ශ්‍රී ලංකා-බංග්ලාදේශ එක්දින තරගාවලියක් මේ මාසයේ කොළඹදී | දිනමිණ


 

ශ්‍රී ලංකා-බංග්ලාදේශ එක්දින තරගාවලියක් මේ මාසයේ කොළඹදී

ප්‍රින්ස් ගුණසේකර

නවසීලන්ත ක්‍රිකට් පිලත් ලබන 3 වැනිදා ශ්‍රී ලංකාවට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන් ඉවතට විසිවූ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය මේ මස අවසන් සතියේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි. එම සංචාරයට එක්වන බංග්ලාදේශ පිල මේ 21 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර දිවා - රාත්‍රී එක්දින තරග තුනක් සංවිධාන කොට ඇත. මේ දිවා දිවා - රාත්‍රී එක්දින තරග තුන මේ මස 25, 27 හා 29 යන දිනවල පැවැත්වීමට තීරණය කර ඇති අතර පුහුණු තරග දෙකකට ද බංග්ලාදේශ පිල සහභාගී වේ.

මේ අතර නවසීලන්ත ක්‍රිකට් පිල ලබන මස 3වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව තහවුරු කොට ඇත. නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරග දෙකක් හා විස්සයි 20 තරග තුනක් පැවැත්වෙන අතර සැප්තැම්බර් 7වැනිදා ඔවුන් යළිත් නවසීලන්තය බලා පිටත්වීමට නියමිතය.

පළමු ටෙස්ට් තරගය ලබන මස 14 වැනිදා සිට 18 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන මස 22 සිට 26 දක්වා පී. සරා ඕවල් පිටියේදී පැවැත්වේ. මුල්ම විස්සයි 20 තරග දෙක ලබන මස 31 හා සැප්තැම්බර් මස 2 යන දිනවලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හා අවසන් විස්සයි 20 තරගය සැප්තැම්බර් 6 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පසුගියදා සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් පසු මේ සංචාරය අතහැර දමන බවට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශයක් නිකුත් කළද පසුව එරට ආරක්ෂක ප්‍රධානීන් කිහිපදෙනකු ශ්‍රී ලංකාවේ කළ සංචාරයකින් පසු ආරක්ෂාව පිළිබඳ යහපත් සහතිකයක් ලැබී ඇත. බංග්ලාදේශ බුද්ධි තොරතුරු ඒකකයද දැනට ශ්‍රී ලංකාවේ පවතින ආරක්ෂක තත්ත්වය යහපත් බවට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට වාර්තාවක් ලබාදී ඇති හෙයින් සංචාරය ස්ථීර විය. එමෙන්ම බංග්ලාදේශ පිල ශ්‍රී ලංකාවේ සිටින කාලය අතරතුර විශේෂ ප්‍රභූ ආරක්ෂාවක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟතාව පළ කිරීමද විශේෂත්වයකි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර තරගය වැස්සට සේදී ගිය අතර එයට පෙර අවසන් වරට බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව ඩුබායි හීදී පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී හමුවී ශ්‍රී ලංකාව ලකුණු 137ක පරාජයක් ලැබීය.

බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව මෙතෙක් එක්දින ජාත්‍යන්තර තරග 45කට සහභාගීවී ඇති අතර එයින් තරග 36ක ජය ශ්‍රී ලංකාව හා තරග 7ක ජය බංග්ලාදේශය හිමිකර ගෙන ඇත. පසුගිය වසරේ දෙරට අතර පැවැති එක්දින ජාත්‍යන්තර තරග 4කදී දෙපිලම තරග දෙක බැගින් ජය වාර්තා කළේය.

නව අදහස දක්වන්න