සිඩ්නි තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාව අගමැති අතින් ඇරඹේ | දිනමිණ

සිඩ්නි තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාව අගමැති අතින් ඇරඹේ

සිඩ්නි තාක්ෂණික විශ්වවිද්‍යාලයේ (UTS In search) ශ්‍රී ලාංකික ශාඛාව වන UTS In search Sir Lanka ජාත්‍යන්තර උසස් අධ්‍යාපන විද්‍යාලය පෙරේදා (4) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී මෙම ආයතනයට සුබ පැතුම් පිරිනැමූ අතර එම ආරම්භක උත්සවය කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී පැවැත් විණි. ඇමැති සාගල රත්නායක මහතා, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, සිඩ්නි තාක්ෂණික විශ්වවිද්‍යාලයේ සහ එහි මෙරට ශාඛාවේ නියෝජිතයන් ඇතුළු ආරාධිත පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

මෙම අවස්ථාවේදී සිඩ්නි තාක්ෂණික විශ්වවිද්‍යාලය අගමැතිවරයාට සිහිවටන පළකයක් පිරිනැමූ අතර අගමැතිවරයා සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය.

මේ අවස්ථාවට සහභාගි වෙමින් අදහස් දැක්වූ මෙරට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා මෙසේද පැවසිය.

UTS In search විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කොළඹ පිහිටුවීමට ලැබීම ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දිගු කාලීන මිතුදමේ වැදගත් සංධිස්ථානයක් . ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට අධ්‍යාපන අවස්ථා ලබාදීම පිළිබඳ තවත් විශිෂ්ඨ උදාහරණයක් ලෙස මෙය සැලකිය හැකියි.

පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් තැනකට පැමිණෙමින් තිබෙනවා. ප්‍රහාරයෙන් පසු පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා සහ සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකාවට උදව් කළා. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඕස්ට්‍රේලියාව විශාල දායකත්වයක් ලබා දෙනවා. ආයෝජන මණ්ඩල මෙම උසස් අධ්‍යාපන ආයතනය ඇති කිරීමට විශාල සහයක් දැක්වූවා.

ඉන්දියන් සාගරයේ රටවල් එකතුවීමෙන් ලෝකයේ දැවෙන ප්‍රශ්න රැසකට විසදුම් සොයා ගැනීමට හැකිවන බව මා විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ඉතා කදිම රටක් බව මම විශේෂයෙන් ප්‍රකාශ කරනවා.

සිඩ්නි තාක්ෂණික විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති සහ උප සභාපති(ජාත්‍යන්තර) ඉයන් වොට් මහතා-

ලොව සමස්ථ විශ්වවිද්‍යාල අතරින් 140 ස්ථානයේ පවතින මෙම විශ්වවිද්‍යාලය ඕස්ට්‍රේලියාවේ ඉහළම මට්මමේ විශ්වවිද්‍යාල අතර පවතිනවා. විශේෂයෙන් පරිගණක විද්‍යා අංශයෙන් ඕස්ට්‍රේලියාවේ පළමු ස්ථානයත්, හෙඳම අංශයේ පාඨමාලා අතරින් දෙවැනි ස්ථානයත් තවත් විෂයන් ගණනාවක් සඳහා ඉහළ මට්ටමක් පවතිනවා. මෙහි සියලුම පාඨමාලා සැළසුම් කර ඇත්තේ වෘත්තීය අධ්‍යයනයන් සමඟයි. මෙම විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරණ සිසු සිසුවියන් අතරින් ඉහළම දස්කම් පෙන්වන අයට ශිෂ්‍යත්ව ලබා දෙනවා.

UTS In search කළමනාකාර අධ්‍යක්ෂ ඇලෙක්ස් මර්ෆි මහතා-

මෙහි පාඨමාලා හදාරණ සිසුන්ට රැකියා ලැබීමේ ඉඩකඩ ඉතා ඉහළයි. නවීන සංවර්ධන අවශ්‍යතා සඳහා ගැලපෙන මෙම පාඨමාලා ශ්‍රී ලංකාවේ සිසුන්ට ලැබෙන අනගි අවස්ථාවක්.

මෙම අවස්ථාවට සහභාගි වූ සිඩ්නි තාක්ෂණික විශ්වවිද්‍යාලයේ විද්වතුන් ප්‍රකාශ කෙළේ ශ්‍රී ලාංකික සිසුන් අධ්‍යාපනය අතින් ඉතා ඉහළ මට්ටමක සිටින බවත් දෙරට අතර ඇති වී තිබෙන මේ සම්බන්ධතා දශක ගණනාවක් පවතිනු ඇති බවයි.

UTS මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපනයේ නවීන තම අත්දැකීම් සහ ජාත්‍යන්තර ඉගෙනුම් අවස්ථාවන් සඳහා යොමුවීමේ හැකියාව උදා වෙනවා. අම‍ෙරිකානු ඩොලර් මිලියන දෙකක මූලික ආයෝජනයකින් අරැඹේන මෙම විශ්වවිද්‍යාලය ඔක්තෝම්බර් සිට අධ්‍යාපන කටයුතු ඇරැඹීමට නියමිතය. එයට ව්‍යාපාර අධ්‍යයනය, ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණය යන විෂයන්ට අදාළව UTS පදනම් මට්ටමේ සහ විශ්වවිද්‍යාල පළමු වසරට සමාන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා.

උපාලි කරුණාරත්න සහ බුද්ධි කරුණාරත්න

නව අදහස දක්වන්න