මරණ දඬුවමට එරෙහි පෙත්සම්වලට නීතිපතිගේ විරෝධය ගැන නියෝගය 17දා | දිනමිණ

මරණ දඬුවමට එරෙහි පෙත්සම්වලට නීතිපතිගේ විරෝධය ගැන නියෝගය 17දා

කුමුදු හෙට්ටිආරච්චි

මරණ දඬුවම ක්‍රියාත්මක කර දින හා වේලාවන් නියම කරමින් ජනාධිපතිවරයා සිදු කළ ක්‍රියාවට එරෙහි පෙත්සම් විභාගයට ගැනීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවට නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතාව සම්බන්ධ නියෝගය මේ මස 17 වැනිදාට ලබාදීමට පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (05) තීරණය කළේය.

මෙම රිට් පෙත්සමට අදාළ අතුරු නියෝගය හා වගඋත්තරකරුවන් හට නොතීසි නිකුත් කිරීම අධිකරණයට කැඳවා පෙත්සම සම්බන්ධව විභාගයක් පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධව නියෝගය නිකුත් කිරීම ද එදිනට කල් තැබුණි.

බුවනෙක අලුවිහාරේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ප්‍රසන්න ජයවර්ධන හා ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් එම අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලදී.

මරණ දඬුවම ක්‍රියාත්මක කරමින් කිසිදු සිරකරුවකු එල්ලා මරා දැමීමෙන් බන්ධනාගාර නිලධාරීන් ක්‍රියා කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ ගීගනගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම ඊයේ (05) සලකා බැලීමෙන් අනතුරුව මේ අතුරු තහනම් නියෝගය නිකුත් කෙරුණි.

රාජ්‍ය නොවන සංවිධාන, නීතිඥවරු හා වෘත්තිකයන් කිහිප දෙනකු විසින් මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් ගොනු කර ඇත.

මරණ දඬුවම නියමව සිටින සිරකරුවන් අතරින් මත්ද්‍රව්‍ය චෝදනා ලැබ සිටින සිරකරුවන් පමණක් තෝරා ඔවුන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අමානුෂික ක්‍රියාවක් බවත් එමඟින් සමාන ලෙස සැලකීමේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවත් නීතිඥ කවිඳු හේවා ගීගනගේ මහතා සිය පෙත්සමෙන් කරුණු දක්වා ඇත.

නීතිපතිවරයා, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම්. ජේ. ඩබ්ලිව්. තෙන්නකෝන්, බන්ධනාගාර අධිකාරී ටී. ජී. උඩුවර, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා එහි සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස යන අය මේ පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වෙති.

මරණීය දණ්ඩනය නියමව සිටින මොහොමඩ් හකීම් නවාස් වෙනුවෙන් නීතිඥ ගීගනගේ මහතා මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

නීතිඥ ගීගනගේ මහතාගේ පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරම් මහතා පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ‍ජනරාල් හෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.

මේ පෙත්සම ඊයේ (05) කැඳවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරම් මහතා මුලින්ම කරුණු දක්වා සිටි අතර, අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හෙරින් පුල්ලේ මහතා කරුණු දක්වන ලදී.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල මේ අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලදී.

පෙත්සම් යළි සලකා බැලීම ඔක්තෝබර් 29 වැනිදාට කල් තැබුණි.


නව අදහස දක්වන්න