පසුගිය සිවු වසරේ ඇතිවූ නවීකරණයෙන් රටම මහනගරයක් වෙමින් තිබෙනවා | දිනමිණ

පසුගිය සිවු වසරේ ඇතිවූ නවීකරණයෙන් රටම මහනගරයක් වෙමින් තිබෙනවා

චමීර ඇල්ලදෙණිය

මාර්ග තද බදය විශාල සමාජ පීඩනයක් හා ආර්ථික පීඩනයක් ගෙන දෙනවා 
- ඇමැති පාඨලී චම්පික රණවක

පසුගිය වසර හතරේ දී ශ්‍රී ලංකාව තුළ ආරම්භ කළ නවීකරණයන් නිසා රටම මහ නගරයක් වෙමින් පවතින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේය.

මාලඹේ කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියේ ඉදිකිරිම් කටයුතු ආරම්භ කිරීම් වෙනුවෙන් පසුගිය (3) වැනිදා සිනමඩ් ග්‍රෑන්ස් හෝටලයේ පැවැති උත්සවයට එක්වෙමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

රටක් ඉදිරියට යෑමට නම් අධ්‍යාපනය, සෞඛ්‍ය, යටිතල පහසුකම් හා ප්‍රවාහන ක්ෂේත්‍ර නවීකරණය කළ යුතුයි. එසේ නොකළ රටේ බාහිර ස්වරූපය ලස්සන කළාට රටක් ඉදිරියට යන්නේ නෑ.විසි එක්වැනි සියවසේ නවීකරණයට අදාළ තවත් පුළුල් වැඩසටහනක් අද අපි ක්‍රියාත්මක කරනවා. සැහැල්ලු දුම්රිය පද්ධති වැඩසටහන අද ආරම්භ කරනවා. මේ පද්ධතියෙන් ගමනා ගමනයට විප්ලවීය වෙනසක් ඇති වෙනවා. අපේ ප්‍රවාහනය නවීකරණය කිරිම මෙමගින් සිදු වෙනවා. රටක් නවීකරණය වන විට සෑම අංශයකම නවීකරණය කළ යුතුයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය, සෞඛ්‍ය, වාණිජය, ප්‍රවාහනය, යටිතල පහසුකම් නවීකරණය කිරීම අරම්භ කරමින් තිබෙනවා. මේ නගරයේ නවීකරණය හැටියට එක් පැත්තකින් පෝට් සිටිය අනෙක් පැත්තෙන් විශාල ව්‍යාපෘති ඇති කරමින් තිබෙනවා. ඉහළ ආදායම් ලාභීන්ට පමණක් නොවෙයි අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති ඉදිකරමින් තිබෙනවා. සෑම ක්ෂේත්‍රයේම නව වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධිතිය නිසා කොළඹ සිට මාලඹේට තිබෙන අලුත් ප්‍රවාහන මාර්ගයක් නිර්මාණය වෙනවා. තවත් ප්‍රවාහන මධ්‍යස්ථාන ඇති කරමින් බහුකාර්ය ප්‍රවාහන මධයස්ථානයක් කොටුවේ ඉදි වෙනවා. කැලණියේ සිට ගුවන් මතින් මාර්ගක් වරාය නගරය දක්වා ඉදිකරනවා. ඒ මාර්ග කුළුණු මත වරාය නගරයට හා රාජගිරිය දක්වා ඉදි වෙනවා. අලුත් මහ නගරයක බිහිවීම තමයි අපි දකින්නේ. ඒ වැඩකටයුතු ක්‍රියාත්මක කළ පාඨලී චම්පික ඇමැතිතුමාට ස්තුති වන්ත වෙනවා. අපි නිරන්තරයෙන්ම ඉදිරිය ගැන හිතන්න ඕනෑ. ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕනෑ. අපි පසුපසට යන්න හදනවා නම් මේ දේවල් කරන්න බැහැ. මේ අවුරුදු පහේ අමාරුවෙන් හෝ නවීකරණය කළා. ඒ නවීකරණයේ දී විශාල කාර්යභාරයක් චම්පික රණවක ඇමැතිතුමා සිදු කළා. මේ අමාත්‍යාංශයේ සියළු දෙනාටම මා ස්තුති කරනවා.

මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා-

අපේ රටේ දුම්රිය සේවය ආරම්භ කර වසර සියයටක් වැඩියි. දුම්රිය සේවය ආරම්භ කළාට පසු අද දුම්රියේ විප්ලවීය වෙනසක් සිදු වෙනවා.ඉදිරි දශකයේ දුම්රිය සේවය නවීකරණයක් සිදු වෙනවා. අපේ රට අධික ජන ඝනත්වයෙන් පිරි රටක්. මේ රටේ තවදුරටත් පෞද්ගලික රථ වාහන වලට ඉඩදීමෙන් ප්‍රවාහනය ඉදිරියට යන්න බැහැ. මොකද මාර්ග තද බදය විශාල සමාජ පීඩනයක් හා ආර්ථික පීඩනයක් ගොඩනැගෙමින් තිබෙනවා. ඒ නිසා මේ රටේ සෑම පුරවැසියකුටම පෞද්ගලික වාහනයක් ලබා දීලා රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය තවදුරටත් දියුණු කරන්න බැහැ. ඒ නිසා පසුගිය දශක එකහමාරක කාලය තුළ රජයේ ප්‍රාග්ධන වියදම්වලින් වැඩි කොටසක් වියදම් කෙළේ මාර්ග සංවර්ධනය සඳහායි. මෙතැන් සිට අප ආරම්භ කරන ප්‍රවාහන විප්ලවයෙන් රට ඉදිරියට ගෙන යනවා. දුම්රිය සේවය ,බස් නවීකරණය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන නවීකරණ වැනි ව්‍යාපෘති මඟින් නව විප්ලවයක් ඇති වෙනවා. බොහෝ දෙනෙක් මේ ගැන සැකමුසු තර්ක ඇති කළා. මේ රටේ ව්‍යාපෘතියක් ඇති කරන්න දශක ගණනාවක් යනවා. මට මතකයි අපේ විදුලිබල ක්ෂේත්‍රයේ පුරෝගාමියා වු විමලසුරේන්ද්‍ර මහතා රාජ්‍ය මන්ත්‍රන සභාවේදී එනම් 1936 දී යෝජනා කළා අවිස්සාවේල්ල සිට කොළඹ දක්වා විදුලි දුම්රියක් ඇති කිරීමට. ඒ සඳහා ලක්ෂපාන විදුලිබලාගාරයේ විදුලිබල මධ්‍යස්ථානය අවිස්සාවේල්ලේ ඉදි කෙළේ ඒ නිසයි. යෝජිත දුම්රිය නවිකරණ හමුවේ කැලණිවැලි මාර්ගයේ මේ වැනි ව්‍යාපෘතියක් ඉදිකිරිමට අප බලාපොරොත්තු වෙනවා. මැනින් වෙළෙඳ පොළ අපි ලබන වසරේ ඉවත් කරනවා. ප්‍රංශ රාජයේ ආධාර ඇතිව කොටුව දුම්රිය ස්ථානයත් බස් නැවතුමත් එකට ගෙන එන්න කටයුතු කරනවා. ඒ සඳහා සැලසුම් අවසන් කර තිබෙනවා. මේ රටේ ව්‍යාපෘතියක් කරගෙන යෑමට විශාල කාලයක් අවශ්‍ය වෙනවා. පසුගිය කාලයේ ඉදිකළ මහා පරිමාණ ව්‍යාපෘති බොහොමයක් කලකට පෙර සැලසුම් කර සිදු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කර දී තිබුණු දේවල්. අපේ රටේ මහවැලි ව්‍යාපාරය 50 දශකයේ සැලසුම් කෙළේ. අධිවේගී මාර්ග සැලසුම් කෙළේ 1968 සිටයි. නමුත් මේ ව්‍යාපෘතිය 2016 වසරේදී සැලසුම් කර 2019 ඉදිකිරිමේ තත්ත්වය ගෙන ඒමට හැකි වුණා. 2014 වන විට අලුත් රටක් ගොඩනගා ගැනීමට මෙමඟින් හැකි වෙනවා. දැනටමත් දුම්රිය පද්ධතිය එනවා කියන විශ්වාසය නිසා පසුගිය වසරේ බත්තරමුල්ල ප්‍රදේශයේ ඉඩම් මිල සියයට 129කින් ඉහළ ගොස් තිබෙනවා. මෙයින් දැනටමත් සැළකිය යුතු ප්‍රතිලාභ ලැබී අවසන්. රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සියළු කටයුතු අප සිදු කරමින් තිබෙනවා.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති අශෝක අබේසිංහ, ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකිරා සුජියාමා මහත්වරු ඇතුළු විශාලා පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප හිරන්ත ගුණතිලක


නව අදහස දක්වන්න