සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්වලින් සංවේදී අනාගත පරපුරක් | දිනමිණ

සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්වලින් සංවේදී අනාගත පරපුරක්

විෂය කරුණුවලට පමණක් සී‍මා නොවී සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්වලට දරුවන් යොමු කිරීමෙන් අනාගතය වෙනුවෙන් සංවේදී පරපුරක් බිහි කිරීමට මංපෙත් විවර වන බව කොළඹ අගරදගුරු පදවියේ කතෝලික පාසල් භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ගැමුණු ඩයස් පියතුමා පැවැසීය.

හදවත හා ආත්මය ඒකාත්මික කරමින් සිදු කරන ළමා නිර්මාණවලින් ළමා පරපුරේ අව්‍යාජත්වය සහ නිර්මාණශීලීත්වය ‍පිළිඹිබු කෙරෙන බව ද එතුමා සඳහන් කළේය.

ගැමුණු ඩයස් පියතුමා මෙසේ ප්‍රකාශ කළේ පසුගිය දා (02) කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ පැවති ඕ. කේ. අයි. ජාත්‍යන්තර පාසලේ කිරිබත්ගොඩ ශාඛාවේ සිසු දරුවන්ගේ චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

ඕ. කේ. අයි. ජාත්‍යන්තර පාසලේ කිරිබත්ගොඩ ශාඛාවේ චිත්‍ර කවයේ සිසු සිසුවියන් ඉදිරිපත් කරන මූර්ති සහ චිත්‍ර ප්‍රදර්ශනය උබන්ටු (Ubuntu) ' මනුෂ්‍යත්වය උදෙසා' තේමාවෙන් පැවැත්විණි.

මේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස කොළඹ අගරදගුරු පදවියේ කතෝලික පාසල් භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ගැමුණු ඩයස් පියතුමා සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨයේ හිටපු පීඨාධිපති, කථිකාචාර්ය මහාචාර්ය රම්‍යවර්ධන පොඩිනිලමේ මහතා සහභාගි වූ අතර සම්භාවනීය ආරාධිතයන් ලෙස ඕ. කේ. අයි. ජාත්‍යන්තර පාසල් ජාලයේ සභාපතිනි නිර්මලී සපරමාදු මහත්මිය සහ අධ්‍යක්ෂ මණ්ඩලය සහභාගි වූහ.

මේ ප්‍රදර්ශනයට චිත්‍ර කවයේ සිසු සිසුවියන්ගේ චිත්‍ර 100කට සහ මූර්ති 50කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබූ අතර මේ නිර්මාණ අලෙවි කිරීමෙන් ලබන ආදායම, පාස්කු ඉරිදා කටුවාපිටිය දේවස්ථානයේ දී සිදු වූ ව්‍යසනයෙන් වින්දිත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කෙරේ.

මේ ප්‍රදර්ශනය නැරැඹීමෙන් පසු අදහස් දැක් වූ ගැමුණු ඩයස් පියතුමා මෙසේ ද කීය.

ඕ. කේ. අයි. ජාත්‍යන්තර පාසල පවත්වන මේ චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනයට ආරාධනා කිරීම පිළිබඳව මා ස්තූති වන්ත වෙනවා. විශේෂයෙන් මෙවන් විශිෂ්ට චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශන ඉතා දුර්ලභයි. මෙහි ප්‍රදර්ශනය කෙරෙන ඔබේ නිර්මාණ බලන විට ඔබේ හදවත සහ ආත්මය ඒකාත්මික කර ඔබේ සිරුරේ සියලු ඉන්ද්‍රියයන් එක් තැනක තබමින් නිර්මාණ සිදු කර ඇති බව වටහා ගැනීම අපහසු නෑ.

මෙවන් ප්‍රදර්ශනයක් පැවැත්වීමට දරුවන්ට මඟ පෙන්වූ විදුහල්පතිනිය ඇතුළු සියලු දෙනාට මාගේ ස්තූතිය මේ අවස්ථාවේ පුද කිරීමට කැමතියි. මීට මාසයකට පමණ පෙර මේ අවස්ථාවට ආරාධනා කිරීමට මා හමුවීමට පැමිණි විට මෙය සංවිධාන කිරීමේ අරමුණ මා සමඟ පැවැසුවා. ඇය පැවැසූ පරිදි මේ ප්‍රදර්ශනයේ නිර්මාණ අලෙවි කිරීමෙන් ලබන සියලු ආදායම් පාස්කු ඉරිදා දින සිදු වූ ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙනම ම ගිණුමකට බැර කෙරෙනවා.

මෙය සැබැවින්ම අධ්‍යාපනය බව මම විශ්වාස කරනවා. අද අධ්‍යාපනය පිළිබඳව කතා කරද්දී අසන්නට ලැබෙන්නේ එක් පැත්තකට පමණක් යොමු වූ ක්‍රමවේදයක් පමණයි. නමුත් මෙහි දී ඔබ සිදු කරන්නේ සංවේදී හදවත් එක්ව ඉතාමත් කාලෝචිත කර්තව්‍යයක් බව කියන්න කැමතියි. ඒ සඳහා ඉතා විචිත්‍රවත් නිර්මාණ ඉදිරිපත් කිරීමට ඔබට හැකි වී තිබෙනවා වගේම ඒ සඳහා නිසි මඟ පෙන්වීමක් ලැබී තිබෙන බව මේ ප්‍රදර්ශනය පිළිබිඹු කරනවා. ඒ හරහා අහිංසක පිරිසක් වෙත සහයෝගය ලබාදීමට අදහස් කිරීම මගේ ඇගයීමට ලක් වෙනවා.

අපේ දරුවන්ට මෙවන් පසුබිමක් සකසා දුන් විදුහල්පතිනිය, ආචාර්ය මණ්ඩලය ඇතුලු සියලු දෙනාට මගේ හෘදයාංගම ස්තූතිය පිරිනැමීමට මෙය අවස්ථාව කර ගන්නවා. අපගේ අධ්‍යාපන ක්‍රමයේ සිදු විය යුතු දේ ඔබගෙන් සිදු වී ඇති බව මම දකිනවා. විශේෂයෙන් ඕ. කේ. අයි. පාසල් පද්ධතිය එම ක්‍රමවේදයේ ඉදිරියෙන්ම සිටින බව කිව යුතුයි.

ක්‍රිසන්ති විතාරණ
ඡායාරූපය- සමන් ශ්‍රී වෙදගේ


නව අදහස දක්වන්න