ශ්‍රී ලංකා පිල අද ඉන්දියාව සමඟ තරග බිමට | දිනමිණ


 

ශ්‍රී ලංකා පිල අද ඉන්දියාව සමඟ තරග බිමට

ෆවුස් මොහොමඩ්

දැනටමත් අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කරගෙන සිටින ඉන්දීය කණ්ඩායම සමග අද (6) ලිඩ්ස් නුවර හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගමාලාවට සමුදෙන ශ්‍රී ලංකා පිලේ අවසන් තරගය ජයග්‍රහණයකින් නිමා කිරීම එකම බලාපොරොත්තුව බව නායක දිමුත් කරුණාරත්න කීවේය. මෙතෙක් තරග අටකට සහභාගි වී තරග 3ක් පමණක් ජයගත් ශ්‍රී ලංකා පිල ඊයේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි තැන පසුවූ අතර අද තරගය ජයගනිමින් ලකුණු සටහනේ හැකිතාක් ඉහළ ස්ථානයකින් තරගමාලාවට සමුදීම අරමුණ බවත් දිමුත් කීවේය.

ඊයේ දහවල් හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවේදී දිමුත් කියා සිටියේ පසුගියදා එංගලන්තය පරාජයට කිරීමට සමත්වූ මේ ක්‍රීඩාංගණය තම කණ්ඩායමට තරමක් වාසනාවන්ත තණතීරුවක් බවය.

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඇෆ්ගනිස්තානය අතර තරගය පැවතියේද මේ ක්‍රීඩාංගණයේ වන අතර එම තරගය පැවැති තණතීරුවම අද තරගයට භාවිත කිරීමට නියමිතය. ඒ අනුව තරගයේ පසු භාගයේදී තරමක දඟ කැවීමක් දක්නට ලැබෙනු ඇතැයි දිමුත් සඳහන් කළේය.

තරගමාලාවේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පිලේ පසුබෑමට හේතු වූ මැදපෙළ පිතිකරුවන්ගේ බිඳ වැටීම තරගමාලාවේ අවසන් භාගයේදී තරමක් යහපත් අතට හැරී තිබීම නිසා අද තරගයේදී ඉන්දීය පිලට දැඩි අභියෝගයක් ලබා දීම ශ්‍රී ලංකා පිලේ අධිෂ්ඨානය වී තිබේ.

සෙසු කණ්ඩායම්වලට දැඩි හිසරදයක් බවට පත්වූ ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා ඇතුළු ඉන්දීය පිලේ පිතිහරඹ අංශය මෙල්ල කිරිමට තරම් තම පන්දු යැවීමේ බලඈණිය ශක්තිමත් බවත් දිමුත් පැවැසීය. රෝහිත් ෂර්මා මේ වනවිට තරගමාලාවේ වැඩිම ලකුණු ලාභියා වන අතර ඔහු ඉනිම් 7කදී ලකුණු 544ක් රැස් කළේ ශතක 4ක්ම රැස් කරමිනි. ඒ අනුව මේ තරගමාලාවේ වැඩිම ශතකලාභියාගේ වාර්තාවත් ඔහු සතුය. නායක විරාත් කෝලි ඉනිම් 7කදී ලකුණු 408ක් ලබා සිටින්නේ අර්ධ ශතක 5ක් සමගිනි.

‘ඕනෑම ක්‍රීඩකයකුගේ දුර්වලතා තියෙනවා. ඉන්දිය පිතිකරුවන්ගෙත් එහෙමයි. අපි හැම කෙනකුගේම දක්ෂතා වීඩියෝ පට මගින් නරඹමින් ඔවුන්ගේ දුර්වලතා ගැන සාකච්ඡා කළා. ඒ අනුව තමයි අපේ සැලසුම් සකස් වෙන්නේ. නමුත් අපි පිටියෙන් පිටත කොයිතරම් සාකච්ඡා කළත්, සැලසුම් කළත් වැඩක් නෑ ඒවා පිටියේදී ඒ අයුරින්ම සිදු කෙරෙන්නේ නැතිනම්.’ ඔහු කීවේය.

අවසන් වරට එංගලන්ත භූමියේදී ශ්‍රී ලංකා පිල ඉන්දීය කණ්ඩායම සමග තරග වැදුණේ 2017 චැම්පියන් කුසලාන තරගමාලාවේදීය. එවර ලන්ඩන් ඕවල් පිටියේ පැවැති එම තරගයේදී ඉන්දිය පිල රැස් කළ ලකුණු 321 හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු අටක් ඉතිරිව තිබියදීම කඩුලු 7ක විශිෂ්ට ජයක් අත්කර ගත්තේය. එම තරගයේදී ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 76ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 89ක් ලබා ගත්තේය. නායකත්වය දැරූ ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 52ක් ද, අසේල ගුණරත්න නොදැවී ලකුණු 34ක් ද රැස් කළ අතර අංක 4 ස්ථානයෙන් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා ලකුණු 47ක් රැස් කරමින් සිටියදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්විය.

ශ්‍රී ලංකා පිල අද සූදානම් වන්නේ එවැනි ආකාරයේ දක්ෂතාවක් පෙන්නුම් කිරිමටය. ඉන්දියාව මේ වනවිට පරාජයට පත්වී ඇත්තේ එංගලන්තය හමුවේ පමණි.

අද තරගයේදි වෙනස් කම් සිදුවිය හැකිවුවත් එය තණතීරුව පරීක්ෂා කිරීමෙන් පසුව තීරණය කෙරෙන බව දිමුත් පැවැසීය.

නව අදහස දක්වන්න