ස්ථිර පොදු ජාතික න්‍යාය පත්‍රයක් වෙනුවෙන් කැපවෙමු | දිනමිණ


 

ස්ථිර පොදු ජාතික න්‍යාය පත්‍රයක් වෙනුවෙන් කැපවෙමු

අප අත්විදි කටුක අත්දැකීම්වලින් තොර යහපත් දේශයක් අනාගත පුරපුරට උරුමකර දීම සඳහා අප යුගයේ ප්‍රශ්න අප විසින්ම විසඳා ඉදිරි පරපුරට නිරවුල් සමෘද්ධිමත් රටක් භාරදීමට ඇති වගකීමෙන් මිදීමට කිසිදු නායකයෙකුට බැහැ. තව පෝය දින 05 කින් පසු මැතිවරණ මාලාවක් එළඹෙද්දී යළිත් සුපුරුදු දේශපාලන කුළල්කා ගැනීම්වලට යනවාද එසේ නැතිනම් මෙතැන් සිට වත් ස්ථිරසාර පොදු ජාතික න්‍යාය පත්‍රයක් වෙනුවෙන් කැප වනවාද යන්න තීරණය කළයුතුව ඇති බවත් කතානායක කරු ජයසුරිය මහතා පැවසීය.

මීළඟ පරපුරේ අතිවිශිෂ්ටයන් ලෝකයේ ජයග්‍රහණයන් ලැබීමට සමත්කම් ඇති අය යන්න අපේ දරුවන් ඔප්පුකර ඇති බවත්, 20 වන සියවසේ මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් වැනි බුද්ධිමත් දරුවන් ලක්බිමේ බිහිවී ඇති බවත්, සඳහන් කළ කතානායකවරයා ලාංකික දරුවන් අභ්‍යවකාශයට චන්ද්‍රිකා යවමින් ලෝකය පුදුම කරවන නව නිර්මා‍ණ කරමින් එය ඔප්පු කරමින් තිබෙන බව කීය.

ඔවුන්ට පැහැදිලි ගමන් මඟක් ඇති කිරීමට නම් ජාතික සමඟිය එකඟතාව ඇති නිරවුල් රටක් සඳහා කළහැකි සෑම කැපකිරීමක්ම කිරීමට පසුබට නොවිය යුතු බවද කතානායකවරයා පෙන්වා දුන්නේය.

කරු ජයසුරිය මහතා මේ බව සඳහන් කළේ ඊයේ (05) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති “බසවඩමු - හද දිනමු” ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධාන කළ ජාතික දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

භාෂාව , ආගම සංස්කෘතිය මුල්කර ගනිමින් ලෝකය භේද බින්න උවද සමස්ත ලෝවැසියන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුක්තව බැඳ තැබීම උදෙසාම එම අංශ බිහිවී ඇතැයි යන්න සදාතනික සත්‍ය බවද මෙහි දී හෙතෙම සඳහන් කළේය.

කතානායකවරයා වැඩිදුරටත් මෙසේද කීය.

භාෂාව මිහිපිට සමස්ත ජීවින් අතරින් මානවයා ඔසවා තැබු අද්විතීය ජයග්‍රහණයක් මෙන්ම මිනිස් ශිෂ්ටාචාරය සමාජ පරිණාමයට හා පුද්ගලයා සමාජානුයෝජනයට ලක්කළ පදනමයි. ඒ තුළ යම් ශිෂ්ටාචාරයක ඓතිහාසික දැනුම් සම්භාරය සහ අත්දැකීම් පසුතලය ගැබ්ව තිබෙනවා .

භාෂාවන්හි තුලනාත්මක අවබෝධය විසින් මිනිස් වර්ගයා එකම මූලයකින් පැවත එන බව තහවුරු කරමින් සැමවිට පටු ජාතිවාදය සහ ආගම්වාදී මතවාද ප්‍රතික්ෂේප කරනවා.

වි‍ශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සහෝදරත්වයේ පාලම බවට භාෂාව පත්කර ගත යුතුව ඇතැයි යන වැදගත් කථිකාවක් තිස් වසරක යුද්ධයෙන් පසුව නිර්මාණය වුණා. එය පදනම් කරගනිමින් වැඩසටහන් ගණනාවක් දියත් වූ නමුත් වර්තමානයේ එය වඩාත් ශක්තිමත්ව හා සක්‍රීයව ඉදිරියට ගෙන යාමට විෂයභාර අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ කැප වෙනවා. ඊට අවශ්‍ය නිවැරදි දැක්ම ඇති බව පැහැදිලිය.

එතුමාට විශාල ජාතික හැඟිමක් තිබෙනවා. දමිළ ජාතියෙකු වුවත් එතුමා එක ප්‍රදේශයකට එක ජාතියක සීමා වූ දේශපාලනයෙන් තොරව ජාතික න්‍යාය පත්‍රයක් වෙනුවෙන් කැප වෙනවා.

83 ජුලි කලබලය ආරම්භ වූ දින පෙරවරුවේ මම මගේ පවුලේ අය සමඟ මරදාන ප්‍රදේශයට යමින් සිටියා.මගේ මෝටර් රථය නැවැත්වූ පිරිසක් මට කිවුවා. සිංහල ජාතිය බේරාගන්න පෙට්‍රල් ටිකක් දෙන්න කියලා , එදා මම ඔවුන්ට කිවුවා ඔබ මේ පෙට්‍රල් ඉල්ලන්නේ පරම්පරා ගණනාවක අනාගතය ගිනි තියන්න කියලා. අප දශක තුනක් එහි ප්‍රතිඵල අත්වින්දා .

යුද්ධය නිමාකර රට පැහැදිලි ගමනක් යමින් තිබු අවස්ථාවක පාස්කු ප්‍රහාරය එල්ල වුණේ.

ලෝක සංචාරක ක්ෂේත්‍රයේ වගේම ආයෝජකයන්ගේ අවධානය දිනාගත් සුන්දර රටක් ලෙස අප යළි හිස ඔසවමින් සිටි මොහොතකයි පාස්කු ප්‍රහාරය එල්ල වුණේ ඉන්පසු යළි බලාපොරොත්තු බිඳ වැටුණා.

නමුත් කරන්න දෙයක් නැහැ. යළිත් වැටි වැටී නැඟි සිටීම හැර වෙන විකල්පයක් නැහැ. දැන්වත් සියලු දෙනා එක්සත්ව නැගී සිටිය නොහැකිනම් ශ්‍රී ලංකාව ගැන තවදුරටත් බලාපොරොත්තු තැබිය නොහැකි වනු ඇත.

අපේ දරුවන්ට තරගය තිබෙන්නේ මිලියන 2 ක් වු ලාංකිකයන් අතර නොවන බවත්, ඔවුන් ලෝක දරුවන් විය යුතු බවත්. ලෝකය සමඟ තරග කිරීමේදී අභියෝගවලට මුහුණදීමට දරුවන් සුදානම් නමුත්, වැඩිහිටියන් ඔවුන් ඉල්ලා සිටින රට නිර්මාණය කළයුතුව ඇති බවද කතානායකවරයා මෙහිදී පැවසීය.

ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු ඇමැති මනෝ ගනේෂන් මහතා -

අන්තවාදය විවිධ තැන්වලින් බියගුලු ලෙස හිස ඔසවනු දැක්නට ලැබුණ ද අන්තවාදයට කිසිදා ඉඩක් නොමැති බව ඉතිහාසය විසින් යළිත් සනාථ කර ඇති බවයි.

සියලු අන්දමේ ත්‍රස්තවාදීන් හා අන්තවාදීන් පරාජය කිරීමට භාෂාවෙන් එකිනෙකා අතර ඇති වන හෘදයාංගම බවට හැකි බවද කී හෙතෙම අන්තවාදය විසින් සාමය, සමඟිය බිඳ දමන සැමවිටම එය යළි නිර්මාණය කිරීමට සුදානම් අන්තවාදයට එරෙහිව සටන් කරන ධෛර්යය සම්පන්න මිනිසුන්ගේ සාමුහික ශක්තිය කෙරෙහි විශ්වාසය තබන බවද පැවසීය.

නව අදහස දක්වන්න