ඉමාම්-අසාම් ඉනිම ගොඩනගති | දිනමිණ

ඉමාම්-අසාම් ඉනිම ගොඩනගති

ඉමාම් උල් හස් රැස්කළ ශතකයත්, බාබර් අසාම්ගේ විශිෂ්ට ඉනිමත් හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ අවසන් බලාපොරොත්තුව සමගින් ඊයේ ලන්ඩනයේ ලෝඩ්ස් පිටියට පිවිසි පාකිස්තානය පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 315ක් රැස් කළේය.

ලෝක කුසලාන තරගාවලියේ 43 වැනි තරගය ලෙස පැවැත්වෙන මේ තරගයෙන් පාකිස්තානය දැවැන්ත ජයක් අත්කර ගතහොත් ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය මත අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාක් හිමිවෙයි.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 13ක් ලබා සිටි ෆකාර් සමාන් දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි බාබර් අසාම්, ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු පන්දු 148කින් ලකුණු 157ක සබඳතාවක් ගොඩනැගුවේය.

පන්දු 89කදී හතරේ පහර 11ක් සමගින් ලකුණු 96ක් ලබාසිටි අසාම් දැවී යෑමෙන් එම සබඳතාව නිමාවිය. අසාම්, මොහම්මඩ් සයිෆුඩීන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ අතර සමාන් ද දැවී ගියේ සයිෆුඩීන්ගේ පන්දුවකිනි.

පන්දු 100කින් සිය 7 වැනි එක්දින ශතකය රැස්කළ ඉමාම් පාදය කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ මුළු ලකුණු 246දීය. තවත් ලකුණු 2ක් තුළ මොහොමඩ් හෆීස් (27) දැවී ගිය අතර වේගවත් ඉනිමක් දියත් කළ ඉමාඩ් වසීම් පන්දු 26කින් ලකුණු 43ක් රැස් කළේ හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමගිනි. පන්දු යැවීමේදී මුස්තාෆිසූර් රහ්මාන් ලකුණු 75කට කඩුලු 5ක් දවාගත් අතර මොහම්මඩ් සයිෆුඩීන් ලකුණු 77කට කඩුලු 3ක් දවා ගත්තේය.

කෙසේ වෙතත් මේ තරගය ජයගනිමින් පාකිස්තානයට අවසන් පූර්ව තරගයට යෑමට නම් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 7කට හෝ ඊට අඩුවෙන් දවා ගැනීමට සිදුව තිබිණි.


නව අදහස දක්වන්න