කතරගම දේව පෙරහරේ ඓතිහාසිකත්වය | දිනමිණ

කතරගම දේව පෙරහරේ ඓතිහාසිකත්වය

විජය රජු අනුරාධපුරයට පැමිණීමත් සමඟ ප්‍රථම රාජධානිය බවට එය පත් වූ බව මහා වංශය සඳහන් කරයි. එය ලක්දිව මුල්ම රාජ්‍ය සමයයි. පඬුවස් දේව රජ සමයෙහි ලංකාවට පැමිණි භද්දකච්චායනා කුමරියගේ සොහොයුරෙක් වූ රෝහණ නැමති කුමාරයා රෝහණ රාජ්‍යය පිහිට වූ බවට සඳහන් වේ. මුලින් මෙය ජනපදයක් ලෙස භාවිතා වුවද මහානාග රජු විසින් ප්‍රාදේශීය රාජ්‍යයක් ලෙස පාලනය කර ඇත. රෝහණ රාජ්‍යයේ පිහිටීම සඳහන්ව ඇත්තේ නැඟෙනහිරින්, බටහිරින් හා දකුණින් ගෝකණ්නතිත්ථ (ත්‍රිකුණාමලය) දක්වා විහිදී ගිය මුහුදු තීරයත්, උතුරින් බෙන්තොට ගඟ දකුණු මලය ‍රටේ දකුණු ප්‍රදේශයත් අතර රෝහණය ව්‍යාප්තව තිබුණු බව පැරණි ලේඛනවල සඳහන් වේ.

රෝහණය පිළිබඳ වඩාත් වැදගත් සිදුවීමක් වන්නේ ඉන්දියාවේ සිට පැමිණි භද්දකච්චායනා කුමරියට පුතුන් දසදෙනෙකු සහ එක් දියණියක උපත ලබා ඇත. අනාවැකිකරුවන් සඳහන් කරන්නේ එම එක් දියණියකගේ පුතෙකු සිය මාමාවරුන් සියලුදෙනා මරා රජ බවට පත්වන අනාවැකිය ඉතා වැදගත් ‍බවයි. මෙයින් බියට පත් සොහොයුරෝ තම එකම සොහොයුරිය වූ උන්මාදචිත්‍රා එක්ටැම් ගෙයක සිරකොට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා රට පුරා ජනපද පිහිටුවා ගත්හ. එසේ පිහිටුවාගත් ජනපද වන්නේ විජිතගාම, දීගයුගාම, රෝහණගාම ආදියයි. මහා වංශයේ සඳහන් පරිදි මහානාග රජු අනුරාධපුරයේ සිට පැමිණ රෝහණයේ රජවීම මෙම රාජ්‍යය තවදුරටත් ශක්තිමත් ‍වීමට හේතු වී ඇත.

මහානාග රාජ්‍යත්වයට පත්වීමේ පුවත මහා වංශය සඳහන් කරන්නේ දේවානම්පියතිස්ස රජුගේ බිසව තම පුතුට රාජ්‍ය ලබාදීම සඳහා මහානාග කුමාරයා මැරවීමට උග්‍ර විෂ වූ අඹ පැසක් වලස් නම් වැව ඉදිකිරීමෙහි යෙදුණු මහානාග කුමාරයා වෙත යැවූ බවයි. එහෙත් එම විෂ සහිත අඹ ගෙඩිය කන ලද්දේ ඇගේ පුත් කුමාරයාය. කුමරු මිය යෑමෙන් සියල්ල තේරුම්ගත් මහානාග අඹුදරුවන් සමඟ රුහුණට පැමිණ ඇත.

කතරගම ඉතිහාසය පිළිබඳ විමසීමේදී සඳහන් කර ඇත්තේ කාචරගාම, කදිරගාම ආදී නම් වලිනි. බෝවත්හෙගල, කොට්ටදැමූහෙල, මොට්ටියාකල්ලු ආදී ශිලා ලේඛනවල සඳහන් වනුයේ කතරගම දසබෑ රජුන් විසින් ප්‍රදේශය පාලනය කර ඇති බවයි. මාගම රජ කළ මහානාගගේ පුත් ගෝඨාභය රජවීමත් සමඟම කතරගම ‍දසබෑ රජවරුන්ට උදාවූයේ අතිශය අවාසනාවන්ත තත්ත්වයකි. එනම් ගෝඨාභය රජතුමා විසින් දසබෑ රජවරුන් ඝාතනයකොට මෙම ප්‍රදේශය ද ඔවුන්ගේ පාලනයට යටත් කර ගැනීමයි.

ගෝඨාභය රජුගේ පුත් කාවන්තිස්ස මහරජතුමා මෙම සියලු ප්‍රදේශ ඒකරාශී කරගෙන ආර්ථිකය ශක්තිමත් කරමින් ආගමික සංවර්ධනයක් ඉටුකළ බව සඳහන් කළ හැක. මහාවංශයේ සඳහන් වන පරිදි කාවන්තිස්ස රජතුමාට සහ විහාරමහා දේවියට මුලින් දරු සම්පතක් ලැබී නොමැත. තිස්සමහාරාම විහාරයට ගිය මෙම දෙපළ තමන්ට මෙතරම් සැප සම්පත් තිබුණද දාරක සම්පත්තිය නොමැති බව එහි මහා තෙරකට පවසා ඇත. එම අවස්ථාවේදී එම තෙරුන් වහන්සේ පවසා ඇත්තේ අපවත්වීමට ඉතා ආසන්නව සිටින ඉතා ශීලවන්ත, ගුණවන්ත භික්ෂුවක් විහාරස්ථානයේ සිටින බැවින් එතනට ගොස් උන්වහන්සේට තම පුත්‍රයා ලෙස උපදින්නට ආරාධනා කරන ලෙසයි. ඒ අනුව විහාරමහා දේවිය සහ රජතුමා එම Òතිස්සÓ නම් හිමියන් වෙතට පැමිණ ආරාධනා කර ඇත. ඒ අනුව උන්වහන්සේ අපවත්වීමෙන් පසුව විහාරමහා දේවියගේ කුස තුළ පිළිසිඳ ගත් අතර එම කුමාරයා ÒගාමිණීÓ නමින් නම් තබන ලදී.

දුටුගැමුණු රජතුමා තරුණ වියට පත්වීමත් සමඟම රටේ පැවති දේශපාලන තත්ත්වය ගැන මහත් කම්පාවෙන් යුක්තව කටයුතු කර ඇත. ඉන්දියාවේ සිට පැමිණි එළාර නැමැති ආක්‍රමණිකයා අනුරාධපුරයේ රජ කරමින් බුද්ධ ශාසනයත්, ජාතීන් අතර අසමඟියත් ඇතිකරමින් රට පාලනය කර ඇත. මේ බව දැනගත් කාවන්තිස්ස රජතුමා දසමහා යෝධයන් සකස් කර කුමරුන්ට අවශ්‍ය යුද ශක්තිය සකස් කර ඇත. ගාමිණී කුමරු එළාර සමඟ යුද වැදීමට සිය පියාගෙන් අවසර ඉල්ලුවද ඒ සඳහා අවස්ථාව නොවන බැවින් අවසර නොලැබීමෙන් පසු තම පියාට ස්ත්‍රී අභරණ යවමින් තම පියා ශක්තිමත් පිරිමියකු නොව කාන්තාවක ලෙස සඳහන් කර ඇත.

පසුව සිය පියාගේ අභාවයෙන් පසු සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට විදේශීය ආක්‍රමණයෙන් රට බේරාගැනීම සඳහා තම මවගේ උපදෙස් සහ තිස්ස සොහොයුරාගේ ආධාරය මත එළාර සමඟ යුද වැදී ඇත. එකී මහා සටනට යාමට පෙර දුටුගැමුණු රජතුමා කතරගමට පැමිණ භාරයක් වී ඇති අතර එහි සඳහන් වන්නේ තමාගේ මේ සටන සියලු ජාතීන්ට, සියලු ආගමිකයන්ට නිදහසේ ජීවත්වීමට හැකි පරිසරයක් ගොඩනැඟීමට බවත් මෙම සටනින් ජයග්‍රහණය කළහොත් කතරගම දෙවිඳුන්ට දේවාලයක් සාදා පූජා කරන බවත්ය.

මේ අනුව ඉතාමත් බැරෑරුම් මෙම සටනින් ජයගත් දුටුගැමුණු මහා රජතුමා වත්මන් රුහුණු මහා කතරගම දේවාලය සාදවා කතරගම දෙවිඳුන් වෙනුවෙන් පූජාකර ඇත. ඒ අනුව දේවාලයේ රාජකාරි කටයුතු සඳහා රාජකීය පරපුරකට පවරන ලදී. මෙහි පැවැත්ම සඳහා සියලුදෙනාට අක්කර ලක්ෂ ගණනින් වූ ඉඩම් වෙන්කර ඇත.

එසේම අවුරුදු පෙරහැර, ඇසළ පෙරහැර වසර අවසානයේ පැවැත්වෙන ඉල්මහා පෙරහැර ද පැවැත්වෙන්නේ කතරගම දෙවිඳුන්ට උපහාර පිණිස දුටුගැමුණු රජතුමාගේ නියෝගය පරිදිය. ඇතැමුන් දුටුගැමුණු රජතුමා ජාතිවාදියෙකු, ආගම්වාදියෙකු ලෙස හංවඩු ගැසුවද සමාජ විද්‍යාත්මකව ‍හෝ ඉතිහාසය පිළිබඳව අනවබෝධයෙන් විය යුතුය.

සිංහල බැතිමතුන් කතරගම දෙවියන් ලෙසත් හින්දු බැතිමතුන් මුරුගන් ලෙසත් සලකන්නේ මෙම දෙවියන්ය. දෙමළ ත්‍රස්තයන් විනාශ කිරීමට යන අවස්ථාවේදී මුරුගන් නොහොත් කතරගම දෙවියන්ගේ ආශීර්වාදය ලබා දී ඇත්තේ මෙය ‍දමිළ ජනතාව ආරක්ෂා කරන අරමුණින් වූ නිසාය. එසේම දුටුගැමුණු රජතුමා ජාතිවාදියෙකු වූයේ නම් එතුමා ගොඩනඟන ලද රුහුණු මහා කතරගම දේවාලයට හින්දු බැතිමතුන් උපහාර දක්වන්නේ ද නැත. මුරුගන් දෙවියන් කිසිදු ලෙසකින්වත් වැඩම කරවන්නේ ද නැත. එසේම දුටුගැමුණු මහරජතුමා ජාතිවාදියෙකු, ආගම්වාදියෙකු වූයේ නම් එතුමා විසින් සාදා පූජා කරන ලද දෙවොල ආරක්ෂාවීමට හෝ වැඳ පුදා ගැනීමට දමිළ ජනයා පැමිණෙන්නේ ද නැත. ඒ අනුව රුහුණු මහා කතරගම දේවාලය සියලු ජාතීන් ආරක්ෂා කර දීමේ සාමයේ සංකේතයක් ලෙස සඳහන් කළ හැක.

2019 වසරේ රුහුණු මහා ‍කතරගම දේවාලයේ පෙරහැර ජූලි 03 වන දින ආරම්භ වී එම මස 17 වන දින අවසන් වීමට නියමිත ඇති අතර ඉන් අනතුරුව කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය මඟින් පවත්වනු ලබන තුන්තිස් පැයේ මහා පිරිත් පිංකම සහ පිරිත් පැන් පෙරහැර පවත්වා කතරගම දෙවියන්ට පින් දී රට ආරක්ෂා කරදෙන මෙන් කතරගම දෙවිඳුන්ගෙන් ඉල්ලා සිටීමට නියමිතය.

රුහුණු මාගම්පත්තුවේ 
ප්‍රධාන අධිකරණ සංඝනායක 
කපුගම සරණතිස්ස නාහිමි


නව අදහස දක්වන්න