෝ පාසලට කඩාවැදී තම දරුවන් රැගෙන ගියහ. සමහරු කලබලකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත්හ. මුළු පාසල ම අවුලක් බවට පත් ව තිබූ බව වාර්තා වෙයි. මාපියන් නීතිය අතට ගෙන ක්‍රියාකරන්නට පෙලැඹීමත් දරුවන් නිවෙස් වෙත රැගෙන යෑමත් ඒ තරම් ම යහපත් නැත. මෙබඳු හදිසි අවස්ථාවක දී කළ යුත්තේ ඇවිලෙන ගින්නට පිදුරු දැමීම නො ව; එය නිවා දමන්නට ක්‍රියා කිරීම ය. සන්සුන්ව හා බුද්ධිමත් ව තීරණ ගැනීම වඩාත් වැදගත් ය. කලහකාරී පිරිස් ආරක්ෂක අංශ සමඟ ගැටුමක් ඇතිකර ගත්තේ නම්‍; තවත් විනාශයක් සිදුවීමට ඉඩ තිබිණි. එය වැළකී ගොස් තිබීම වාසනාවකි.

සිද්ධියට අදාළ තවත් සාධක දෙකක් මෙහිලා සටහන් කර තැබීම වටී. පළමු සාධකය වන්නේ පාසල් කාලය තුළ දරුවකු අසනීප වූ විට ගුරු මණ්ඩලය හෝ විදුහල්පතිවරයා හෝ ක්‍රියා කළ යුතු ආකාරය යි. දෙවන සාධකය වන්නේ පාසලට ආරක්ෂාව සපයන පොලිසිය හෝ යුද හමුදාව හෝ මෙබඳු අවස්ථාවක ක්‍රියා කළ යුතු ආකාරය යි. දරුවකු අසනීප වූ විට මාපියන්ට එය දැන්වීම ගුරුවරුන්ගේ වගකීමකි. එලෙස ම පවතින ආරක්ෂක තත්ත්වය යටතේ එය ආරක්ෂක අංශ වෙත ද දන්වා අවශ්‍ය පියවර ගත යුතුව තිබිණි. එවැන්නක් ගුරු මණ්ඩලය අතින් සිදු වී නැති බව පෙනෙයි. ආරක්ෂක අංශ ද මෙබඳු අවස්ථාවක දී තුවක්කුව නො ව; ඔළුව පාවිච්චි කිරීමට පෙලඹෙන්නේ නම්; වඩා වැදගත් ය. මේ සම්බන්ධයෙන් ආරක්ෂක භටයන්ට උපදේශන ලබාදිය යුතුව තිබේ.

මේ වන විට රටේ ආරක්ෂාව තහවුරු වී ඇති බැවින් පාසල්වලට තවදුරටත් යුද හමුදා ආරක්ෂාවක් අවශ්‍ය ද යන්න සොයා බැලිය යුතු තවත් කාරණයකි. පාසල් ගේට්ටු අසල අවිගත් සෙබළුන් රැඳී සිටීම දරුවන්ගේ මානසික තත්ත්වයට ද එතරම් ගැළපෙන්නේ නැත. අනවශ්‍ය ලෙස සිදුකරන පරීක්ෂාවන් මෙන් ම ඇඟිලි ගැසීම් ද නිදහස් අධ්‍යාපනයට බාධාවකි. රටේ බලධාරීන් සාකච්ඡාකොට මේ ගැන තීරණයක් ගත යුතුව තිබේ. මේ සිද්ධියේදී හමුදා සෙබළා වැරැදි යැයි අප කියන්නේ නැත. මියගිය පියා වැරැදි යැයි අප කියන්නේ ද නැත. සුදුසු ම ක්‍රියාව වන්නේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම ය.

 


නව අදහස දක්වන්න