පලාලි ගුවන් තොට ජාත්‍යන්තරයට විවෘත කිරීම සුවිශේෂී ජයග්‍රහණයක් | දිනමිණ

පලාලි ගුවන් තොට ජාත්‍යන්තරයට විවෘත කිරීම සුවිශේෂී ජයග්‍රහණයක්

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලාංකේය සිවිල් ගුවන් ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තරයට විවෘත කිරීමට හැකියාව ලැබීම සුවිශේෂී ජයග්‍රහණයක් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරයි.

පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබෙන බව පවසන ඒ මහතා ඒ අනුව එළඹෙන අගෝස්තු මාසය අවසන් වන විට මේ ගුවන් තොටුපළ හරහා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකිවන බව ද මෙය උතුරු පළාතට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම අනගි අවස්ථාවක් බව ද පෙන්වා දෙයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ යාපනය, පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ (05) පෙරවරුවේ පැවැති උත්සවය අමතමිනි.

යාපනය පලාලි ගුවන් තොටුපළ සංවර්ධනයට දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2,250ක් වන අතර, ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් වශයෙන් යොදවයි. ව්‍යාපෘතිය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර, එහි පළමු අදියරේ දී දැනටමත් ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා භාවිතයට ගැනෙන ප්‍රධාන ධාවන පථයෙහි මුල් මීටර් 950 අලුතින් ඇතිරීම සිදුකෙරේ. ඒ සමඟම ආසන 72ට අඩු Bombardier @ - 100 වර්ගයේ ගුවන් යානා පලාලි ගුවන්පොළෙහි හැසිරවීමේ අවස්ථාව උදාවන අතර, ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ දී සිදු කෙරෙන්නේ එම ප්‍රධාන ධාවන පථය කිලෝ මීටර් 1.5 දක්වා අලුතින්ම ඇතිරීමයි.

එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේ පැය ගණනක් නාස්ති කරමින් මේ පළාතේ ජනතාව කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත ගමන් කරන බවත් පලාලි ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම හරහා ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් කිරීම තුළින් ඔවුන්ට ඉතාම අවම කාලයක දී විදෙස් ගමන් අවශ්‍යතාව ඉටු කර ගැනීමට හැකිවන බවත්ය.

මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කොට මේ ගුවන් තොටුපළින් සිදු කෙරෙන ගුවන් ගමන් සඳහා අවම මිල ගණන් යටතේ ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව පෙන්වා දුන් ඒ මහතා මේ වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය මූල්‍ය පහසුකම් ලබාදී තිබෙන බව ද ගුවන් ටිකට්පත් අවම මිල ගණන්වලට අලෙවි කිරීමේ දී එම ආයතනවලට අවශ්‍ය කරන මුදල මුදල් අමාත්‍යාංශය මඟින් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බවද සඳහන් කළේය.

එළැඹෙන අගෝස්තු මාසය අවසන් වන විට පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් කිරීමටත් ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කිරීමටත් හැකිවනු ඇතැයි විශ්වාසය පළ කළ අර්ජුන රණතුංග මහතා පෞද්ගලික අංශයත් සමඟ සහාය ඇතිව ගුවන් ගමන් කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, විජයකලා මහේෂ්වරන්, එම්. සිද්ධාර්ථන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය කොන්සල් ජනරාල් එස්. බාලචන්ද්‍රන්, යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ධම්මික රණතුංග, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


නව අදහස දක්වන්න