‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහනෙන් මොණරාගල ජනතාවට සහන රැසක් | දිනමිණ


 

‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහනෙන් මොණරාගල ජනතාවට සහන රැසක්

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ක්‍රියාත්මක කරන ‘රට වෙනුවෙන් එකට සිටිමු‘ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස මොණරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වු වැඩසටහනෙන් ජනතාවට සහන රැසක් හිමි වු බව මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඩී. එස්. පත්මකුලසුරිය මහත්මිය පැවැසුවාය.

ඒ මහත්මිය මේ බව පැවැසුවේ ‘රට වෙනුවෙන් එකට සිටිමු‘වැඩසටහනේ සිවු වන දිනය දක්වා ක්‍රියාත්මක කළ වැඩසටහන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ (04) පෙරේදා පැවති ප්‍රගති සමාලොචන රැස්වීමේ දීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය මෙසේ ද කීවාය.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ජංගම සේවා, වකුගඩු රෝග නිවාරණ වැඩසටහන්, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, තිරසර වැඩසටහන්, ග්‍රාම ශක්ති වැඩසටහන් ආදිය ක්‍රියාත්මක කළා. වකුගඩු නිවාරණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක ජල පද්ධති 21ක් මේ වන විට ඉදි කරමින් පවතිනවා. කුඩා පරිමාණ කෘෂි ව්‍යසායකයන් වඩාත් ශක්තිමත් කිරීමේ බලාපොරොත්තුව ඇතිව කෘෂි ව්‍යසායකත්ව වැඩසටහන් දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වුණා.

ඒ සමඟම අාබාධිත සහ වැඩිහිටි පිරිස සවිබල ගැන්වීම, පාසල් දරුවා මුලික කර ගත් වැඩසටහන්, රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට ඉතා ඵලදායී වැඩසටහන් මේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු හරහා ක්‍රියාත්මක කළා. එවගේම රැකියා පොළවල් ද පැවැත්වූවා. ඒ සඳහා විවිධ පෞද්ගලික ආයතන පැමිණ බඳවා ගැනීම් සිදු කළා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06) දින පැමිණෙන සමාප්තිය උළෙලට ප්‍රදේශයට ආවේණික කර්මාන්ත සහ සුවිශේෂී වැඩසටහන් පිළිබඳව ප්‍රදර්ශනාත්මක වෙළෙඳ කුටි 30ක් සුදානම් කර තිබෙනවා. ඒ සඳහා පන්දාහකට අධික ජනතාවක් බලාපොරොත්තු වෙනවා. ඉඩම් ඔප්පු ලබාදීම, ග්‍රාම ශක්ති වැඩසටහනට අදාළ ප්‍රතිලාභ ලබාදීම, ක්‍රීඩා උපකරණ ලබාදීම ආදිය සිදු කෙරෙනවා. මොනරාගල ස්මාර්ට් ශ්‍රී ලංකා ගොඩනැඟිල්ල ද විවෘත කරනවා. දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට තමන්ගේ ජීවන මාර්ගය සකස් කර ගන්නා අාකාරය පිළිබඳ මඟ පෙන්වීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කරනවා. මොණරාගල මහ රෝහලට අවශ්‍ය දෑ පරිත්‍යාග කිරීම් ද සිදු කෙරෙනවා. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩුපාඩුවක් පවතින වකුගඩු නිවාරණ ඒකකය ද විවෘත වෙනවා.

සතියක කාල සීමාවේ සුවශේෂී ප්‍රතිලාභ රාශියක් දිස්ත්‍රික්කය ජනතාවට ලබාදීමටත්, දීර්ඝ කාලයක් පුරා සංවර්ධනයට බලපාන ගැටලු විසඳා ගැනීමටත් හැකි වුණා. ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සුවිශේෂී ප්‍රතිලාභ රාශියක් ලැබුණා. වකුගඩු රෝගයෙන් පෙළෙන පාසල් දරුවන්ට පාසල් උපකරණ ලබා දෙනවා.

තිරසාර සංවර්ධන වැඩසටහනේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම මහතා

ජනාධිපති ලේකම් කාර්යාලය සිදු කරන වැඩසටහන් අතර ග්‍රාම ශක්ති වැඩ සටහන, අාහාර සුරක්ෂිතා වැඩසටහන, කෘෂි ව්‍යාපෘති අංශ, ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන, තිරසර සංවර්ධන වැඩසටහන සුවිශේෂී වෙනවා. ග්‍රාම ශක්ති වැඩසටහන් පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහ තුළම දැනුවත් කිරීම් සිදු වුණා. අාහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ ජලාශවලට මත්ස්‍යයන් මුදාහැරීම, කෘෂි උපකරණ බෙදාදීම, කෘෂිකාර්මික දැනුම ලබාදීම ආදිය සිදු කළා. ජනාධිපතිවරයා අතින් විවෘත වන මොණරාගල දිස්ත්‍රික්කයේ ස්මාර්ට් ශ්‍රී ලංකා ගොඩනැඟිල්ල හරහා මොනරාගල තරුණ තරුණියන් විශාල සහනයක් ලැබෙනවා. ‘රට වෙනුවෙන් එකට සිටිමු‘ වැඩසටහන මොණරාගලට ලැබුණු තෑග්ගක් ලෙස මම විශ්වාස කරනවා.

රජයේ සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හර්ෂ බී. අබේකෝන්, තිරසර සංවර්ධන ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අබේරත්න, මොණරාගල අතිරේක දිස්ත්‍රික් ලේකම් චන්දන ලොකුහේවගේ, සහකාර සැලසුම් අධ්‍යක්ෂ යු. එච්. උපුල්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) එල්. ඒ. සෝමරත්න මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි විය.

අරුණ ඩයස් 
ඡායාරූප - චමින්ද නිරෝෂන්

නව අදහස දක්වන්න