සංචාරක හා ව්‍යාපාරික ප්‍රජාව යළි ගොඩනැංවීම සැමගේ වගකීමක් | දිනමිණ

සංචාරක හා ව්‍යාපාරික ප්‍රජාව යළි ගොඩනැංවීම සැමගේ වගකීමක්

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අකර්මණ්‍ය වූ සංචාරක හා ඊට අනුබද්ධ ක්ෂේත්‍රවල ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන වැඩපිළිවෙළ විධිමත්ව සහ කාර්යක්ෂමව ක්‍රියාවට නංවමින් එම ව්‍යාපාරික ප්‍රජාව නැවත ගොඩනැංවීමට කටයුතු කිරීම සියලුදෙනාගේ වගකීම බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සංගමයේ නියෝජිතයන් සමඟ පෙරේදා (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

සංචාරක අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, වෙළෙඳ අමාත්‍යාංශය ඇතුළු අදළ ආයතනවල ප්‍රධානීන් ද මේ සාකච්ඡාවට කැඳවා තිබූ අතර ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දී සිටින අසීරුතාවන් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කෙරිණි.

සංචාරක ව්‍යාපාරයට බලපාන කරුණු, බදු වර්ග ගණනාවක් හේතුවෙන් මුහුණදීමට සිදුව ඇති අසීරුතා සහ පෞද්ගලික මූල්‍ය සමාගම්වල හැසිරීම ඇතුළු ගැටලු ගණනාවක් මෙහි දී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදී.

මේ ව්‍යාපාරිකයන්ට සහන ලබාදීම වෙනුවෙන් අමාත්‍ය අනුකාරක සභාවක් ද පිහිටුවා මුදල් අමාත්‍යාංශය සහ මහබැංකුව මගින් අදාළ උපදෙස් නිකුත් කළ ද ඉන් පහළ ආයතනවල එම උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නොවීමේ ගැටලුව පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අදාළ අමාත්‍ය අනුකාරක සභාව සමඟ මෙන්ම ඉදිරි කැබිනට් මණ්ඩලයේ දී ද මේ පිළිබඳ සාකච්ඡා කර අවශ්‍ය සහන වැඩපිළිවෙළ විධිමත් කරන බවයි.

සංචාරක කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා ද මුදල් අමාත්‍යාංශය, වෙළෙඳ අමාත්‍යාංශය මහබැංකුව ඇතුළු ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සංගමයට අයත් සංගම් 30ක් නියෝජනය කරමින් නියෝජිතයෝ මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

 


නව අදහස දක්වන්න